Main Logo

Thursday 4 June 2015

ජීවිතයේ අරුත හා පට්ටපල් බොරු (විදුසර ලිපියක සංස්කරණයකි)

ජීවිතයේ අරුත හා පට්ටපල් බොරු


මා විදුසර හා දිවයින පුවත්පත් සමග සම්බන්ධ වූයේ එහි ආරම්භයේ සිට ම ය. ඒ පුවත්පත් යම් ජාතික මතවාදයක පිහිටා කටයුතු කෙළේ ය. ජාතික මතවාදයක් රටේ ප්‍රචලිත කිරීමට ඒ පුවත්පත්වලින් සිදු වී ඇති සේවය අති මහත් ය. මේ පුවත්පත්වලට මුල සිට ම එල්ලවූ තර්ජන බොහෝ ය. එහෙත් පුවත්පත් ඉදිරියට ම ගියේ ය. දෙමළ ජාතිවාදයට, බෙදුම්වාදයට හා ත්‍රස්තවාදයට එරෙහිව කරගෙන ගිය අරගලය නන්දිකඩාල් කලපුවේ දී යම් ප්‍රමාණයකට ජයග්‍රහණය කෙළේ ය. එහෙත් සටන කෙළවර වී නැත. දෙමළ ජාතිවාදය පරාජය කළ යුතුව ඇත.


මේ සටන බටහිර යටත්විජිතවාදයට එරෙහි ව කරන අරගලයේ එක් කොටසක් පමණකි. බටහිරයන් අප යටත්කරගෙන ඇත්තේ දෙමළ ජාතිවාදය යොදාගනිමින් පමණක් නො වේ. ගොවිකම වෙදකම ආදී ක්‍ෂෙත්‍රවල ද ඔවුහු අප යටත්කරගෙන සිටිති. දේශපාලනඥයන් අවුරුදු හැටකට වැඩි කාලයක් මොනවා කීවත් දේශීය ගොවිකමට හා දේශීය වෙදකමට රටේ පිළිගැනීමක් නැත. බටහිර වෛද්‍යවරු ද විද්‍යාඥයෝ ද තරුණයන්ගේ බසින් කියන්නේ නම් බටහිර දැනුම වෙනුවෙන් කහිති. අද මෙරට වසාගෙන සිටින කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව කෘෂිරසායන යොදා ගැනීම ය. ඒ බව අප දැනගත්තේ මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙනි. අපි ඒ කෘෂිරසායන තහනම් කරවීමට උත්සාහ ගනිමු. ඊනියා බටහිර විද්‍යාඥයන්ට අනුව රෝගයට හේතුව තවමත් “සොයාගෙන” නැත. එහෙත් ඒ අතර රෝගීහු මියයති. රෝගයට දේශීය වෛද්‍ය ක්‍රමයෙහි ප්‍රතිකාර ඇතත් රජයෙන් අනුග්‍රහයක් නැත. 

අද යම් පිරිසකට මා හා තවත් කිහිප දෙනකු විදුසරට ලියන ලිපි නැවැත්වීමට අවශ්‍ය වී ඇත. එක් හේතුවක් වන්නේ පලිබෝධ නාශක නැවැත්වීමට අප ගෙන යන අරගලය ය. අනෙක් හේතුව අප බටහිර විද්‍යා දැනුම් ආධිපත්‍යයට පහර දීම ය. විදුසරට ලියන ලිපි ඊනියා විද්‍යාඥයන් හා ඔවුන්ගේ සමිති සමාගම් විසින් විමර්ෂණයට භාජනය කළ යුතු යැයි ඔවුහු කියති. මේ සමිති ගැන අපි හොඳාකාරව දනිමු. බටහිර විද්‍යාවට එරෙහිව ලියන ලිපි බටහිර විද්‍යාඥයන්ගේ සමිති මගින් විමර්ෂණය කෙරෙන්නේ කුමන අරමුණක් ඉටුකර ගැනීමට ද? අප මේ බටහිර විද්‍යාඥයන්ගේ හා ඔවුන්ගේ සමිතිවල ආධිපත්‍යය පිළිගත යුතු ද? එකල කතෝලික සභාවට විරුද්ධ ව ලූතර් කැල්වින් ආදීන් ලියූ දේ කාදිනල්වරුන්ගේ අවසරයෙන් පමණක් ප්‍රකාශ කළ යුතු වී නම් කුමක් සිදුවන්නට තිබිණි ද? අද බටහිර විද්‍යාඥයන්ගේ සංවිධානය (එය පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ!) ක්‍රියා කරන්නේ එදා කතෝලික පල්ලිය ක්‍රියාකළ ආකාරයට ද වඩා අනෙක් මත පාගා දමන සංවිධානයක් ලෙස ය. බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කළ ද බටහිර විද්‍යාව තරම් අනෙක් මත පාගා දමන ආයතනයක් ලෝකයේ කිසි දිනෙක තිබී නැත. 

