Main Logo

Tuesday, 2 June 2015

සිංහල බෞද්ධ සංස්කෘතිය

සිංහල බෞද්ධ සංස්කෘතිය

සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට පැමිණියේ පස්වැනි සියවසේ දී ය. මහාවංසය ලියැවුණේ එසේ යම් පරිපූර්ණත්වයකට පැමිණි සිංහල බෞද්ධ සංස්කෘතිය තහවුරු කිරීමට ය. ඉන්පසු මෙරට බොහෝ දේ සිදු වී ඇත.

පොළොන්නරුවේ සංස්කෘත හින්දු සංස්කෘතික බලපෑම් මගින් සිංහල බෞද්ධ සංස්කෘතිය යටපත්වීමට තිබිණි. එහෙත් මහෞෂධයෝ දඹදෙණියට ගොස් සිංහල බෞද්ධ සංස්කෘතිය රැකගත්හ. මහාවංසය මෙන් ම උම්මග්ග ජාතකය හා ජාතක පොත ද අපට වැදගත් ය. ඉන්පසු පෘතුගීසීන්ගේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික බලපෑම් විය. ලන්දේසිහු හා ඉංගිරිසිහු ඒ බලපෑම් තව තවත් වැඩි කළහ. අද ද ඒ බලපෑම් වෙයි. යම්කිසි අයුරකින් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ජයගත්තේ නම් අපේ ඉතිහාසය විජයගෙන් නොව දොන් ජුවන් ධර්මපාලගෙන් පටන් ගැනෙන බව ඉතිහාසඥයන් කියනු ඇත. 

මෙරට ඉතිහාසය විජයගෙන් පටන් ගැනෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂව ය. විජය පැමිණීමට පෙර  මෙරට දියුණු සංස්කෘතියක් තිබී ඇතිවා පමණක් නොව මිහිඳු හිමියන් වැඩම කිරීමට පෙර බුදුදහම ද, බෞද්ධ ශාසනයක් ද තිබී සංඝයා වහන්සේලා වැඩ සිටි බවට ද සාක්‍ෂි වෙයි. මේ ඉතිහාසය ඉතා සංකීර්ණ ය. ප්‍රශ්නවලට තුඩු දිය හැකි ය. කුවේණිය යනුවෙන් හැඳින්වෙන තැනැත්තියගේ මව රහත් මෙහෙණින් වහන්සේ නමක් බවට ද තොරතුරු ඇත. 

එසේ නම් අශෝක රජුගේ කාර්යය වූයේ කුමක් ද? විජයගෙන් සංකේතවත් වන පිරිස දඹදිව කිනම් ප්‍රදේශයකින් පැමිණිය ද ඔවුන්ට අශෝකගේ පරපුර සමග සම්බන්ධයක් තිබී ඇතැයි සිතිය හැකි ය. දෙකොටසම සිංහයා සංකේතවත් කර ගත්හ. එයට විවිධ හේතු ගෙන හැර දැක්විය හැකි ය. අවශ්‍ය නම් සිංහයාගෙන් බුදුන්වහන්සේ සංකේතවත් වන්නේ යැයි කිව හැකි ය. ඉතිහාසයේ තරම් වෙනත් විෂයයක කතන්දර නිර්මාණය කළ නො හැකි ය. අවශ්‍ය නම් දෙකොටස ම දඹදිව සිංහ ගෝත්‍රයකින් පැවත එන්නේ යැයි කිව හැකි ය. මුරාගෙන් පැවත එන චන්ද්‍රගුප්ත - අශෝක පරපුර සිංහ ගෝත්‍රයෙහි මෞර්ය වාංශිකයන් වන්නට ඇත. 

