Main Logo

Saturday 27 June 2015

විස්සත් නැහැ විස්සාසභංගෙත් නැහැ වාර්තාවත් නැහැ

විස්සත් නැහැ විස්සාසභංගෙත් නැහැ වාර්තාවත් නැහැ

මාසයකට පමණ පෙර විස්සත් නැහැ විස්සාසභංගෙත් නැහැ යනුවෙන් ලිපියක් කාලය වෙබ් අඩවියේ පළ කෙළෙමි. අවාසනාවකට ඒ අනාවැකිය ඵලදරා ඇත. එ ජා පක්‍ෂයට මන්ත්‍රින් සිටියේ  සුළුතරයක් වුව ද වැඩ කටයුතු තමන්ට අවශ්‍ය ආකාරයට කිරීමට රනිල් සමත් විය. මෛත්‍රිපාල ජනාධිපති බවට පත්කර ගත්තේ ම රනිල්ලාට අවශ්‍ය අන්දමට කටයුතු කිරීමට මිස චම්පකලාට ප්රාජිතලාට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට නො වේ.


විස්ස සම්මත කර නොගෙන පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට කටමැත දෙඩූ මෛත්‍රිපාල චම්පක රතන හිමි ආදීන්ට අද කට බිම අතුල්ලා ගැනීමට සිදු වී ඇත. විශ්වාසභංග යෝජනා ගෙන ආ මහින්ද පිළට මෛත්‍රිපාල පිළ අකුල් හෙලුවේ ය.  මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයේත් ශ්‍රී ල නි ප සභාපති ධුරයේත් බලතල යොදා ගනිමින් රනිල් හා ඇමතිවරුන් ආරක්‍ෂා කෙළේ ය. අවසානයේ දී තවදුරටත් කල්ගැනීමට නොහැකි වූ කල පාර්ලිමේන්තුව විසුරුවා හැර දූෂිත පික්පොකට් අගමැති හා ඇමතිවරුන් ගලවා ගත්තේ ය. 

තමන්ගේ විස්ස ව්‍යාපෘතියවත් රැක ගැනීමට මෛත්‍රිපාලට නොහැකි විය. ඔහු දූෂිතයන් රැක ගැනීමට තම ව්‍යාපෘතිය පාවා දුන්නේ ය. එමගින් ජනාධිපතිකම ද තම දේශපාලන ජීවිතය ද පැවැත්ම ද රැක ගන්නට ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔහුට එ ජා පක්‍ෂයෙන් දැඩි බලපෑමක් එල්ල විය. ඒ හමුවේ ඔහු අවසානයේ දී අතපය හකුළා ගත්තේ ය. මෙය චම්පකගේ ද පරාජයකි. චම්පකගේ 2020 ජනාධිපති සිහිනය බිඳ වැටුනේ ය. එපමණක් නොව ප්රාජ්තගේ සැලසුම් ද පරාජයට පත්විය.  

පාර්ලිමේන්තුව විසුරුවා නොහැර සිටීමට මෛත්‍රිපාල ප්රාජිත කණ්ඩායම මහින්ද පිළෙන් උපකාර බලාපොරොත්තු වූ බව පෙනෙන්නට ඇත. අද වන විට මහින්ද පිළ බලවත් ය. මහින්ද පිළෙන් විස්සට ආධාර ගෙන ඉන්පසු මහින්ද පිළ අනාථ කිරීමට මෛත්‍රිපාල උත්සාහ ගෙන ඇති බව පෙනෙයි. එහෙත් මහින්ද පිළ මෛත්‍රිපාල ප්රාජිත ගැටයට හසු වී නො මැත. ඇතැමුන් කියන්නේ අගෝස්තුවේ මැතිවරණය පවත්වා මහින්ද අගමැති වීමෙන් පසුව ජෙනීවා මානව හිමිකම් වාර්තාව සැප්තැම්බරයේ නිකුත් කර ලංකාවට සම්බාධක පමුණුවන බැවින් චම්පකලා මැතිවරණය කල් දැමීමට ගත් උත්සාහය නිවැරදි බව ය. එහෙත් චම්පක මැතිවරණය කල් දැමීමට උත්සාහ කෙළේ රටට හෝ මහින්දට ඇති කැමැත්තක් නිසා නොව ඔහුගේ 2020 සිහිනය සෑබෑ කර ගැනීමට ය. අනෙක් අතට කවදා මැතිවරණය පවත්වා මහින්ද ජයගත්තත් බටහිරයන් ආර්ථික සම්බාධක පමුණුවනු ඇත. සැප්ත්ම්බරයට පසුව ජෙනීවා හි මාර්තුවක් එන බව අප අමතක නො කළ යුතු ය.   

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අර්ජුන් මහේන්ද්‍රන් ද ගැලවුණේ ය. ඔහු පිළිබඳ අදාළ පරීක්‍ෂණයේ ප්‍රතිඵල රැගත් කෝප් වාර්තාව දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නෙ ා හැකි ය. එය ප්‍රමාද වූයේ ඇයි? ඩිව් ගුණසේකර එහි දී රනිල්ට ආධාර කෙළේ ද? එය ඉදිරිපත් කිරීම ජූලි 7 වැනි දා තරම් ඈත දිනයකට කල් දැමුණේ කෙසේ ද?  මහේන්ද්‍රන් රැක ගැනීමට ඩිව් ගුණසේකර රනිල්ට ආධාර කර ඇති බව පෙනෙයි. 

ඩිව් ගුණසේකර කලක සිට සංධාන විරෝධී දේශපාලනයක් අනුගමනය කෙළේ ය. ඔහුට එ ජා පක්‍ෂයට ආධාර කිරීම එතරම් ප්‍රශ්නයක් විය නො හැකි ය. කොමියුනිස්ට් පක්‍ෂය එ ජා පක්‍ෂයේ පූර්වගාමියා වූ කොංග්‍රසයටත් බිරිතානියටත් ඊනියා දෙවැනි ලෝක යුද්ධ සමයේ දී පක්‍ෂපාති විය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ අතීතය එබඳු ය.

නලි්න් ද සිල්වා

2015 ජූනි 27