Main Logo

Sunday 14 June 2015

ග්ලයිෆොසේට් තහනම - 2

ග්ලයිෆොසේට් තහනම - 2

මේ පික්පොකට් ආණ්ඩුව රට ගැන කල්පනා කර ගෙන ඇති එකම යහපත් තීරණය ග්ලයිෆොසේට් තහනම විය යුතු ය. පසුගිය ජූනි 11 වැනි දා ඒ පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරී ඇත. ඒ පිළිබඳ අපේ ප්‍රසාදය කැබිනට්ටුවට හිමි වෙයි. ඒ තහනම දිගට ම පවත්වාහෙන යෑමට මෛත්‍රිපාල සිරිසේනට අවශ්‍ය ශක්තිය සංධානය ලබා දිය යුතු ය. මෙරට සිටින බොහෝ ඊනියා විදා්‍යඥයන්, ඔවුන්ගේ සමිති සමාගම්, රසායනික ද්‍රව්‍ය මෙරටට ආනයනය කරන්නවුන් සහ තවත් අය මේ තීරණය වෙනස් කරවීමට කටයුතු කරනු ඇත.  ඔවුන්ට ඊනියා විද්‍යාඥයන් නොවන එහෙත් පඬියන් වූ ඇතැමුන්ගෙන් ද සහාය ලැබෙනු ඇත. එයට අමතරව ඔවුන්ගේ පිටරට සිටින ලාංකික සගයන්ගේ සහාය ද විද්‍යුත් ලිපි මගින් ද පෙත්සම් මගින් ද ලැබෙනු ඇත.


පසුගිය ආණ්ඩුවෙන් ද ග්ලයිෆොසේට් තහනම් කෙරුණ නමුත් එය වාචික ව කරන ලද්දක් පමණක් විය. ගැසට් නිවේදනයකින් ඒ ප්‍රකාශ නොකෙරුණු බැවින් රේගුවට ඒ පිළිබඳ ව ක්‍රියාත්මක වීමට නො හැකි විය. මේ ආණ්ඩුවේ ද කඹ ඇදිල්ලක් තිබිණි. එක් පැත්තකින් රසායනික ද්‍රව්‍ය අනායනය කරන සමාගම් විය. අනෙක් පැත්තෙන් ඊනියා විද්‍යාඥයෝ වූහ. ඔවුන් සමාගම්වලින් මුදල් හා වෙනත් දීමනා ලබාගත්තේ ද යන්න ප්‍රශ්නය නො වේ. ඔවුන්ගේ හා සමාගම්වල චින්තනය එකම වෙයි. ඒ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ය. 

ග්ලයිෆොසේට් තහනමත් සමග තේ වගාවට පහරක් වදීවිය යැයි විද්‍යාඥයෝ කීවෝ ය. ආණ්ඩුව ඔවුන්ට සවන් දී තේ වගාව සඳහා ග්ලයිෆොසේට් ගෙන්වීමට අවසර දුන්නේ ය. එහෙත් ඉන් ඇතිවූයේ ව්‍යාකූලත්වයකි. අවසානයේ දී ග්ලයිෆොසේට් තහනම් කිරීමට කැබිනට්ටුවට සිදු විය. ග්ලයිෆොසේට් ගෙන්වීමට පෙර මෙරට තේ වගාව නොතිබුණා නො වේ. වල් පැලෑටි නිසා තේ වගාව අඩපණ වී දැයි නො දනිමු.    

කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි නොදන්නා බව ඊනියා විද්‍යාඥයො පවසති. ඔවුන් එකිනෙකා අතර ඒ පිලිබඳ තමන් ඉදිරිපත් කරන හේතුව පිළිගැන්වීම සඳහා තරගයක් ද වෙයි. තම ජීවිතයේ කිසිම දිනෙක අලුත් අදහසක්, සංකල්පයක්, ප්‍රවාදයක් ඉදිරිපත් කර නැති මේ ඊනියා විද්‍යාඥයන්ට කළ හැකි දෙයක් නැත. ඔවුන් දන්නේ බටහිරයන්ගේ දැනුම මත පදනම් වී පරිධියේ ඇති නොවැදගත් ප්‍රශ්නයක් විසඳීම පමණකි. මේ විද්‍යාඥයන් හා තාක්‍ෂණවේදීන් අතර වෙනසක් ද නැත. අප විශ්වවිද්‍යාල ප්‍රවේශයයේ දී කරන ලද ඊනියා පරීක්‍ෂණ හා ඔවුන් දැන් කරන පරීක්‍ෂණ අතර විධික්‍රමය අතින් වෙනසක් ද නැත. අප යොදා ගත් උපකරණවලට වඩා සියුම් හා සංකීර්ණ උපකරණ පමණක් ඔවුන් විසින් යොදා ගැනෙයි. 