අශෝකට අවශ්‍ය වූයේ මෙරට සිංහ ගෝත්‍රය තහවුරු කිරීම වන්නට ඇත. විජයට ලංකාවෙහි පූර්ණ රාජ්‍යය නො ලැබිණි. පණ්ඩුකාභය යම් ප්‍රමාණයකට එහි දී සාර්්ථක විය. එහෙත් ඒ යක්‍ෂ ගෝත්‍රය ප්‍රධාන කරගත් රාජ්‍යයක් මිස සිංහ ගෝත්‍රික රාජ්‍යයක් නො වී ය.  අශෝකගේ උපකාරයෙන් දේවානම්පිය තිස්ස සිංහ ගෝත්‍රික රාජ්‍යයක් පිහිටුවී ය. මුටසීව රජුට නොතිබි සිංහ සම්බන්ධයක් තිස්සට තිබෙන්නට ඇත. තිස්ස රජ වන තුරු අශෝක බලා සිටියේ හුදෙක් මුටසීව රජුගේ වයස නිසා ම විය නො හැකි ය. දේවානම්පිය අශෝක අනුකරණය කරමින් තිස්ස දේවානම්පිය තිස්ස විය. තිස්සට අශෝක අභිෂේකය ද ලැබිණි. මහාවංස අවධිය වන විට මෞර්ය වාංශික ධාතුසේනලා ද මෙරට බිහිවූහ. ඔවුන්ට අශෝක වංශය සමග තිබූ ඥාතීත්වය කුමක් ද? මේ සියල්ල විමසා බැලිය යුතු ය. මෙරට ඉතිහාසය රජවරුන්ගේ පිය පාර්ශ්වය මගින් මෙන් ම මව් පාර්ශ්වය මගින් ද තීරණය වී ඇත. 

ගැමුණු මහරජ නැවතත් යක්‍ෂ හා වෙනත් ගෝත්‍රවල ආධාරය ඇතිව රාජ්‍යය පිහිටුවී ය. ඔහු මෙරට පහළ වූ ශ්‍රෙෂ්ඨතම රජු විය. ඔහු අහක දැමීමට නොහැකි විය. එබැවින් ඔහු කුලවැද්දුම් කෙරී සිංහ බවට පත්කෙරිණි යැයි සිතිය හැකි ය. මේ සියල්ලෙන් කියන්නේ හෙළ (ප්‍රධාන වශයෙන් යක්‍ෂ හා අර්ධ නාග) බෞද්ධ සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය වූ අයුරු ය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි බුදුදහම තුන්වැනි සංගායනාවේ බුදුදහම විය. අද දක්වා ම එය අප අතර වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි වැව් (වාපි) යනු හෙළ බෞද්ධ සංස්කෘතියෙහි විල් විය. විල්පත්තුව, විලච්චිය ආදී ගම් මෙන් ම විල යනුවෙන් අවසන් වන ගම් ද ලංකාවේ විවිධ පළාත්වල වෙයි. 

සිංහල බෞද්ධ සංස්කෘතිය තුන්වැනි සංගායනාව අනුගමනය කළ ද එහි මැද ඇත්තේ චුල්ලහත්ථිපදොපම සූත්‍රය ය. ඇතා දකින තුරු වෙනත් සාධක මත ඇතා සිටී යන නිගමනයට බැස ගැනීමට එමගින් අප අධෛර්යමත් කෙරෙයි. අපට කතන්දර හෙවත් ප්‍රවාද නිර්මාණය අසීරු වෙයි. යක්‍ෂ ගෝත්‍රිකයන් ප්‍රවාද කරුවන් වී යැයි සිතිය නො හැකි ය. මිහිඳු හිමියන් යක්‍ෂ ගෝත්‍රිකයන් රඳවා ගැනීමට චුල්ලහත්ථිපදොපම සූත්‍රය දේශනා කෙළේ ද?    

සිංහල බෞද්ධ සංස්කෘතිය විවිධ සංස්කෘතීන් මිශ්‍රණයෙන් බිහි වී ඇත. එහි හෙළ බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන සංරචකය වෙයි.  එහි පරස්පර ද වෙයි. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතිය නොවන්නට මෙරට එක්සේසත් රාජ්‍යයක් පවත්වාගෙන යෑම උගහට වන්නට තිබිණි. එසේ නොවී නම් අප පොළොන්නරුවේ දී සංස්කෘත හින්දු සංස්කෘතියක් බවට ද කෝට්ටේ දී යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියක් බවට ද පත්වීමට ඉඩ තිබිණි. කොපමණ බටහිර හා ඉන්දීය බලපෑම් තිබුණ ද අප ඒ කිසිවකට අවසානයේ දී යට නොවනු ඇත්තේ ද සිංහල බෞද්ධ සංස්කෘතියට පින්සිදුවන්නට ය. 

නලින් ද සිල්වා

2015 ජූනි 02