Main Logo

Friday 26 June 2015

යමපාලනය අවසන් කරමු

යමපාලනය අවසන් කරමු

අවසානයේ දී අද මධ්‍යම රාත්‍රියෙහි දී පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇත. එක් එක් අයට එක් එක් න්‍යාය පත්‍ර තිබුූ නමුත් ඒ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට නොහැකි විණි. පික්පොකට් ආණ්ඩුවේ කඹ ඇදීම්, හැළ හැප්පිලි ආදිය හේතුකොට ගෙන තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යෑමේ දුෂ්කරතා තිබිණි. මෛත්‍රිපාලට, ප්රාජිතට හා චම්පකට ලබන අප්‍රේල් වන තුරු ආණ්ඩුව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් තිබූ නමුත් ඒ කරගත නො හැකි විය. 


ඊයේ (ජූනි 25) මෛත්‍රිපාල හා මහින්ද අතර සාකච්ඡා තිබුණු බව පළමුව ජනමාධ්‍යයෙහි වාර්තා විය. එහෙත් දැන් දෙපාර්ශ්වය ම කියන්නේ සාකච්ඡා නොතිබූ බව ය. රටේ ඇත්තක් කියන්නේ කවුදැයි දැනගැනීමට ක්‍රමයක් නැත. අප ද කරන්නේ අනුමාන කිරීම පමණකි. මෙවැනි කාලයක අනුමාන ඉදිරිපත් කිරීම තරමක අසීරු කරුණකි. දේශපාලනයෙහි ස්ථිර ගමන් මගක් පෙනෙන්නට නැතිවා පමණක් නොව, පෞද්ගලික ගනුදෙනු (ඩීල්) මගින්ද දේශපාලනය තීරණය වෙයි.  

ඒ කුමක වුවත් පික්පොකට් අගමැති මින් පසු භාරකාර අගමැති වෙයි. ප්‍රශ්නය වනුයේ මැතිවරණයෙන් පසු ඔහු අගමැති වේ ද යන්න ය. ඔහු අගමැති වුවහොත් යමපාලනය වඩාත් භයානක අයුරෙන් ක්‍රියාත්මක වනු ඇත. සිංහලයන්ගේ අයිතිවාසිකම් එකිනෙක බලා සිටිය දී නැති වනු ඇත. උතුරු හා නැගෙනහිර පළාත් එකතු කෙරී ෆෙඩරල් ක්‍රමයකට මග පෑදෙනු ඇත. එය රට බෙදීමක් කරා තල්ලු කෙරෙනු ඇත. රණවිරුවන් ජීවිත පූජාවෙන් පරාජය කළ දෙමළ ත්‍රස්තවාදය නැවතත් හිස ඔසවනු ඇත. ඡන්දදායකයන්ගේ යුතුකම වනු ඇත්තේ ඒ නැවැත්වීම ය. ්්

පසුගිය මාස පහමාරක පමණ කාලයෙහි දෙමළ ජාතිවාදය පණගැන්වීමේ කාර්යය හොඳින් දැකගත හැකි විය. මංගල සමරවීර විදේශ ඇමති ලෙස රට බෙදීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙළේ අපේ අනාවැකි සනාථ කරමිනි. විග්නේස්වරන්ලා, සම්බන්ධන්ලා, සුමන්තිරන්ලා හැසුරුණේ කථා කෙළේ උතුරේ ඊනියා පළාත් ආණ්ඩුවක් තිබෙන අයුරෙනි. හකීම් සිංහලයන් තුට්ටු දෙකට දමා ක්‍රියා කෙළේ ය. බදියුද්දීන් විල්පත්තුව වනසතුන්ට අහිමිකර මුස්ලිම් ජනයා පදිංචි කෙළේ ජාතිවාදය පමණක් සලකමිනි. 

දෙමළ ත්‍රස්තවාදීන්ට සමාව දීම ගැන සාකච්ඡා වූ අතර දෙමළ ජනයා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් රණවිරුවකු මරණීය දණ්ඩනයට නියම කෙරිණි. අප ඔහුට සමාව දෙන ලෙස මෛත්‍රිපාලට බළකළ යුතු ය. ඔහු පෞද්ගලික මිනීමැරුමකට වරදකරු වූවා නො වේ. දරුවන් ගැහැණුන් අමු අමුවේ මරා දැමූ දෙමළ ත්‍රස්තවාදීන්ට සමාව දී ඇත. ජ වි පෙරමුණේ සාමාජිකයන් මරා දැමූ එ ජා ප ආණ්ඩුවට විරුද්ධව ඊනිය අභ්‍යන්තර පරීක්‍ෂණ කිරීමට බටහිරයෝ බලපෑම් නොකළහ. බටලන්ද ගැන විධිමත් පරීක්‍ෂණයක් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වී ඇත.

යමපාලනය ක්‍රියාත්මක කෙරුණේ සිංහලයන්ට, රණවිරුවන්ට හා ඊනියා රාජපක්‍ෂ රෙජිමයට විරුද්ධව ය. පොලිස් මාෆියාවක් පිහිටුවා පළිගැනීමේ ක්‍රියා දිගින් දිගට ම කෙරී ගෙන ගියේ ය. පික්පොකට් අගමැති රිසි සේ සිංහලයන්ගෙන් පළිගත්තේ ය.  ඒ අතර දෙමළ ජාතිවාදීහු නිදැල්ලේ හැසිරුණ හ. මේ සියල්ල හා තවත් සඳහන් නොකළ සිංහල විරෝධී ක්‍රියා අවසන් කළ යුතුව ඇත. අප කලින් ම කී පරිදි ඊනියා යහපාලනය සිංහල විරෝධී ක්‍රියා වසං කිරීමට යොදාගත් වෙස් මුහුණක් පමණක් විය.   සියළු දේශප්‍රේමීන්ට එකතු වීමට කාලය පැමිණ ඇත. සිංහලයන්ගෙන් තුනෙන් දෙකක ඡන්දය ලබාගැනීමට හැකි නම් ආණ්ඩුවක් පිහිටුවීම ප්‍රශ්නයක් නො වේ. මේ සම්බන්ධයෙන් සිංහල විරෝධීන් ඉදිරිපත් කරන ගණන් හිලවු මුළුමනින් ම වැරදි ය. සිංහලයන්ගෙන් තුනෙන් දෙකක් එකතු වන විට රටට හිතැති දෙමළ මුස්ලිම් ජනයා ද ඔවුන්ට එක්වනු ඇත.  

අද අවශ්‍ය වන්නේ දේශපාලන පක්‍ෂයක නායකත්වය නොව දේශප්‍රේමී වැඩ පිළිවෙළක නායකත්වයකි. ඒ සඳහා සටන්පාඨ කිහිපයක් අවශ්‍ය වෙයි. ඇතැම් විට එකක් වුවත් සෑහෙනු ඇත. ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජනවරමක් ලබාගෙන 1972 දී මෙන් ව්‍යවස්ථා සභාවක් පිහිටුවා ක්‍රියා කළ යුතු ය. පළාත් සභාවල කාර්යභාරය  වෙනස් කළ යුතු ය. අද පළමු කාර්යය විය යුත්තේ දේශප්‍රේමි වැඩ පිළිවෙළක් වහා සකස් කර ගැනීම ය.

නලින් ද සිල්වා
2015 ජූනි 26