බෝධි ධනපාල ඉලෙක්ට්‍රොනික ලිපියක් ලියමින් විදුසර මගේ ලිපිවලට පිළිතුරු දීමට අයිතිය හා අවස්ථාව නොදෙන බව පවසයි. එහෙත් බෝධි ධනපාලගේ ම ලිපි දෙකක් විදුසර සඟරාවෙහි පළ කෙරිණි. එයට අමතරව ඔහු විසින් පුම්බනු ලබන ඔහුගේ ගුරූ චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතාගේ ලිපියක් ද කීර්ති තෙන්නකෝන් මහතා බටහිර විද්‍යාව වෙනුවෙන් ලියූ ලිපි ද විදුසරෙහි පළවිණි. ඒ සතිපතා මෙන් අශෝක අමරතුංග මහතාගේ ලිපි පළ කෙරෙද්දී ය. ධනපාල මහතාට තමා මෙතෙක් කර ඇති විකෘති කිරීම් නැවත නැවත කරනු හැරෙන්නට වෙනත් දෙයක් කිරීමට ඉතිරි වී නැත. ඒ මහතා පසුගිය දා කියා සිටියේ විදුසරට ලිපි ලිවීමට තමාට කාලයක් නැති බව ය. ඒ මහතා මෙයින් මතු විදුසරට නොලියන බෑවින් තමාගේ ලිපි පළ නොකරන්නේ ය යන චෝදනාව ඔහු දැන් සිට ම විදුසරට එල්ල කරයි.

බෝධි ධනපාල මහතාට දැන් අවශ්‍ය ප්‍රභූ යැයි සම්මත පාසල්වල විද්‍යා ගුරුවරුන් ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද සහභාගි කරවා ගනිමින් මට විරුද්ධව කටයුතු කරවීමට ය. මා මේ විශ්වවිද්‍යාල ඇදුරන්ගෙන් සමහර දෙනකුට කණ්ඩායමක් ලෙස මා සමග විවාදයකට එළඹෙන ලෙස ආරාධනා කර ඇත. එහෙත් තවමත් ඔවුන් ඒ පිළිගෙන නැත. එපමණක් නො වේ. ධනපාල මහතාගේ ගුරු ධර්මවර්ධන මහතා ලංකාවට පැමිණි අවස්ථාවක දී මා සමග විවාදයකට එළඹෙන ලෙස ද ආරාධනයක් වේ. ඒ ආරාධනය ධනපාල මහතාට ද දික් කිරීමට මම කැමැත්තෙමි. බෝධි ධනපාල මහතාගේ ප්‍රශ්නය ඔහු කියවා ඇති දේ ඔහුට දිරවාගත නො හැකි වීම ය. 

ඔහුට මා බටහිර විද්‍යාව ගැන කරන විවේචනය නො තේරෙයි. අමරතුංග මහතාට ද එසේ ම ය. මට එහි දී කළ හැකි දෙයක් නැත.  මගේ විවේචනය නැවතත් පහත සඳහන් කරමි. එය අනාථ කරන මෙන් අර වාද මණ්ඩලයෙන් ඉල්ලා සිටිමි. ධනපාල මහතා මුසා යන්න ද තේරුම් නො ගනියි. ත්‍රිලක්‍ෂණය අවබෝධ කරගෙන නොමැති පෘථග්ජනයෝ මනසින් ඒ ඒ දේ නිර්මාණය කරති. ඒ අතර මනස ද වෙයි. මම යන්න ද මුසාවකි. එහෙත් ඒ මුසා හෙවත් බොරු අපට ජීවත්වීමට අවශ්‍ය වෙයි. මේ මුසා බොහොමයක් අපේ ප්‍රත්‍යක්‍ෂ වෙයි. එනම් ඒ පංචෙන්ද්‍රිය ගෝචර වෙයි. ඒ මුසා නිර්මාණය කෙරෙන්නේ තවත් මුසාවක් වූ මනස ආධාරයෙනි. බටහිර විද්‍යාවේ දී මේ ඇතැම් මුසා තේරුම් කිරීමට වියුක්ත කතා ගෙතෙයි. ඒ වියුක්ත කතා ප්‍රත්‍යක්‍ෂ  නො වේ ඒවා පට්ටපල් බොරු ය. 

