Main Logo

Thursday 11 June 2015

රනිල්ගේ බොරු තර්ක

රනිල්ගේ බොරු තර්ක

රනිල් කියන ආකාරයට 2010 දී ජනතාව වර්තමාන පාර්ලිමේන්තුව පත් කෙළේ මහින්ද රාජපක්‍ෂ  ජනාධිපති ලෙස පත්කර ගැනීමෙන් පසු ඔහුට සහාය දීමට ය. එහෙත් පසුගිය ජනවාරි 8 වැනි දා ජනතාව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස පත්කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවට දුන් ඒ වරම අහෝසි විය. එබැවින් මේ පාර්ලිමේන්තුවට තවදුරටත් පැවතීමට අයිතියක් නැත. රනිල් වික්‍රමසිංහ කියන ආකාරයට මේ පාර්ලිමේන්තුව මෛත්‍රිපාල සිරිසේනට සහාය දී යුතු ය. එසේ නැත්නම් වෙනත් පාර්ලිමේන්තුවක් පත්කර ගත යුතු ය. 


රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට නව එකතුකිරීමක් කරයි. එහි වරදක් නැත. මෙරට බුද්ධිමතුන් යැයි කියාගන්නා අයට තම තමන්ගේ ක්‍ෂෙත්‍රවල නව එකතුකිරීම් කළ නොහැකි බැවින් දේශපාලනඥයන් ඒ කර්යයට අත ගැසීම වරදක් නැත. එහෙත් කරන දෙයක් කරන්නට සිදුවන්නේ අදාළ රටේ පවත්නා ව්‍යවස්ථාවට එකඟව ය. සමහර විට රනිල් වික්‍රමසිංහ  කියනු ඇත්තේ ඔහුගේ නව ප්‍රවාදය අනුව ව්‍යවස්ථාව කුණු කූඩයට දැමිය හැකි බව ය. ඒ එසේ නම් තවදුරටත් ඒ ගැන සාකච්ඡා කිරීම අනවශ්‍ය ය. 

සාකච්ඡා කිරීම අනවශ්‍ය වුවත් වචනයක් නොකියාම බැරි ය. අද රනිල් වික්‍රමසිංහ  මෛත්‍රිපාල සිරිසේන සමග එකතු වී ව්‍යවස්ථාව කුණු කූඩයට දමා ඇත. රනිල් වික්‍රමසිංහ  අගමැති වූයේ දි මු ජයරත්න  අගමැති ව සිටිය දී ම ය. අර ඊනියා අස්කිරීමේ ලිපිය ලිපි ගොනුවකට දැමී යැයි කියන කතාව අපි නො පිළිගනිමු. අද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වී සිටින දි මු ජයරත්න මේ සම්බන්ධයෙන් කුමක් කියන්නේ දැයි අපි නො දනිමු.

ඒ කුමක් වුවත්  පාර්ලිමේන්තුවක් ජනාධිපතිට සහාය දීම යන්නෙන් රනිල් වික්‍රමසිංහ අදහස් කරන්නේ කුමක් ද? මේ පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ  විපක්‍ෂ නායක ව සිටිය දී මහින්ද රාජපක්‍ෂට සහාය දුන්නේ ද? ප්‍රවාද නිර්මාණය ගැන මෙලෝ හසරක අදහසක් නැති රනිල් වික්‍රමසිංහට එවැනි කරුණු ගැන අවබෝධයක් නැති විය හැකි ය. ඔහු කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය ජනාධිපතිට සහාය දිය යුතු බව ද? 

මේ පාර්ලිමේන්තුවේ බහුතරය මෛත්‍රිපාල සිරිසේනට සහාය නෙදෙන්නේ නම් කළ යුත්තේ පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර වෙනත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම ය. එහෙත් ඒ පාර්ලිමේන්තුවේ බහුතරය මෛත්‍රිපාල සිරිසේනට සහාය දෙන බවට සහතිකයක්  දීමට රනිල් වික්‍රමසිංහට හැකි ද? ඒ පාර්ලිමේන්තුවත් සහාය නොදුනහොත් කළ යුත්තේ කුමක් දැයි රනිල් ප්‍රවාදයෙහි සඳහන් වේ ද? එවිට ජනාධිපති ඉවත් කළ හැකි ද?  

මෛත්‍රිපාල සිරිසේන තම ගනුදෙනුව (ඩීලය) අනුව රනිල් වික්‍රමසිංහ අගමැති නොකර ජයරත්නට ම අගමැති ධුරයේ කටයුතු කිරීමට ඉඩ දුන්නේ නම් රනිල් වික්‍රමසිංහට තමාට නොතේරෙන ප්‍රවාද නිර්මාණය කිරීමේ කටයුත්තට අතගැසීමට අවශ්‍යතාවක් නො වී ය.  එහෙත් රනිල් වික්‍රමසිංහ ඒ කිසිවකින් පසුබට නො වෙයි.
     
ඔහු කියන්නේ විස්ස අවශ්‍ය නම් විශ්වසභංගය අස්කර ගත යුතු ය කියා ය. එයත් ඔහුගේ නව ප්‍රවාදයේ කොටසක ද? මේ අතර ඔහුගේ ගෝලයකු වන අජිත් පෙරේරා කියා ඇත්තේ සංධානය විශ්වාසභංග යෝජනාව අස්කරගෙන ඇති බව ය. අජිත් පෙරේරා  පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ කියන කතා අපි නො පිලිගනිමු. ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි යැයි කී කිරිඇල්ල රෑට රෑට
සංධාන මන්ත්‍රීවරුන් තමන් හමු වී විශ්වාසභංගයට ඡන්දය නොදෙන බව කියන්නේ යැයි පාර්ලිමේන්තුවේ දී සඳහන් කර ඇත. එසේ නම් ඔහු සභානායක ලෙස විශ්වාසභංගය විවාදයට ගැනීමට පියවර ගෙන ඒ පරාජය කළ යුතු ය. අනෙක් අතට විස්ස හා විශ්වාසභංගය අතර ඇති සම්බන්ධයක් ද නැත. 

නලින් ද සිල්වා

2015 ජූනි 11