Main Logo

Monday 8 June 2015

පාර්ලිමේන්තුව විසුරුවා නොහරින්නේ ඇයි? (රිවිර මේ ලිපිය පළකෙළේ සංස්කරණයකට ලක්කිරීමෙනි )

පාර්ලිමේන්තුව විසුරුවා නොහරින්නේ ඇයි?

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබුණේ අප්‍රේල් 23 වැනි දින ය. ඒ ජනාධිපතිවරණයේ දී දුන් ඡන්ද පොරොන්දුවකට අනුව ය. මෛත්‍රිපාල සිරිසේන මහතා යනු වෙස්සන්තර කෙනකු හෝ සිරිසඟබෝ කෙනකු හෝ නො වේ. ඔහු අගමැති කම නො ලැබුණු බැවින් රාජපක්‍ෂලාගෙන් පමණක් නොව පක්‍ෂයෙන් ද, රටෙන් ද, ජාතියෙන් ද පළිගැනීමට සූදානම් ය.


ඔහු රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතු වී දෙමළ ජාතිවාදයේ ඉල්ලීම් එක එක දෙයි. ඔහුට ඊනියා දේශපාලන යථාර්ථය තේරී ඇත්තේ බටහිරයන්ගේ හා යම් දුරකට ඉන්දීයයන්ගේ බලපෑම්වලට හිස නැමීමට සිදුවීමෙන් පසුව ය. ඔහුට දැන් තම ස්වාමීන් සතුටු කිරීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා හා බටහිරයෝ ඔහු විශ්වාස නො කරති.

මහින්ද රාජපක්‍ෂට මහතාට තිබූ පෞරෂය මෛත්‍රිපාල සිරිසේන මහතාට නැත. එංගලන්තයේ හා ප්‍රංශයේ විදේශ ඇමතිවරු මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමට ලංකාවට පැමිණි අවස්ථාවේ දී මහින්ද රාජපක්‍ෂ මහතාට ඔවුන් ඇඹිලිපිටියට ගෙන්වීමට හැකි විය. විදේශ ඇමතිවරුන් දෙදෙනා කොටින්ට විරුද්ධ හමුදා මෙහෙයුම් වහා නතර කරන ලෙසටත් එසේ නොකළහොත් ඉන්පසු සිදුවන සියළු දෙයට මහින්ද රාජපක්‍ෂ වගකිව යුතු බවත් කී විට මහින්ද රාජපක්‍ෂ මහතා ඔවුන්ට ගෙදර යෑමට කීවේ ය. මහින්ද රාජපක්‍ෂ දංගෙඩියට යැවීමට බටහිරයෝ ඊනියා පොදු අපේක්‍ෂකයකු සොයා ගත්තෝ ය. ඊනියා පොදු අපේක්‍ෂකයා ද චන්ද්‍රිකා නෝනා තම මවගේ කාලයේ කළාක් මෙන් ම ශ්‍රී ල නි පක්‍ෂය හැර ගියේ ය. පක්‍ෂය හැර ගිය මෛත්‍රිපාල සිරිසේන මහතා සිංහල විරෝධීන් සමග එකතු වී දින සියයක කතාවක් ගෙතුවේ ය. දින සියය දැන් පැටව් ගසයි. දැන් දින එකසිය පනහක් ආසන්න ය. 

එහෙත් මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දැන්ම සූදානම් නැති බව පැහැදිලි ය. ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තමන් යෝජනාවක් ගෙනෙනවා වෙනුවට බළලුන් ලවා කොස් ඇට බෑවීමට සැරසෙයි. ඔහු පාසල් ශිෂ්‍යයකු මෙන් විපක්‍ෂ මන්ත්‍රිවරුන්ට යෝජනාවක් ගෙන ඒමට යැයි කියමින් නැති යෝජනාවක් වෙනුවෙන් ඡනදය දීමට නැගිටින්නට යැයි කියයි. ඕනෑම ගොනකුට නැගිටින්නට හැකි වුවත් නැති යෝජනාවක් වෙනුවෙන් නැගිටන ලෙස ඉල්ලිය හැක්කේ කාට ද? 

කිරිඇල්ල හා රනිල් වික්‍රමසිංහ මහත්වරු නොකියා කියන කතන්දරය නම් ඔවුන්ට තවමත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මෙත්‍රිපාල සිරිසේන මහතා එකඟ කරවා ගැනීමට නොහැකි බව ය. මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්කරනු ලැබුයේ තමන් විසින් යැයි එ ජා ප නායකයෝත් අජිත් පෙරේරා මහතා වැනි සුළු නායකයෝත් පුරසාරම් දොඩති. එහෙත් මෛත්‍රිපාල සිරිසේන මහතා ඔවුන්ට සවන් දී පාර්ලිමේන්තුව විසුරුවා නො හරියි. ඔහු ඒ වෙනුවට රතන හිමියන් යොදා ගනිමින් විස්ස සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධ වෙයි. ඒ අතර එ ජා පක්‍ෂයට එකඟ විය නොහැකි වන වගන්ති විස්සට ඇතුළත් කරති. ඔවුන්ට මන්ත්‍රී සංඛ්‍යාව 225න් 255ට වැඩි කිරීමට අවශ්‍ය වෙයි. එය කාගේ වුවමනාවට සිදුවන්නක් ද? දිනේෂ් ගුණවර්ධන කමිටු වාර්තාවෙහි එවැන්නක් සඳහන් නො වේ.  