මා සිංහල බෞද්ධ විද්‍යාඥයන් විවේචනය කරන්නේ ඔවුන් තම හීනමානය වසා ගැනීමට බුදුදහම බටහිර විද්‍යාව සමග සංසන්දනය කරන බැවිනි. ඔවුන් කියන පරිදි  බුදුදහමේ බටහිර විද්‍යාත්මක චින්තනයක් වේ නම් ඊනියා සිංහල බෞද්ධයනට බටහිර විද්‍යාවේ සංකල්ප හා ප්‍රවාද ගෙතීම පහසු විය යුතු ය. එහෙත් ඒ එසේ වන්නේ නො වේ. සිංහල බෞද්ධ විද්‍යාඥයන් අතින් සංකල්ප ප්‍රවාද ආදිය නිර්මාණය නො කෙරෙයි. මම සිංහල බෞද්ධ භෞතික විද්‍යාඥයන්ට ප්‍රශ්නයක් යොමු කරමි. වීලර්ගේ ප්‍රමාද තේරීමට අනුව වර්තමානය විසින් අතීතය තීරණය කෙරෙන්නේ යැයි කියැවෙයි. ඒ ගැන මේ විද්‍යාඥයන්ට කීමට ඇත්තේ කුමක් ද? අනුන්ගේ මත උපුටා දක්වන ධර්මවර්ධන මහතාට බෝම් මේ ගැන කියන්නේ කුමක් දැයි කිව හැකි ද?  
    
ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා බටහිර විද්‍යාවේ ඊනියා දාර්ශනික පදනම හා ජීවීතයේ අරුත ගැන ලියයි. ඒ සමග ඔහු බුදුදහම ද එයට පැටළවීමට උත්සාහ කරයි. ඉතා පැහැදිලිව කිව යුතු කරුණක් නම් ජීවිතයේ අරුත යන්න බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංකල්පයක් බව ය. එය අමරතුංග මහතාගේ නිර්මාණයක් නො වේ. මෙරට හෝ පිටරට හෝ සිටින ලාංකික, විශේෂයෙන් ම සිංහල බෞද්ධ විද්‍යාඥයන් අතින් නිර්මාණය වී ඇති සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ බටහිර විද්‍යාවේ ඇත්නම් පෙන්වන්න. 

ජීවිතයේ අරුතක් ගැන සිංහල බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් නො වේ. සිංහල බෞද්ධයෝ සංසාරයෙන් එතෙර වීමට උත්සාහ කරති. මෙහි එතෙර වීම යන්නෙන් අදහස් කරන්නේ එහා ඉවුරේ ඇති තැනකට යෑම නොවන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නො වේ. එහෙත් ඒ සාමාන්‍ය පාඨකයන් සඳහා ය. සරල රේඛාවක් යනු අර්ථ නොදැක්වූ වස්තුවක සීමාකාරී අවස්ථාව යැයි අරථ දැක්වූ (මොන තරම් පරස්පරයක් ද) බෝධි ධනපාල වැන්නන්ට ඒ කරුණු ඇඟිල්ලෙන් ඇන පෙන්වා දීමට සිදු වී ඇත. ජීවිතයේ අරුතක් සෙවීමට සිංහල බෞද්ධයෝ උත්සාහ නො ගනිති. ඔවුන්ට අවශ්‍ය වන්නේ එවැනි වල්බූත දැනගැනීම නොව අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කර ගැනීම ය. ජීවිතයේ ඊනියා අරුතක් දැනගැනීමට යන්නෝ සංසාරයේ තව තවත් රැඳෙති. අපට ඒ ගැන කිව හැක්කේ අනේ අපොයි යන්න ය. 

අමරතුංග මහතා තම 2015 මැයි 27 වැනි දින ලිපියෙහි මෙසේ කියයි. ජීවිතයේ අරුත විද්යා වේ දාර්ශනික පදනම සමග යම්කිසි සබඳතාවක්‌ තිබිය යුතු වන්නේ විද්යායව සත්යත ගවේෂණය වන නිසා ය. සත්ය  යනු ජීවිතයේ අරුත පහදා දිය යුතු විද්යා ව වන්නේ ය. එය වෙනත් දෙයක් විය නොහැකි ය”. මේ වාක්‍ය සිංහල භාෂාවේ වාක්‍ය ද යන්න ම ප්‍රශ්නයකි. තමා අදහස් කරන්නේ කුමක් දැයි පැහැදිලි ව ප්‍රකාශ කිරීමට අමරතුංග මහතාට නො හැකි බව අපි කලක් තිස්සේ දනිමු. 

