චමල් අගමැති කමට
පසුගිය දා පැවති ජනමාධ්‍ය සංදර්ශනයක දී (ජනමාධ්‍ය සාකච්ඡාවක දී) මෙරට පැරණි ම දේශපාලන පක්‍ෂය වූ ලංකා සමසමාජ පක්‍ෂයේ නායක තිස්ස විතාරණ අපූරු කතා දෙකක් කියා ඇත. තිස්ස විතාරණ මහාචාර්යවරයකු වූයේ වයස කීයේ ද යන්නවත් ඔහු දැනටත් මහාචාර්යවරයකු (ඊනියා සේවාර්ජිත) ද යන්නවත් එතරම් වැදගත් මාතෘකා නොවන්නේ මෙරට බොහෝ මහාචාර්යවරුන්ගේ කතා පිළිබඳ අපට අවබෝධයක් ඇති බැවිනි. එහෙත් ජනමාධ්‍යවේදීන්ට තිස්ස වැන්නන්ගේ කියුම් කෙරුම් වැදගත් ය. මෙරට ජනමාධවෛ්දීන් බොහෝ දෙනෙක් දේශපාලනඥයන්ට ම ගැලපෙන්නෝ වෙති. අපට ගැලපෙන්නෝ නො වෙති. ඔවුන්ට අප ගැලපෙන්නේ ද නැත.
තිස්සට අනුව චමල් අගමැති කළ යුතු ය. ඒ එසේ විය යුත්තේ ඇයි දැයි තිස්ස අපට නො කියයි. සමහරවිට අපෝහක භෞතිකවාදය අනුව ඒ එසේ වන්නේ දැයි අපි නො දනිමු. අපි චමල් සද්ධාචමල් ලෙස හැඳින්වූයෙමු. ඒ සද්ධාචමල් අගමැති ධුරයට වක්‍ර ව අයිතිවාසිකම් කී කාලයක ය. එකල බොහෝ දෙනාට ඔහුගේ අභිප්‍රාය ගැනවත් අප ඔහුට සද්ධාචමල් කියන්නේ ඇයි ද යන්න ගැනවත් වැටහීමක් නො වී ය. එහෙත් අද තිස්සට චමල් අගමැති ලෙස අවශ්‍ය වෙයි.
ඊනියා යහපාලනය බෙදුම්වාදය සඳහා යැයි අප කීවේ ජනාධිපතිවරණයට ද පෙර ය. පල්ලි නිකායේ හාමුදුරුවරුන් ඊනියා රාජ්‍ය නොවන පඬියන් හා වැඩකට නැති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සමග එකතු වී සාධාරණ සමාජයක් ගැන කතා කරද්දී ගොනා හැරෙන්නේ කුමකට දැයි අපි තේරුම් ගත්තෙමු. එසේ වුවත් මෙරට ජනතාව හා ජනමාධ්‍ය අප කී දේ තුට්ටුවකටවත් මායිම් නො කළහ. එහෙත් අද ඊනියා දේශපාලන විශ්ලේෂකයන් නින්දෙන් අවදි වී යහපාලනයෙන් රට බෙදෙන හැටි කියද්දී ජනමාධ්‍යවේදීහු ද ජනතාව ද කවදා නම් මෙවැනි පාණ්ඩිත්‍යයක් දැක ගත හැකි දැයි කියමින් මුව අයා ගෙන ඒ කතාවලට සවන් දෙති. තිස්ස ද සති කිහිපයකට පසුව නින්දෙන් අවදි වී ඇත.
අද වන විට මහින්ද වටා බලවේගයක් ගොඩ නැගෙමින් පවතී. ඒ කඩාකප්පල් කිරීමට විජාතික බලවේගවලට අවශ්‍ය වී ඇත. එහි දී චමල් අගමැති අපේක්‍ෂකයා ලෙස යෝජනා වී තිබිණි. එහෙත් මහින්ද වටා බලවේගය ශක්තිමත් වත් ම චමල්ගේ නම හැලී ගියේ ය. පසුගිය දා මාතර දී පැවති රැළියට ශෂේන්ද්‍ර ද එකතු විය. අද ඉන්දියාව මාන බලන්නේ මහින්දගෙන් ගෝඨාභය කැඩීමට ය. ඒ සඳහා මෙරට ඉන්දීය ඒජන්තයන් දැනටමත් සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි. යම් අයුරකින් ඉන්දිය ඒජන්තයන් සාර්ථක වුවහොත් ඒ ගෝඨාභයගේ දේශපාලනයේ අවසානය වනු ඇත.
තිස්සගේ දෙවැනි කතාව සුලු පක්‍ෂ සම්බන්ධයෙනි. ඔහු කියා ඇත්තේව සුලු පක්‍ෂවලට ද පාර්ලිමේන්තුව නියෝජනය කිරීිමට අවස්ථාව ලබා දිය යුතු බව ය . එසේ නොකළහොත් සුලු පක්‍ෂ පාර්ලිමේන්තුවෙන් පිටතට සටන ගෙන යනු ඇතැයි ඔහු කියන බව පෙනෙයි. මේ නම් කලකට පසුව අසන්නට ලැබුණු හොඳ අපෝහක භෞතිකවාදී විප්ලවවාදී කියමනකි. සාර් රජුට ඒ බව කියා දීමට එකල තිස්ස නොසිටීම රජුගේ අවාසනාව ද නැත්නම් තිස්සගේ අවාසනාව ද යන්න නො දනිමි. සාර් කළ යුතුව තිබුණේ ලෙනින්ට හා බෝල්ෂෙවික් පක්‍ෂයට රුසියන් ඩුමාවේ ආසන කිහිපයක් වෙන් කර දීම ය. එසේ කෙළේ නම් රුසියන්් විප්ලවයක් නැත. කෙසේ වෙතත් මෙරට අද පාර්ලිමේන්තුවෙන් පිටතට සටන ගෙන යාහැකි ඊනියා විප්ලවවාදී පක්‍ෂ නැත. එවැනි සුලු පක්‍ෂ ඇත්නම් ඒ දෙමළ හා මුස්ලිම් ජාතිවාදී පක්‍ෂ වෙයි. තිස්සට අවශ්‍ය කුමක් ද?
නලින් ද සිල්වා
2015 ජූනි 19