මේ ඊනියා විද්‍යාඥයන් තම තමන් අතර කුලල් කා ගනිමින් සිටිය දී එකල ක්‍රියාත්මක වූ අප කැලණිය කණ්ඩායම කෘෂිරසායනික වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් යැයි ප්‍රකාශ කෙළේ ය. එයට කිවුල් ජලය ද පස ද හේතුවන්නේ යැයි අපි කීවෙමු. කුලල් කා ගනිමින් සිටි ඊනියා විද්‍යාඥයෝ අප කණ්ඩායමට විරුද්ධ ව එකතු වූහ. ඒ ආසනික් නිසා නො වේ. අප ආසනික් ගැන දැනගත්තේ බටහිර විද්‍යා ප්‍රවාද යොදා ගනිමින් නොව අපේ ම ක්‍රමයකින් නාථ නම් ප්‍රාණියකුගෙන් වීම විරුද්ධත්වයට හේතු විය. ඒ අතර අපි බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව ද හෙළිදරවු කෙළෙමු. මේ ඊනියා විද්‍යාඥයෝ හා ඔවුන්ගේ විවිධ සගයෝ බූමිතෙල් ගෑවුණු ගැරඬින් මෙන් ක්‍රියාකාරි වූහ. බටහිර විද්‍යාවේ ආධිපත්‍යය දෙදරන්නට පටන් ගත්තේ ය. 

බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වන්නේ ඇයි දැයි මා විදුසර හා කාලය මගින් ද විද්‍යත් ලිපි මගින් ද තේරුම් කර දී ඇති නමුත් බටහිර දැනුමේ දාසයන් අදත් නගන ප්‍රශ්න නම් බටහිර විද්‍යාව බොරු නම් මිනිසුන් ඒ මත පදනම් වී හඳට ගියේ කෙසේ ද, මා බටහිර දැනුම යොදා ගනිමින් පරිගණකය යොදා ගන්නේ කිනම් පදනමකින් ද ආදිය ය. මෙවැනි ප්‍රශ්න බෞද්ධයකු නොවන කාලෝ ෆොන්සේකාගේ මනසට මහා ප්‍රශ්න වීම මට තේරුම් ගත හැකි ය. එහෙත් සිංහල බෞද්ධයන් යැයි කියා ගන්නවුන් එවැනි ප්‍රභ්න අසන්නේ බටහිර අධිපතිවාදී දැනුම හා අධ්‍යාපනය විසින් ඔවුන්ගේ මනස් කුරුවලු කර තිබීම හේතුවෙනි. 

බෞද්ධයනට සියලු දැනුම් නිර්මාණය කෙරෙන්නේ ත්‍රිලක්‍ෂණය අවබෝධ නොවීම නිසා ය. පෘථග්ජනයන්ගෙ සියලු දැනුම් මුසා ය, බොරු ය. ඉන් බටහිර විද්‍යාව ඇතුලු සමහරක් හේතු සහිතව මා විසින් පට්ටපල් බොරු ලෙස හඳුන්වනු ලැබ ඇත. යම් බොරුවකින් අප වැඩගත් පමණින් ඒ සත්‍යයක් බවට පත් නො වේ. එසේ නම් මා යන සංකල්පය ද ඇත්තක් විය යුතු ය. මා යන සංකල්පයෙන් අපි අනේකවත් වැඩ ගන්නෙමු. එහෙත් මා යන්නකු නැතැයි බුදුදහමෙහි කියැවෙයි.        

මා දන්නා තරමින් ග්ලයිෆොසේට් කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුවක් නො වේ. ග්ලයිෆොසේට් ආසනික් වකුගඩුවට ගෙන යෑම සඳහා වාහකයක් වෙයි. ඒ පිළිබඳ ව රජරට විශ්වවිද්‍යාලයෙන් උපන්‍යාසයක් ප්‍රකාශ වී ඇත. ඒ ගෞරවය කැලණිය විශ්වවිද්‍යාලයට අහිමි වූයේ එහි සිටින කිසිම හරයක් (ශිෂ්‍යයන් කියන ආකාරයට කිසිම රහක්) නැති ආචාර්ය මහාචාර්යවරුන් නිසා ය. ලෝක කුහකයන් වූ මොවුහු මා කැලණිය විශ්වවිද්‍යාලයෙන් නික්ම ගිය පසු වෛද්‍ය චන්න ජයසුමනට දස වධ දී විශ්වවිද්‍යාලයෙන් එළවා දැමුහ. අද වන විට ඔහුගේ පර්යේෂණවලට රජරට විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පිරිනමා ඇත. මේ සම්බන්ධ විස්තර පසුව තවදුරටත් හෙළි කරමි.

රජරට උපන්‍යාසය අනුව ග්ලයිෆොසේට්, ආසනික් හා කිවුල් ජලයේ ලවණ එකතු වී දැළිසක් තැනෙයි. දැනටත් ග්ලයිෆොසේට් හා කිවුල් ජලයේ ලවණ එකතු වී සෑදෙන දැළිස ගැන මේ හරයක් නැති විද්‍යාඥයන් මහත් අගය කරන ඊනියා පර්යේෂණ පත්‍රිකා  ලියැවී ඇත. උපන්‍යාසය අනුව ග්ලයිෆොසේට්හි ඇති ෆොස්ෆරස් ආසනික් මගින් විස්ථාපනය කෙරෙයි. ඊනියා විද්‍යාඥයන්ට එය බොරු කළ හැකි ද? බොරු කිරීම යනූ ඒ බොරුවක් යැයි බෙරිහන් දීම නො වේ. ආසනික් වකුගඩුවට යන්නේ දැළිස මගිනි. අපි මේ පිළිබඳ ව පසුව තවදුරටත් කතා කරමු. එවිට ඊනියා විද්‍යාඥයන්ගේ මෝඩ තර්ක ද විශ්ලේෂණය කිරීමට හැකි වනු ඇත.

නලින් ද සිල්වා

2015 ජූනි 14