කෙසේ වෙතත් ඒ මහතා මෙයින් කීමට බලාපොරොත්තු වන්නේ පහත සඳහන් කරුණු විය හැකි ය. සමහර විට ඒ වැරදි වන්නට ද ඉඩ ඇත. එසේ නම් ඒ නිවැරදි කිරීම අමරතුංග මහතාගේ යුතුකම වෙයි. මා ලියන්නේ මා යොදා ගන්නා වචන ආධාර කරගනිමින් බව ද සැලකිය යුතු ය. අමරතුංග මහතා විද්‍යාව කියන තැන මා යොදන්නේ බටහිර විද්‍යාව යන්න ය. මට තේරෙන අයුරෙන් අමරතුංග මහතා කියන්නේ බටහිර විද්‍යාවෙහි සත්‍ය ගවේෂණය කෙරෙන නිසා ජීවිතයේ අරුත යන්න බටහිර විද්‍යාවේ දාර්ශනික පදනම සමග යම්කිසි සම්බන්ධයක් තිබිය යුතු බව ය. 

එහෙත් අමරතුංග මහතා එවැනි නිගමනයකට එළඹෙන්නේ කෙසේ ද? බටහිර විද්‍යාවේ සත්‍ය ගවේෂණය කෙරෙන්නේ යැයි අපි තර්කය සඳහා උපකල්පනය කරමු. එහෙත් එපමණකින් ඊනියා ජීවිතයේ අරුත යන්න හා බටහිර විද්‍යාවේ දාර්ශනික පදනම අතර යම්කිසි සම්බන්ධතාවක් තිබිය යුතු ද? සත්‍යය යනු ජීවිතයේ අරුත පහදා දිය යුතු විද්‍යාව වන්නේ ය යනුවෙන් අමරතුංග මහතා එයට පිළිතුරක් සපයන බවක් පෙනෙන්නට ඇත. එහෙත් එයින් ඒ මහතා කියන්නේ කුමක් ද යන්න පැහැදිලි නැත. ඒ මහතා එයින් කියන්නේ සත්‍යය යන්න ඇත්තේ ජීවිතයේ අරුත පහදා දෙන විද්‍යාවක බව හා බටහිර විද්‍යාව එවැනි විද්‍යාවක් බව ද? අමරතුංග මහතාට ලිවීමේ දී නිරවුල් බවක් නැත්තේ ඔහුගේ අදහස් නිරවුල් නොවන බැවිනි. ඔහු අතනින් මෙතනින් ගත් අදහස් අවුල් කර ගෙන ඇත. 

කෙසේ නමුත් අමරතුංග මහතා බටහිර විද්‍යාවෙන් සත්‍යය හෙළිවන බවක් අදහස් කරන්නේ යැයි සිතමි. එහෙත් බටහිර විද්‍යාවේ ඇත්තේ පට්ටපල් බොරු කතන්දර ය. අප දිගින් දිගට ම කියන මේ කතාව අනාථ කිරීමට අමරතුංග මහතා මෙතෙක් සමත් වී නැත. පාඨකයාගේ පහසුව සඳහා අපි ඒ නැවතත් සඳහන් කරමු. එහෙත් අමරතුංග මහතා දැන්වත් ඒ අවබෝධකර ගනීවි යැයි සිතිය නො හැකි ය. 

බටහිර විද්‍යාවේ පංචෙන්ද්‍ර්ිය ගෝචර නිරීක්‍ෂණ වෙයි. ඒ ඇතැම් නිරීක්‍ෂණ පරීක්‍ෂණ හා සම්පරීක්‍ෂණවලින් ලැබෙයි. බටහිර විද්‍යාවේ ඉන්පසු කෙරෙන්නේ ඒ පංචෙන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ තේරුම් කිරීමට යැයි කියමින් පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත සංකල්ප ආධාරයෙන් වියුක්ත කතන්දර ගෙතීම ය. මේ කතන්දරවලට බටහිර විද්‍යාවේ ප්‍රවාද යැයි කියැවෙයි. ඒ එකක්වත් ප්‍රත්‍යක්‍ෂ හෙවත් සෘජු පංචෙන්ද්‍රිය ගෝචර දැනුම් නො වේ. සිංහල බෞද්ධයනට පංචෙන්ද්‍රිය ගෝචර සංකල්ප ද නිරීක්‍ෂණ ද බොරු ය. පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප හා කතන්දර (ප්‍රවාද) ද එලෙස ම බොරු ය. එහෙත් බුදුන්වහන්සේ මේ පංචෙන්ද්‍රිය ගෝචර නොවන කතන්දර (ප්‍රවාද) පංචෙන්ද්‍රිය ගෝචර සංකල්ප තරමටවත් වැදගත් ලෙස නො සැලකූහ. 

චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙන් කියැවෙන්නේ එයයි. මිහිඳු හිමියන් සිංහලයන්ට පොදුවේ දෙසූ පළමු සූතය්‍ර ද එයයි.  මේ පොසොන් සමයෙහි අපට එය කිහිප වතාවක් ඇසෙනු ඇත. අඩු තරමෙන් දැන්වත් ඒ සූත්‍රයෙහි කියා ඇති පරිදි ඇතා ගැන කතන්දර ඔස්සේ නිගමනවලට නොපැමිණ ඇතා දැක ම ඒ ඇතකු බව නිගමනය කරමු. බටහිර විද්‍යාවේ කතන්දර වෙනත් කතන්දරවලට ද වඩා විශ්වාස කළ නොහැකි පට්ටපල් බොරු වන්නේ ඒ වියුක්ත කතන්දර වන බැවිනි. 

අද මේ බටහිර විද්‍යාඥයන් යැයි කියාගන්නා අය අපට හිනාවන්නේ අප පංචෙන්ද්‍රිය ගෝචර නොවන නාථ දෙවියන් නමින් හැඳින්වෙන ප්‍රාණියකුගෙන් ආසනික් ග්ලයිෆොසේට් ආදිය ගැන දැනගත්තේ යැයි කියමිනි. මේ දෙවියන් භූතයන් ආදීන් දැකගත් කිහිප දෙනෙක් නමුත් ලෝකයේ සිටිති. ගුරුත්වාකර්ෂණය දැකගත් (පංචෙන්ද්‍රියවලට ගෝචර කරගත්) එක් අයකුවත් නිවුටන්ගේ සිට අද දක්වා ලෝකයේ ජීවත් ව සිටියේ යැයි අමරතුංග මහතාට හෝ බෝධි ධනපාල මහතාට හෝ සහතික විය හැකි ද? අමරතුංග මහතා වැනි බටහිර විද්‍යාඥයන් යැයි කියාගන්නා අයට අනුව පංචෙන්ද්‍රිය ගෝචර නොවන දෙවියන් නැත. එහෙත් පංචෙන්ද්‍රිය ගෝචර නොවන ගුරුත්වාකර්ෂණය ඇත. ඒ නාථ දෙවියන් නමින් හැඳින්වෙන ප්‍රාණියා අපේ නිසා ද? ගුරුත්වාකර්ෂණය ගැන කියන්නේ සුද්දන් නිසා ද? 

මෙරට හා පිටරට සිටින බටහිර විද්‍යාඥයන් යැයි කියාගන්නා සිංහල බෞද්ධයන් කියනු ඇත්තේ ගුරුත්වාකර්ෂණයෙන් පොළොවට පොල් වැටීම තේරුම් ගත හැකි බව ය. එහෙත් එය එසේ නොවන බව අපි කිහිප වතාවක් ම කියා ඇත්තෙමු. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය යන්න වියුක්ත ප්‍රවාදයකි. එයින් නිගමනය කළ හැක්කේ වියුක්ත ප්‍රකාශන ය. නිශ්චිත සංයුක්ත පොල් ගෙඩියක චලනය ගැන එයින් කිසිවක් කිව නො හැකි ය. එසේ කීම තර්ක විරෝධී ය.  එහෙත් අමරතුංග හා බෝධි ධනපාල මහත්වරුන්ට තර්ක විරෝධී යන්න තේරුම් ගත නො හැකි ය. 

අනෙක් අතට සංයුක්ත වස්තු වුවත් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් තේරුම් ගත නො හැකි ය. කිසිම ග්‍රහවස්තුවක් සූර්යයා නාභියක සිටින සේ සූර්යයා වටා අචල ඉලිප්සයක ගමන් නො කරයි. එහෙත් නිවුටන්ට අනුව වියුක්ත ප්‍රවාදයේ වියුක්ත නිගමනවලින් කියැවෙන්නේ වියුක්ත වස්තුවක් ඉහත කී ආකාරයට වියුක්ත අචල ඉලිප්සයක චලනය විය යුතු ය යන්න ය. මේ පට්ටපල් බොරු කතන්දරවලින් වැඩක් ගත හැකි යැයි කියන්නේ එපරිදි ය. 

