Main Logo

Wednesday 2 November 2022

බංකොළොත් දේශපාලනයේ උද්ඝෝෂණ

බංකොළොත් දේශපාලනයේ උද්ඝෝෂණ

 

පරගලයෙන් පසු මෙරට දේශපාලනය නන්නත්තාර වෙලා. පරගලය ඇති කෙළේ බටහිරයන්. ඔවුන්ට අවශ්‍ය වුණේ ගෝඨාභය හා මහින්ද එළවා දමා රනිල් බලයට පත් කිරීමයි. ඔවුන් ඒ සඳහා ආර්ථික අර්බුදය වගේ ම විමල්ලා හා ඩලස්ලා ගෙන ගිය වැරදි දේශපාලනයත්, ඊනියා සුවාදීන වීමත්  යොදා ගත්තා. සුවාදීනයන්ට තිබුණේ ගෝඨාභය ඔවුන්ට සවන් නොදීමේ ප්‍රශ්නයක්. ඔවුන්ට අනුව ගෝඨාභය රාජපක්‍ෂ පවුලේ අය කී දේට පමණයි ඇහුම්කන් දුන්නේ. එහෙත් එයට විසඳුම සුවාදීන වීම නොව ජාතිකත්වයක් මත කටයුතු කර පොහොට්ටුව හරහා නව පක්‍ෂයක් බිහි කිරීමයි.

 

පොහොට්ටුව කවදාවත් පක්‍ෂයක් වුණේ නැහැ. එය බැසිල් කේන්ද්‍ර  කරගත් සමිතියක් පමණයි. අද ඒ සමිතිය විසිර ගිහින්. බැසිල් සමග දහපහළොස් දෙනකු තවමත් ඇති. ඒත් බැසිල් බොහෝ විට ආපසු එන එකක් නැහැ. දැන් රාජපක්‍ෂ දේශපාලනය අවසන්. එහෙත් ජාතිකත්වය අවසන් වෙලා නැහැ. බැසිල් වෙනුවට විකල්පයක් ගොඩනගා ගැනීමට විමල්ලාට හැකියාවක් තිබුණේ නැහැ. ඔවුන් ගුණදාස අමරසේකර අනුව යමින් මාක්ස්වාදය මුසු කරගත් ජාතිකවාදීන්. මාක්ස්වාදය ගෑවිච්ච පක්‍ෂයකට පුද්ගලයකුට මෙරට දේශපාලනයේ තැනක් නැහැ. ඔවුන්ට සකර්බර්ග් අනාථාගාරයේ හා මහාපාරේ නෑමට පහසුකම් සපයා දී තියෙනවා.

 

ඩලස් කිසි ලෙසකින්වත් ජාතිකත්වය ගෑවුණු පුද්ගලයකු නො වෙයි. ඔහු හිතවත් මිනිසකු වෙන්න පුළුවන්. එහෙත් දේශපාලනය හිතවත් කමෙන් මනින්න බැහැ. ඔහුටත් පරගලයෙන් පසු විප්ලවවාදියකු වූ ජී එල්ටත් දේශපාලන අනාගතයක් නැහැ. ඒ අයට ජාතිකත්වයක් නැහැ.   බටහිරයන්ට අවශ්‍ය වුණේ ජාතිකත්වයට පහර ගැසීමට. එය රාජපක්‍ෂ විරෝධයක් ලෙසයි කරළියට ගෙනෙනු ලැබුවේ. රාජපක්‍ෂලා අපේ දැනුමට හිනහවුණා. ඔවුන් රසායනික පොහොර තහනම් කෙළේ ජාතිකත්ව ප්‍රතිපත්තියක සිට නොව ජයසුන්දරගේ වුවනාවට (ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාවට අනුව) ඩොලර් ටිකක් ඉතිරි කර ගන්න. රාජපක්‍ෂලා ජාතික දැනුමකට ගරු කළා නම් ආර්ථික අර්බුදයක් ඇති වන්නේ නැහැ.

