Main Logo

Sunday 14 June 2015

සිංහලය හා දෙමළ ජනයා


සිංහලය හා දෙමළ ජනයා

මෙරට අයිති සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩ නැගූ අයට ය යන්න අනේ නෝනේ ලිපියෙහි මම සඳහන් කෙළෙමි. අප රටට පමණක් නොව මෙය ඕනෑම රටකට වලංගු වූවකි. ඒ ඒ රටවල සංස්කෘතිය ගොඩ නැගුවෝ ඒ ඒ රටවල් අයිතිකරගෙන සිටිති. ඒ අදාළ සංස්කෘතිය ගොඩනැගීමේ දී ඔවුන් වෙනත් සංස්කෘතීන්ගෙන් අවශෝෂණය කරන්නට ඇත. ඊනියා නිර්මල සංස්කෘතීන් ලෝකයේ  කොහේවත් නැත. එහෙත් අනන්‍ය වූ සංස්කෘතින් ලෝකයේ ඇත. 


එංගලන්තයේ සංස්කෘතිය ගොඩ නැගීමේ දී රෝම සංස්කෘතිය ඉවහල් වී ඇත. එමෙන් ම පසු කලෙක පහළොස්වැනි සියවසෙන් පසුව නැවතත් ඉතාලියේ ම ජනිත වූ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ඉංගිරිසි සංස්කෘතිය ගොඩ නැගීමේ දී දායක වී ඇත. ඒ කුමක් වුවත් ඉංගිරිසින් එංගලන්තයේ අනන්‍ය වූ ඉංගිරිසි සංස්කෘතිය නගා ඇත. එංගලන්තය අයත්වන්නේ ඉංගිරිසින්ට ය. දැන් ප්‍රශ්නය වන්නේ එංගලන්තයේ ජීවත්වන වෙනත් පුරවැසියන්ට එංගලන්තය අයත් නොවන්නේ ද යන්න ය. මගේ අදහස අනුව නම් එංගලන්තයට වඩා වෙනත් රටකට පක්‍ෂපාති වන  එවැනි පුරවැසියන්ට එංගලන්තය අයත් නොවන බව ය. 

අද පවතින ඇමරිකන් සංස්කෘතිය සුදු ඇමරිකානුවන් විසින් ගොඩ නගන ලද්දකි. ඔවුන් ඒ ගොඩ නැගුවේ ඊනයා ආදිවාසීන් සමූලඝාතනය කිරීමෙනි. එය නිවැරදි යැයි මම නො කියමි. එහෙත් ආදිවාසීන්ට අද ඇමරිකන් සංස්කෘතියට අයිතියක් උරුමයෙන් නො ලැබෙයි. ඔවුන් අද ඇමරිකාවට අයිතිවාසිකම් කියන්නේ ඇමරිකන් සංස්කෘතිය පිළිගැනීමෙනි. ඇමරිකාවේ ජීවත්වන  කළු ජාතිකයෝ (ඊනියා අප්‍රිකානු ඇමරිකානුවෝ) වත්මන් ඇමරිකන් සංස්කෘතිය ගොඩ නොනැගූහ. එහෙත් ඔවුහු එම සංස්කෘතිය පිළිගනිති. ඔවුන් ඇමරිකාවට වඩා තම මුල් අප්‍රිකානු රටවලට පක්‍ෂපාතීත්වයක් නො දක්වති. ඇමරිකාවේ කළු ජාතිකයනට ද ඇමරිකාව අයිති යැයි මම සිතමි. 

ඊජිප්තුවේ හෙවත් මිසරයේ ජනතාව හා පාරාවෝ සංස්කෘතිය සමග බැඳීමක් නැත. අද එහි ඇත්තේ වෙනම ම ඉස්ලාම් සංස්කෘතියකි. ඒ සංස්කෘතිය ගොඩ නැගූවන්ට ඊජිප්තුව අයිති ය. පාරාවෝ සංස්කෘතියේ ජනතාවට අද ඊජිප්තුව අයත් නැතිවා පමණක් නොව අද ඊජිප්තුවේ ජනයාට පාරෝවා් සංස්කෘතියට හිමිකම් කීමට ද නො හැකි ය. 

ලංකාවේ ඇත්තේ අවුරුදු දහස් ගණනක අඛණ්ඩ (වෙනස් නොවන්නේ ය යන අර්ථයෙන් නොව)  සංස්කෘතික ඉතිහාසයකි. සිංහල බෞද්ධ සංස්කෘතිය හෙළ බෞද්ධ සංස්කෘතියෙහි ම විකාශයකි. නායක්කාර් වාංශිකයන් සිංහලේ භාරකාරත්වය ලැබුයේ නමට වුව බෞද්ධ වීමෙනි. ඉංගිරිසින් පාලන බලය ලබාගත්තේ 1815 ගිවිසුමෙන් සිංහල සිරිතට අනුව රට කරවීමට හා බුදුසසුන රැකීමට පොරොන්දු වීමෙනි. ඔවුන් ගිවිසුම කැඩූ බව වෙන  කරුණකි. 

මෙරට වසන දෙමළ ජනයාට හා මුස්ලිම් ජනයාට රටට අයිතියක් ඇත. එහෙත් ඔවුන් පළමුව මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වය පිළිගත යුතු අතර ඉන්දියාවට පකිස්ථානයට හෝ වෙනත් රටකට  හෝ පක්‍ෂපාති නොවිය යුතු ය. මෙරට සිංහල කතෝලිකයන්ට සිංහල බෞද්ධ සංස්කෘතියේ විශේෂත්වය පිළිගැනීම කලකට පෙර ප්‍රශ්නයක් විය. එහෙත් අද නායක පූජකවරුන් හා ප්‍රභූ පිරිසකට හැරෙන්න අනෙක් සිංහල කතෝලිකයන්ට සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වය පිළිගැනීම ප්‍රශ්නයක් නො වේ. සිංහල කතෝලිකයන්ට අද මෙරට අයිති ය. දෙමළ හා මුස්ලම් ජනයාට ද සිංහල කතොලිකයන් අනුගමනය කළ හැකි ය.

නලින් ද සිල්වා

2015 ජූනි 14