එහෙත් දෙවියන්ගෙන් හා භූතයන්ගෙන් අප ලබාගන්නේ එවැනි පට්ටපල් බොරු කතන්දර නො වේ. දෙවියෝ හා භූතයෝ කතන්දර නො ගොතති. ඔවුන් කියන්නේ ඔවුන් ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා දේ ය. එය ද බොරු ය. එහෙත් පට්ටපල් බොරු නො වේ.  කෘෂිරසායනික වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බවත් ජලය හා පස ද එයට හේතුවන බවත් නාථ නම් ප්‍රාණියා දුටුවේ ය. ඔහු ඒ බව එක්තරා තැනැත්තියක මාර්ගයෙන් අපට සන්නිවේදනය කෙළේ ය. ඇතැම් බටහිර විද්‍යාඥයන් අද ආසනික් රෝගයට හේතුව ලෙස නො පිළිගත්තත්  වැඩි කල් නොගොස් ආසනික් ග්ලයිෆොසේට් දැළිස බටහිර විද්‍යා ලෝකයට ලංකාවෙන් දුන් එක ම දැනුම බවට පත්වනු ඇත. 

මේ ලෝකය යනු පංචෙන්ද්‍රිය ගෝචර ලෝකය පමණක් ම යැයි අමරතුංග මහතාට හා ධනපාල මහතාට කිව හැකි ද? ඔවුන් විශ්වාස කරන ආකාරයට නිරීක්‍ෂකයාගෙන් තොරව ඊනියා වාස්තවික ලෝකයක් පවතියි. එවැනි ලෝකයක් ඇති බවට ඒකාන්ත වභයෙන් බුදුන් වහන්සේ දේශනා කර ඇති සූත්‍රයක් උපුටා දක්වන මෙන් මා සිංහල බෞද්ධ බටහිර විද්‍යාඥයන් යැයි කියාගන්නා අයට අභියෝග කර ඇතත් තවමත් කිසිවකු ඒ අභියෝගය පිළිගෙන නැත. අපට නම් පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන ලෝකයක් ද ඇත. එය ද මනසින් මවාගන්නා බොරුවකි. ධනපාල මහතාට නම් අප මේ කියන්නේ කුමක් දැයි මේ භවයේ දී තේරුම් ගැනීමට නොහැකි වනු ඇත. ඔහු ඉහළ ම ගණයේ බුද්ධිමතෙකි. ඔහු නොදන්නා දෙයක් නැත. ධනපාල මහතා කාගෙන් වුව අසා දැනගෙන අර සූත්‍රය උපුටා දක්වන්නේ ද? 

බටහිර විද්‍යාඥයෝ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් කිරීමට යැයි කියමින් පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප හා ප්‍රවාද ඉදිරිපත් කරති. මෙය වියනාහි සිටි අර්නස්ට් මාක්ගේ විවේචනයට හසු විය. උදහරණ ලෙස ගුරුත්වාකර්ෂණය හා අවස්ථිති සමුද්දේශ රාමු දැක්විය හැකි ය. මෙය පසු කලෙක අයින්ස්ටයින්ට ඒ සංකල්ප දෙකම ප්‍රතික්‍ෂෙප කිරීමට බලපෑවේ ය. ධනපාල මහතා හා අමරතුංග මහතා කියන්නේ ඒ සංකල්පවලින් කියැවෙන්නේ ලෝකයේ පවතින දේ බව ද? වෙනත් වචනවලින් කියන්නේ නම් ගුරුත්වාකර්ෂණය හා අවස්ථිති සමුද්දේශ රාමු පවතී ද?  නැතහොත් එ ඊනියා ආකෘති පමණ ද? මේ  ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු බලාපොරොත්තු වෙමි. 

මෙහි දී ධනපාල මහතාගේ සරල රේඛා ගැන තවත් යමක් නොකියා බැරි ය. ඔහුට අනුව මම උපාධි අපේක්‍ෂකයකු තරමටවත් ගණිතය නො දන්නෙමි. 1967 අවුරුද්දේ ගණිතය පිළිබඳ රජයේ ශිෂ්‍යත්වය දිනාගත්තේ මා බැවින් ඒ අවුරුද්දේ අනෙක් ශිෂ්‍යයන් මා තරමටවත් ගණිතය දැන නොසිටින්නට ඇත. බෝධි ධනපාල මහතා ගණිතය විශේෂ උපාධිය නොහදාරාම අපට වඩා ගණිතය දනියි. ඔහු කිසිම අවබෝධයකින් තොරව වචන යොදා ගනියි.  සරල රේඛා වියුක්ත ව අර්ථ දැක්වීමක් ගැන ඔහු කියයි. ස්වසිද්ධි ඇසුරෙන් කෙරෙන වියුක්ත අර්ථදැක්වීම් අප නොදන්නවා නො වේ. බටහිර ගණිතයෙහි ඕනෑම අර්ථදැක්වීමක් සංකල්පයක් වියුක්ත ය. ඔහුට අනුව වස්තු දෙකක් ඡෙදනය වීමේ දී විරුද්ධ කෝණ සමාන වේ නම් හා බද්ධ කෝණවල ඓක්‍යය සෘජු කෝන දෙකක් නම් ඒ වස්තු සරල රේඛා වෙයි. මෙහි පොඩි අඩුපාඩුවකට ඇත්තේ කෝණයක් යනු කුමක් දැයි අර්ථදක්වා නොතිබීමත් කෝණ මනින්නේ කෙසේ දැයි සඳහන් නොකිරීමත් ය. මේ වස්තුවල කෝණ ගැන කෙරෙන නිර්වචන හා ඒ පිළිබඳ ඇති ස්වසිද්ධි කවරේ ද? 