 

දැන් පඬි නැට්ටකු කියාවි නලින් ද සිල්වා කියනවා ආර්ථික අර්බුදය රාජපක්‍ෂලාගේ වැඩක් කියා. පඬි නැට්ටන්ගේ තර්ක බුද්ධිය එබඳුයි. ඔවුන්ට ඇරිස්වවත් හරියට යොදා ගන්න බැහැ. ආර්ථික අර්බුදය ධනවාදී මෙන් ම සමාජවාදී ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක්. අප එක පැත්තකින් බටහිර ජීවන රටාව අනුව ජීවත් වෙන්න උත්සාහ කළා බටහිර ආදායම නැතුව. අපේ වියදම අවුරුදු හැත්තෑවක් පමණ ආදායමට වැඩියි. අනෙක් පැත්තෙන් අපි සමාජවාදයක් නමින් සහනාධාර දුන්නා, රජයේ රක්‍ෂා දී රජයේ වියදම වැඩි කළා, ඊනියා ජනසතුවක් නමින් රජයට කළමනාකරණය කර ගන්න බැරි ආර්ථික ව්‍යුහයක් හදාගත්තා.

 

අප රාජපක්‍ෂලාට සහාය දුන්නේ දිනේෂ් ගුණවර්ධන හැරෙන්න සියලු දේශපාලනඥයන් අතර ඔවුන් ජාතිකත්වයෙන් වැඩි පිරිස වූ නිසා. ගෝඨාභය විශාල කාර්යයක් කළා නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන ආරක්‍ෂා කිරීමට. ඩලස්ටවත් විමල්ටවත් එවැනි හැඟීමක් තිබුණේ නැහැ. දිනේෂ් අළු ගසා දමා ඉදිරියට පැමිණියා නම් ඔහු ජනාධිපති වන්නේ මහින්දට පෙර. එහෙත් දේශපාලන නොවන වෙනත් හේතු නිසා එසේ වූයේ නැහැ. කෙසේ නමුත් බටහිරයන්ගේ අවශ්‍යතාව දැන් ඉටුවෙලා. රනිල් ජනාධිපති.

 

අද පැවැත්වෙන උද්ඝෝෂණයෙන් පෙන්නුම් කෙරෙන කරුණු කිහිපයක් තියෙනවා. අද දේශපාලනය බංකොළොත්. එහි කණ්ඩායම් එහෙමත් නැත්නම් පිල් දෙකක් තියෙනවා. එක පිලක් මෙහෙයවන්නෙ රනිල්. අනෙක් පිල මෙහෙයවන්නෙ සජිත්. දෙදෙනාම ධනවාදීන්. අවශ්‍ය නම් ලිබරල්වාදීන් කියන්න. එහෙත් ඔවුන් කියන තරම් ලිබරල් නැහැ. රනිල්ගේ පිලේ ඉන්නවා පොහොට්ටුවේ සුවාදින නොවූ අය, ජ වි පෙ, 43 බලකාය හා එ ජා පක්‍ෂය. සජිත් පිලේ ඉන්නවා ස ජ බ, පෙරටුගාමින් හා ශ්‍රී ල නි පක්‍ෂය. රනිල් පිල හදන්නේ බටහිරට අවශ්‍ය අන්දමට ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරන්න. සජිත් පිල කරන්නෙ එයට විරුද්ධ වීම. ඒ බටහිර ප්‍රතිපත්තිවලට විරුද්ධ වීම නිසා නො වෙයි. බලයට ඒමට. සජිත් කිසිම දෙයක් තේරෙන්නෙ නැති විරෝධ ආකල්ප ඇති අයකු පමණයි. ඔහුට කිසිම වගකීමක් දරන්න බැහැ. ඔහු ස ජ බ නායකත්වයේ සිටීමෙන් පිළිබිඹු වන්නෙ ස ජ බලවේගයේ තරම.

