Main Logo

Thursday 18 June 2015

විසිවැනි සංශෝධනය

විසිවැනි සංශෝධනය

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ගැසට් නිවේදනයක් ලෙස නිකුත් කෙරී ඇත. දහනවවැනි සංශෝධනයට කලින් විසිවැනි සංශෝධනය ගත යුතු යැයි අපි එකල ම කීවෙමු. එහෙත් එ ජා පක්‍ෂයට විස්ස අවශ්‍ය වී නො තිබිණි. ඔවුන් ප්‍රමුඛතාව දුන්නේ ජනාධිපති සතු විධායක බලතලවලින් යම් කොටසක් අගමැතිට ලබා ගැනීමට ය. එහෙත් ඒ සාර්ථක නො විණි. සෝභිත හිමියන්ගේ රොටිය කොත්තු රොටියක් පමණක් විය. එහි තිබුණේ ඝෝෂාව පමණ ය. උන්වහන්සේ විස්ස ගැන ද දෙසූහ. විස්සට සම්මත කරගත් දහනවයට තරම්වත් වැදගත්කමක්  නො ලැබෙනු ඇත. ඒ සම්මත වීමට ඇති ඉඩකඩ ද අඩු ය. එයට කොත්තු රොටියේ ඝෝෂාවවත් නැත. නැටූ තොවිලෙකුත් නැත. බෙරේ පලුවකුවත් නැත. 


මේ එක ව්‍යවස්ථා සංශෝධනයක්වත් රටේ යහපත පිණිස ගෙන එන්නේ නො වේ. ඒ හුදෙක් දේශපාලන පක්‍ෂවල, පුදු්ගලයන්ගේ හා විදේශික ඔත්තු සංවිධාවල න්‍යාය පත්‍ර උඩ ගෙන එනු ලැබෙයි. දහනවය එ ජා පක්‍ෂයට අවශ්‍ය විය. එබැවින් ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් කෙරිණි. එහෙත් විස්ස එ ජා පක්‍ෂයට අවශ්‍ය නො වේ. එ ජා පක්‍ෂයට අවශ්‍ය ඒ පරාජය කිරීමට ය. සංධානයට ඒ අවශ්‍ය ය. එහෙත් ඔවුන්ට ඒ සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් නැත. ජ වි පෙ එයට විරුද්ධ ය. ඔවුන්ගේ පක්‍ෂපාතිත්වය හෝ විරුද්ධත්වය හෝ සතපහකට ගණන් ගත යුතු නො වේ. අද ඒ පක්‍ෂය එ ජා පක්‍ෂයේ ඊනියා තරුණ සංවිධානය පමණකි.

විස්සට බොහෝ සුලු පක්‍ෂ විරුද්ධ ය. ජනවාර්ගික නොවන සුලු පක්‍ෂවල අනාගතය අස්ථාවර ය. ජනවාර්ගික සුලු පක්‍ෂ ඇතැම් ප්‍රදේශවල මහා පක්‍ෂ ලෙස ක්‍රියා කරයි. ඔවුන්ට පමණක් විස්ස හොඳ ය. ජාතික හෙළ උරුමය සුලු පක්‍ෂයක් වුවත් ඔවුන්ට මෛත්‍රිපාල කණ්ඩායමේ නාමයෝජනා පත්‍ර ලැබෙනු ඇත. එහෙත් මනාප නො ලැබෙනු ඇත. මනාප ලැබෙන්නට පළමුව මෛත්‍රිපාල. කණ්ඩායමට ඡන්ද ලැබිය යුතු ය. මෛත්‍රිපල කණ්ඩායම මහින්ද පිළ සමග එකතු නොවුනහොත් අවසාන වශයෙන් මෛත්‍රිපාල සමග ඉතිරිවනු ඇත්තේ ප්රාජිත, එස් බී, හිරුණිකා, මල්ෂා කුමාරතුංග, සෝලංගආරච්චි ආදී පිරිසකි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා මල්ෂා කුමාරතුංග  දේශපාලන හා වෙනත් කරුණු අතින් චන්ද්‍රිකා කුමාරතුංග අනුගමනය කරති. නිමල් සිරිපාල ද බොහෝ දුරට මහින්ද කණ්ඩායම සමග එකතු වනු ඇත. 

ශ්‍රී ල නි ප බහුතරයට අවශ්‍ය මහින්ද හා මෛත්‍රිපාල එකතුවනු  දැකීම ය. එහෙත් බටහිරයන් හා ඉන්දියානුවන් එයට  අකමැති ය. ජාතික හෙළ උරුමය ද එකතුවට අකමැති ය. මහින්දගෙන් පළිගැනීමට වඩාත් ම අවශ්‍යතාව ඇත්තේ ජාතික හෙළ උරුමයට ය. ජාතික හෙළ උරුමයට අවශ්‍ය මහින්ද නැතිව මෛත්‍රිපාලගේ නායකත්වය යටතේ ශ්‍රී ල නි පක්‍ෂ අගමැතිවරයකු සමග සංධාන ආණ්ඩුවක් පිහිටුවා ඒ මගින් විස්ස සම්මත කර ගැනීම ය. ප්රාජිත ද එවැන්නකට අකමැත්තක් නැත. ඉන්දියාව ද එයට විරුද්ධ නැත.

මෛත්‍රිපාල ජනාධිපතිවරයා බවට පත් වූයේ ම රනිල් අගමැති කිරීමේ පොරෙන්දුව මත ය. ජනවාරි 9 වැනි දා කඩිමුඩියේ නීති විරෝධීව රනිල් පික්පොකට් අගමැති බවට පත් කෙළේ එබැවිනි. මෛත්‍රිපාලගේ පොරෙන්දුව ඉදිරි මහාමැතිවරණයටත් වලංගු ය. මීළඟ මැතිවරණයෙන් කවුරුන් දිනුවත් අගමැති රනිල් යැයි තලතා අතුකෝරාළ වැන්නන් පවසන්නේ නිකමට නො වේ. මෛත්‍රිපාලට මහින්ද අගමැති අපේක්‍ෂක ලෙස නම් කිරීමට කිසිසේත් ම නො හැකි ය. ජනතා බලපෑම හේතුවෙන් මෛත්‍රිපාල මහින්දට මැතිවරණ අපේක්‍ෂකත්වය පමණක් දීමට සූදානම් ය. එහෙත් පසුගිය දා පත්කරන ලද සය පුද්ගල කමිටුවට නිදහසේ තම කටයුතු කරගෙන යෑමට ඉඩ දීමට මෛත්‍රිපාල අකමැති ය. 

විස්සෙන් පිළිබිඹු වන්නේ ජාතික හා විජාතික බලවේග අතර සටනකි. මෛත්‍රිපාල ඒ බලපෑම් සමනය කිරීමට උත්සාහ ගනියි. එහෙත් ඔහුට ඒ සඳහා ශක්තියක් නැත. රටේ බලය පාර්ලිමේන්තුවේ නියෝජනය නො වේ. ජාතික හෙළ උරුමය සුපුරුදු පරිදි සටන අවුල් කර විජාතික බලවේගවලට ආධාර කරයි. විස්ස ඇතිව හෝ නැතිව හෝ පාර්ලිමේන්තුව  විසුරුවා හැරිය යුතු ය.

නලින් ද සිල්වා

2015 ජූනි 18