බටහිර ගණිතය ඊනියා ලෝකය සමග සම්බන්ධ නැත. එහි යම් ක්‍ෂෙත්‍රයක නිර්වචන, ස්වසිද්ධි හා තර්ක ප්‍රකාශ ඇත. ඒ යොදා ගනිමින් ඊනියා නිගමනවලට එළඹීම බටහිර ගණිතයෙහි යොදා ගැනෙන ක්‍රමවේදය වෙයි. නිර්වචන ස්වසිද්ධි සත්‍ය ද නැද්ද යන්න බටහිර ගණිතයට අදාළ නැත. ධනපාල මහතා තොරතෝංචියක් නැතිව ත්‍රිෂන්ත නානායක්කාර මහත යොමු කළ ප්‍රශ්නයකට මා පිළිතුරු නොදුන් බව කියයි. නානායක්කාර මහතා ගණිතයෙහි වියුක්ත බව පිළිගනිමින් එක්තරා ගැටළුවක් සම්බන්ධයෙන් වියුක්ත නොවන පහැදිලි කිරීමක් බලාපොරොත්තු විය. අවාසනාවකට ඔහු ඉදිරිපත් කළ ගැටළුව ගණිත ගැටළුවක් නො වත ය. එය අවශ්‍ය නම් ඉංගිරිසින් විසින් ව්‍යවහාරික ගණිතය ලෙස හැඳින්වෙන විෂය ධාරාවට අයත් යැයි කිව හැකි ය. ව්‍යවහාරික ගණිතය යනු ගණිතය නො වේ. මා නානායක්කාර මහතාට කියා සිටියේ ඔහු ඉදිරිපත් කළ ගැටළුව ගණිත ගැටළුවක් නොවන බව ය. ඒ මහතා ඒ බව පිළිගත්තේ ය. ඉන්පසු ඒ ගැන විමසීමක් නො කෙළේ ය. එහෙත් සියල්ල තේරෙන ධනපාල මහතාට අනුව මා ප්‍රශ්නයට පිළිතුරු දී නැත! ඉතා පැහැදිලිව ධනපාල මහතා බටහිර ගණිතය යනු කුමක් දැයි නො දනියි.     

ධනපාල මහතා  ෆෝටෝනයක ස්කන්ධය පිළිබඳ මා දක්වන මතය වැරදි බව කියයි. ඔහුට කෙතරම් පැහැදිලි කර දුන්නත් ඔහු ටික දවසකින් නැවතත් තමාගේ ආධානග්‍රාහී මතය ප්‍රකාශ කරයි. මා මුල සිට ම කියා සිටියේ බුද්ධඝොෂ හිමියන් ද බෘලි අනුගමනය කරමින් මා ෆෝටෝනයකට ස්කන්ධයක් නියම කරන බව ය. ෆෝටෝනයකට ස්කන්ධයක් ඇති බවක් මම නො කීවෙමි. ධනපාල මහතාගේ ගුරු ද ඇතැම් අවස්ථාවල (අශුද්ධ ෆෝටෝන) ස්කන්ධයක් ඇති ලෙස හැසිරෙන බව අර සුප්‍රසිද්ධ පොතේ කියා ඇත. එහෙත් එය ඔහුගේ මතයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නො වේ. කීර්ති තෙන්නකෝන් මහතා ද ෆෝටෝනවල ස්කන්ධ ගැන කතා කර ඇත. 

බටහිර විද්‍යාවට ස්කන්ධය යනු කුමක් දැයි නොතේරෙන බව පැහැදිලි ය. ෆෝටෝනයට ශක්තිය ඇත. එහෙත් එහි අල්ලගත හැකි ද්‍රව්‍යයක් නැත. එබැවින් ෆොටෝනවලට ශක්තිය ඇත්තේ කෙසේ ද යන ප්‍රශ්නය බටහිර විද්‍යාඥයන්ට ඇත. සාමාන්‍ය අවස්ථාවන්හි දී ෆොටෝන නොගැටෙන නමුත් ශක්තිය ඉතා අධික වන විට ඒවා ගැටීමට සැලැස්විය හැකි ය. ඒ අවස්ථාවල දී ෆෝටෝනයක ස්කන්ධය ගැන කිව හැක්කේ කුමක් ද? 