 

අද වමක් නැති වමාලාට එක්කෝ සකර්බර්ග් එහෙම නැත්නම් මහාපාර. ජෙප්පන් කලක් තිස්සේ රනිල්ට දාසකම් කරනවා. සෙප්පන් සජිත්ගෙ වලිගෙ එල්ලිලා. සකර්බර්ග් පඬි නැට්ටනුත් සජිත්ට ආධාර කරනවා. වමාලාට ගිය කලක්. ඔවුන් එක්කෝ රනිල්ගෙ නායකත්වය පිළිගන්නවා, නැත්නම් සජිත්ගෙ නායකත්වය පිළිගන්නවා. 1964 පටන්ගත් ඊනියා සභාග දේශපාලනය කෙළවර වෙලා තියෙන්නෙ ඒ ආකාරයට. එන් එම්ලා 1964 ආණ්ඩුවට ගිය වෙලාවෙ හා ඊට පස්සෙ විවිධ විප්ලවවාදීන් ඒ මග වැරදි කියා සමසමාජ පක්‍ෂයෙන් හා කොමියුනිස්ට් පක්‍ෂයෙන් කැඩී ගියා. එහෙත් ඔවුන්ටත් කළ හැකි විප්ලවයක් තිබුණෙ නැහැ. 

 

විජේවීර විප්ලවය නාමයෙන් තරුණ තරුණියන් බිලි දුන්නා. අද ඔහු අනුගමනය කරනවා කියන ජෙප්පන් හා සෙප්පන් රනිල් හා සජිත් අනුගමනය කරනවා. වික්‍රමබාහු නම් රනිල් එක්ක, අර විරෝධය කම්කරු මාවත විවිධ ට්‍රොට්ස්කිවාදීන් පශ්චාත්නූතනවාදීන් අද සෙප්පන්ට හරි ජෙප්පන්ට හරි සහාය දක්වන්නෙ ට්‍රොට්ස්කි නැවත නැවතත් ඝාතනය කරමින්. එහෙම නැති ටික දෙනා ගැන සමාජය දන්නෙ නැහැ. හතරවැනි ජාත්‍යන්තරයෙ අය නම් දන්නවා. ඔවුන් මේ සමාජයේ ඇවිදීන මළකඳන්. වරද හැටහතරට බැර කරන්න බැහැ, වරද මාක්ස්ගෙ.

 

අද පැවැත්වෙන උද්ඝෝෂණය තම පැවැත්ම සඳහා සජිත් ප්‍රමුඛ පිරිස කරන දෙයක් පමණයි. එය මෙරට බොහෝ දේ මෙන් ම සංදර්ශනයක්, ප්‍රදර්ශනයක් පමණයි. අර සුවාදීනයන්ට පුළුවන් පැත්තකට වෙලා සුවාදීන වෙන්න පමණයි. මේ ජාතිකත්වයක් නැති බංකොළොත් දේශපාලනයේ තවත් ජවනිකාවක් පමණයි.

 

ජාතිකත්වයක් තිබූ ශ්‍රී ල නි ප මරා දැම්මේ බැසිල් හා සිරිසේන. සිරිසේනට බැසිල්ගෙන් අඩත්තේට්ටම් සිදුවන්න ඇති. එහෙත් ඔහු එයට ප්‍රතිචාර දැක්වූයේ ආප්ප කෑමෙන්. මේ බංකොළොත් දේශපාලනයේ කුල ප්‍රශ්නය ද තියෙනවා. අද උද්ඝෝෂණයේ නියමුවන් දෙස බලන්න. ජාතිකත්වයේ කුල ප්‍රශ්නයක් තියෙන්න බැහැ. එහෙත් දේශපාලනඥයන් විතරක් නොවෙයි භික්‍ෂූන් වහන්සේත් විශාල පිරිසක් බුදුදහම දන්නෙ නැහැ. දැනගත්තත් පිළිපදින්නෙ නැහැ. ශ්‍රී ල නි පක්‍ෂයේ පිරිහීමට කුලය බලපෑවා. කිරුළපනේ යමුනා නිවසේ රැස්වූ පිරිස අතර විවිධ කුලවල අය හිටියා. එහෙත් ඒ කුල සමගිය රැකගන්න බැරි වුණා. බංකොළොත් දේශපාලනයෙන් මිදෙන්න ඕන. වැරදි හදාගමු. අද පැවැත්වෙන සංදර්ශනය නම් ඒ සඳහා නො වෙයි.