අද මෙරට අරාජික ය. පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම තවත් පමා කිරීමට නො හැකි ය. ජනවාරි 8 වැනි දා පැවති ජනාධිපතිවරණයෙන් පසු එසේ කළ යුතුව තිබිණි යැයි මම නො කියමි. එදිනට පසුදින කළ යුතුව තිබුණේ දි මු ජයරත්න මහතා අගමැති ලෙසත් අනෙක් ඇමතිවරුන් ඒ ඒ තනතුරුවලත් කටයුතු කරද්දී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් කැබිනට් මණ්ඩලය පවත්වාගෙන යෑම ය. අවශ්‍ය නම් ඇමති මණ්ඩලය වෙනස් කර සංධානයේ තවත් මන්ත්‍රීන් එකතුකර හෝ අඩුකර හෝ ආණ්ඩුව පවත්වාගෙන යා යුතුව තිබිණි.

ජනවාරි 8 වැනි දා ජනතාව ඡන්දය දුන්නේ ජනාධිපති වෙනස්කිරීමට මිස සංධාන ආණ්ඩුව වෙනස්කිරීමට නො වේ. ජනතාව අගමැති වෙනස් කිරීමට ඡන්දය නොදුන්හ. ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් ජනාධිපති වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතා විධායක අගමැති ධුරයට පත්කරන බව කීවේ ය. එහෙත් එය ඉටුකළ හැකි පොරොන්දුවක් නො වී ය. අදත් ව්‍යවස්ථාව අනුව මෙරට විධායක අගමැතිවරයකු නැත. නැති විධායක අගමැති තනතුරකට රනිල් වික්‍රමසිංහ නොව කිසිවකු පත්කිරීමට නො හැකි ය. අද වන විට ජනාධිපති සතුව තිබූ සොච්චම් බලතල ස්වල්පයක් අගමැතිට පවරා දී ඇති බව සැබෑ ය. එහෙත් සෝභිත හිමියන්ට අවශ්‍ය ප්‍රමාණයට තැටිය රත් වී නො තිබිණි. 

තැටිය රත්කිරීමට ගිනි පිම්බෝ ජාතික ව්‍යාපාරයේ කලක් සෝභිත හිමියන් සමග වැඩ කළ අය නො වූහ. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එ ජා ප, දෙමළ ජාතික සංධානය, අවස්ථාවාදී චම්පක රණවක, සුදු කොඩි කතාව කියා ඊනියා යුද්ධාපරාධ කතාව ආරම්භ කළ වෙල් විදානේ, කසිකබල් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය කිහිප දෙනකු ආදීන් ගිනි පිම්බේ රටට ගින්දර දීමට පමණ ය. සෝභිත හිමියන්ට කොත්තු රොටියක් වළඳා පින් අනුමෝදන් කිරීමට සිදුවිය. රොටිය හදන විට තිබූ ශබ්දය පින් අනුමෝදන් කරන අවස්ථාවේ නො වී ය.

රනිල් වික්‍රමසිංහ මහතා කිසි විටෙකත් විධායක අගමැති ධුරයට නොව අගමැති ධුරයටවත් නීත්‍යානුකූල ව පත් නො කෙරෙිණි. ඒසේ කිරීමට නම් මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් ජනාධිපති ලෙස දිවුරුම් දුන් වහා ම කළ යුතුව තිබුණේ දි මු ජයරත්න මහතා අගමැති ධුරයෙන් අස්කිරීම ය. එහෙත් ඔහු එසේ නො කෙළේ ය. අස්කිරීමේ ලිපිය අත්සන් කර ලිපිගොනුවකට දැම්මේ යැයි කියන කතාව අපි නො පිළිගනිමු. පසුව එවැනි ලිපියක් සකස්කර දි මු ජයරත්න මහතාට යවන්න ඇත. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙහි දිවුරුම් දෙන විටත් දි මු ජයරත්න මහතා මෙරට අගමැති ය. 