දැන් අපි නැවතත් ඉඩකඩ නැති බැවින් අමරතුංග මහතාගේ මැයි 27 වැනි දා ලිපියෙහි කරුණු කිහිපයකට පමණක් අවධානය යොමු කරමු. ඔහු මෙසේ කියයි. “ඉහත සඳහන් කරුණුවලින් පෙනී යන්නේ මනස මොළයෙන් වෙන් කොට හැඳිනගත නොහැකි දෙයක්‌ බව ය. තව ද මනස වනාහි මොළයේ ක්රිෙයාදාමයක්‌ මිස වෙන දෙයක්‌ නො වන බව ය. ආත්මීය සංජානනය (subjective perception) ) සිදු වන්නේ මොළයේ කොතැනක දැයි නිසැක ව කිව නොහැකි වුව ද ස්‌නායු විද්යාබව (neuroscience) ඒ ගැන අදහස්‌ කිහිපයක්‌ ප්රවකාශ කොට ඇත”.

මේ අදහස් තවමත් සාර්ථක මට්ටමකට වර්ධනය කර නැති බව අමරතුංග මහතා වුව ද පිළිගනියි. සාර්ථක මට්ටමකට වර්ධනය කෙරුණ ද ඒ පට්ටපල් බොරු ය. කෙසේ වෙතත් අපි අමරතුංග මහතාගෙන් අපේ විනෝදය සඳහා තවත් කරුණු බලාපොරොත්තු වෙමු. ඒ මහතා තම ලිපියෙන් මෙසේ ද කියයි. “මනස සහ ශරීරය අතර ඇති සම්බන්ධතාව පැහැදිලි ලෙස වටහාගත හැකි ය. එසේ ම මනස වනාහි මොළයේ ක්රි යාදාමයක්‌ බව ද කිව හැකි ය."  අපට මේ ඉදිරියේ දී වැදගත් වනු ඇත. 

සමහරවිට ඒ මහතා නොදන්නවාට මොළය නමැති අවයවය නොමැති මිනිසුන්ට ද මනස තිබී ඇත. මේ පිළිබඳ ව පසුව කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. දෙවියන් භූතයන්ට මනස් ඇත්තේ මොළය නම් ඉන්ද්‍රිය තිබී ද? පුනබ්භවය සිදුවන්නේ කෙසේ ද? ඒ පිළිබඳ අමරතුංග මහතා දැනට මෙවැනි ප්‍රශ්නයක් අසයි.  

“මරණින් පසු පුනරුත්පත්තිය සඳහා විඤ්ඤාණය කෙසේ ක්යාකාරී වන්නේ ද? “ . අපටත් ඒ දැනගැනීමට අවශ්‍ය වෙයි. අමරතුංග මහතා ඒ තේරුම් කරාවි යැයි සිතමු. එහෙත් මට වෙනත් ප්‍රශ්නයක් ඇත. අමරතුංග මහතා කතාකරන්නේ බටහිර ආකෘති ගැන ය. ආකෘති යන වචනය ඒ මහතා යොදා ගනියි. ආකෘතියක් යනු ඊනියා සත්‍යය නොවන බව අමරතුංග මහතාට වුව ද පිළිගැනීමට සිදුවෙයි. එහෙත් මගේ ප්‍රශ්නය එය නො වේ. අමරතුංග මහතා වැන්නන්ට අනුව බුදුදහම බටහිර විදා්‍යව සමග එකඟ වෙයි. එසේ නම් සිංහල බෞද්ධ යැයි කියන විද්‍යාඥයන්ට අඩු තරමෙන් මනෝ විශ්ලේෂණයෙහි,  හා අදාළ විෂයයන්හිවත් ආකෘති තනාගත නො හැක්කේ ඇයි? සියළු ආකෘති අපට බටහිරින් ම එයි.
අමරතුංග මහතා මනස ගැන කතාකරමින් නාගර්ජුන ධර්මකීර්ති හිමිවරුන් ගැන සඳහන් කර ඇත. උන්වහන්සේලා ථෙරවාදී ද? මා මහායානිකයකු යැයි චෝදනා කළ අමරතුංග මහතාට ඒ හිමිවරුන් ගැන සඳහන් කිරීමට සිදුවීම දෛවයේ සරදමක් විය යුතු ය. ජීවිතයේ අරුත එය ද?    

නලින් ද සිල්වා

2015 ජූනි 04