Main Logo

Saturday 20 June 2015

ග්ලයිෆොසේට් තහනම -– 3

ග්ලයිෆොසේට් තහනම -– 3

ග්ලයිෆොසේට් මෙරටට ගෙන්වීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණේ 2015 ජූනි මස 11 වැනි දා ය. එහෙත් එයට පෙර මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස ග්ලයිෆොසේට් ගෙන්වීම තහනම් බව ප්‍රකාශ කර තිබිණි. නීත්‍යානුකූලව ඒ ප්‍රකාශයෙහි වලංගු භාවයක් නැති වුවත් ඒ රජයේ ප්‍රතිපත්තියට අනුකූල ව බව පෙනී ගියේ ය. 


එහෙත් ඒ ප්‍රකාශය කර දින කිහිපයක්වත් ගත වීමට පෙර හාක්‍රොස් හා හැරිසන් සමාගම් විශාල වශයෙන් ග්ලයිෆොසේට් ආනයනය කර තිබිණි. මේ සමාගම් හා එක්තරා රටකන රැපවාහිනී නාලිකාවක් සමග සම්බන්ධකම් ඇතැයි පැවසෙයි. එමෙන් ම අදාළ බහාලුම් රේගුවෙන් නිදහස් කර ගෙන ද තිබිණි. ලැබෙන ප්‍රවාෘත්ති අනුව ග්ලයිෆොසේට් ආනයනය කළ වෙනත් සමාගමක් තමන් ආනයනය කළ ප්‍රමාණය ආපසු යැවීමට පියවර ගෙන ඇත. 

ග්ලයිෆොසේට් ආනයනය තහනම් කිරීම පිළිබඳ අපි පික්පොකට් ආණ්ඩුවට අපේ ප්‍රසාදය පළ කර සිටියෙමු. ආණ්ඩුවේ පත්තරයක සඳහන් වූ ආකාරයට නොව ප්‍රසංශාව පළ කළ යුතු තැන එසේ කිරීම අපේ ප්‍රතිපත්තිය වේ. අප කියා සිටියේ රටේ පැත්තෙන් බලා පික්පොකට් ආණ්ඩුව කළ එකම යහපත් ක්‍රියාව ග්ලයිෆොසේට් ආනයනය තහනම් කිරීම බව ය.   මෙයට කලින් මහින්ද රාජපක්‍ෂ නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව ලංකාවේ දිස්ත්‍රික්ක හතරක ග්ලයිෆොසේට් අලෙවිය  තහනම් ය.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් ග්ලයිෆොස්ට් අලෙවිය තහනම් නොකෙරුණු දිස්ත්‍රික්කවල ග්ලයිෆොසේට් අලෙවියට බාධාවක් නැත. අර දිස්ත්‍රික්ක හතරේ ජීවත්වන්නන්ට ද අවශ්‍ය නම් අලෙවිය තහනම් නැති දිස්ත්‍රික්කයකට ගොස් ග්ලයිෆොස්ට් මිල දී ගත හැකි ය. මෙය වහාම නතර කළ යුතු ය. නීතියේ ඇති සියලු හිඩැස් වසා දැමිය යුතු ය. 

ඒ අන් කිසිවක් නිසා නොව කෘෂිරසායනික වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව වූ ආසනික් වකුගඩුව කරා රැගෙන යන වාහකය ග්ලියිෆොසේට් නිසා ය. මෙරට ඊනියා විද්‍යාඥයෝ කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව ග්ලියිෆොස්ට් නො වේ යැයි ද එබැවින් ඒ තහනම් නොකළ යුතු යැයි ද කියති. අප ග්ලයිෆොසේට් තහනම් කළ යුතු යැයි කියන්නේ ඒ කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව නිසා නොව ඒ ආසනික් වකුගඩුවට ගෙන යැමේ වාහකය ලෙස ක්‍රියා කරන බැවිනි. ආසනික් අඩංගු පොහොර ආනයනය කිරීමට ද අපි විරුද්ධ වෙමු. 

කෙසේ වෙතත් අද කළ යුත්තේ දිස්ත්‍රික්ක හතරක පමණක් නොව මුළු රටේ ම ග්ලියිෆොසේට් අලෙවිය තහනම් කිරීම ය. එහි දී මතුවන ප්‍රායෝගික ගැටලුවලට පිළිතුරු වෙන ම සොයා ගත යුතු ය. බටහිර කෘෂිකර්මය, රසායන විද්‍යාව වැනි විෂය උගත් ඇතැම් ඊනියා විශේෂඥයෝ නීතියේ ඇති හිල් සොයමින් සිටිති. ඔවුන් කාගේ ඒජන්තයන් දැයි කීම අනවශ්‍ය ය. 

මේ විශේෂඥයෝ  රෝගයට හේතුව කුමක් දැයි නො දනිති. ඔවුහු එකිනෙකා එක එක හේතු දක්වති. ඔවුන්ට අවසාන වශයෙන් එකඟ වීමට හැකි වූයේ පිරිසිදු පානීය ජලය අදාළ ප්‍රදේශවල ජනතාවට බෙදා දිය යුතු ය යන්න ගැන පමණ ය. එහෙත් ජලය පිරිසිදු කරන්නේ කෙසේ ද යන්න පිලිබඳ ව අද ඔවුන් අතර භේදයක් හටගෙන ඇත. අංක එකේ අනුකාරකයන් වූ මොවුන් වාද විවාද කරගෙන යන අතර රෝගීහු මිය යති. 

මේ රෝගීන් සුව කිරීමට දේශීය වෙදකමෙන් හැකි වුවත් ආණ්ඩුව ඒ ගැන කිසිවක් නො කරයි. අද දේශීය වෙදකම ද භාර වී ඇත්තේ ප්රාජිතට ය.  ඔහුගෙන් දේශීය වෙදකමට යහපතක් වේ යැයි සිතිය නො හැකි ය.

ග්ලයිෆොසේට් අලෙවිය තහනම් කිරීමකට විරුද්ධව අදාළ පිරිස් අධිකරනයට යෑමට ඉඩ ඇත. ආණ්ඩුව කල් තබා ඒවාට සූදානම් විය යුතු ය.

නලින් ද සිල්වා

2015 ජුනි 20