එසේ පික්පොකට් අගමැති ධුරයට පත්කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා අද මෛත්‍රිපාල සිරිසේන මහතා සමග විරසකයක පසුවෙයි. ඒ පාරලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙනි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද කතාවෙන්නේ විස්ස හා විශ්වාසභංගය දඩමීමන් කරගනිමිනි. විස්ස සම්මත කර ගැනීමට නම් විශ්වාසභංග යෝජනාව අස්කරගත යුතු යැයි රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂ නායක රැස්වීමක දී කියා ඇත. ශ්‍රි ල නි පක්‍ෂය හා සංධානය (මෛත්‍රිපාල කණ්ඩායම හා අුශුද්ධ සන්ධානය නොව) විශ්වාසභංග යෝජනා (එකක් නොව කිහිපයක් ඇත) විස්සට පෙර ම විවාදයට ගැනීමට කටයුතු කළ යුතු ය. ඒ යෝජනා සම්මත කරගත් විගස ඔවුන් මෛත්‍රිපාල සිරිසේන මහතාට අගමැතිකම නොලැබීමේ පළිය රටෙන් පක්‍ෂයෙන් හා ජාතියෙන් ගැනීමට ඉඩ නොතබා සංධානයේ අගමැති කෙනකු පත්කිරීමට බළ කළ යුතු ය. ඉන්පසු විස්ස සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රට අවුල් කරන මෛත්‍රිපාල සිරිසේන මහතාට කිව යුතු ය. මේවා කිරීම කියන තරම් පහසු නොවන බවත් විවිධ කල්ලි ක්‍රියාත්මක වන බවත් අපි දනිමු. එහෙත් සංධානයට පැහැදිලි වැඩ පිළිවෙළක් තිබිය යුතු ය. 

සංධානය පිළිවෙළක් ඇතිව වැඩකරන බවක් හෝ රනිල් මෛත්‍රිපාල අශුද්ධ හවුලට එරෙහිව ප්‍රහාරාත්මක ක්‍රියා පිළිවෙළකට අවතීර්ණ වන බවක් හෝ නො පෙනෙයි. අර්ජුන මහේන්ද්‍රන් සිද්ධියේ දී ද ඒ බව පෙනී ගියෙ ය. අර්ජුන් මහේන්ද්‍රන් අඩුම තරමෙන් ද්විත්ව පුරවැසියකුවත් නො වේ. ඔහු ලංකාවේ පුරවැසියකු යැයි රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී  කීවේ ය. (රනිල් වික්‍රමසිංහ මහතාට වචන පැටලිමක් සිදුවිණි දැයි නො දනිමු). මහේන්ද්‍රන් මෙරට පුරවැසියකුව සිටින්නට ඇත.  එහෙත් ඔහු අද ලංකාවේ පුරවැසියකු නො වේ. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම් වන විට ඇමරිකන් පුරවැසියකු විය. එහෙත් ඔහු සතියක් ඇතුළත ලංකාවේ පුරවැසිකම ලබාගත්තේ ය. අර්ජුන් මහේන්ද්‍රන්ට එසේ කළ නොහැක්කේ ඇයි? එවිට ඔහුගේ සිංගප්පුරු පුරවැසිකම අහෝසි වන බැවින් ද? අද සංධානය කළ යුත්තේ අර්ජුන් මහේන්ද්‍රන්ට සතියක් තුළ මෙරට පුරවැසිකම ලබාගැනීමට බල කිරීම ය. එසේ නොකළහොත් ඔහු අස්කිරීම සඳහා දැඩි උද්ඝෝෂණයක් ආරම්භ කිරීම ය. 

සංධානය ආරක්‍ෂකවාදී ප්‍රතිපත්තියෙන් ඈත් වී ප්‍රහාරාත්මක වැඩ පිළිවෙළකට සේන්දු විය යුතු ය. බටලන්ද, වෝටර්ස් එජ්, ප්රාජිත නැව් ගැලීම, රවි කරුණානායකලාගේ මගඩි, සිරිසේනලාගේ පමණක් නොව චම්පකලාගේ ද වැඩකිඩ, වෙල්විදානේලාගේ පාවාදීම් ආදිය ගැන දැඩි ප්‍රහාරයක් ඇරඹීය යුතු ය. මෛත්‍රිපාල සිරිසේන මහතාට තව දුරටත් රට අවුල් කිරීමට හා පාවාදීමට ඉඩ දිය නො යුතු ය. 

කිරිඇල්ල හා රනිල් වික්‍රමසිංහ මහතුන්ට පාර්ලිමේන්තුවේ දී බළලුන් ලවා කොස්ඇට බෑවීමට කටයුතු කිරීමට ඉඩ නොදී ඔවුන්ට මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීමට බලකර සිටිය යුතු ය. මෛත්‍රිපාල කණ්ඩායමට අද මැතිවරණයක් පැවැත්වුවහොත් ආසන දහයක් දිනා ගැනීමට නො හැකි ය. යම්කිසි ආකාරයකින් රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවක් පිහිටුවහොත් එහි මෛත්‍රිපාල කණ්ඩායමට ලැබෙන වැදගත්කම දැනගැනීමට ඊනියා දේශපාලන විචාරකයන් අවශ්‍ය නො වේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ ඊනියා ජාතික ආණ්ඩුවේ නියෝජ්‍ය අගමැතිකම දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරයකුට ලැබෙනු ඇත. මෛත්‍රිපාල සිරිසේන මහතා සිතන්නේ මැතිවරණය පැවැත්වීම කල්දැමුවහොත් ඔහුගේ කණ්ඩායමේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩිකර ගත හැකිය කියා ය. අගමැතිකමකට කෑදර වූ අයකුට පක්‍ෂයත් රටත් ජාතියත් තව දුරටත් පාවාදීමට ඉඩ දිය යුතු ද? 

නලින් ද සිල්වා 

2015 ජූනි 07