නැටූ තොයිලෙකුත් නැහැ බෙරෙත් නැහැ
මෙරට වම නැති වුණේ හැට හතරේ සභාගයට යෑම නිසා යැයි ඇතැමුන් හිතනවා. එහෙත් සභාගයට නොගිය වම සමසමාජ කොමියුනිස්ට් පක්‍ෂ නැති වීමටත් පෙර නැති වී ගියා. එඩ්මන්ඩ් සමරක්කොඩිි මෙරිල් ප්‍රනාන්දු බාලා තම්පෝ වැනි පතාක යෝධයන් නැති වෙද්දී තුල්සිරි අන්ද්‍රාදි විජේ ඩයස් වැන්නන් ගැන කියනුම කවරේ ද? පසුව සමසමාජයෙන් කැඩුණු වික්‍රමබාහු ඇතුළු පිරිස නන්නත්තාර වෙලා. වාසුදේව විමල්ගේ නායකත්වය පිළිඅරන්. වික්‍රමබාහු රනිල් සමග. සිරිතුංග ජයසූරිය ජනාධිපතිවරණ කාලයේ දැක ගන්න පුළුවන්. සුමනසිරි ලියනගේ මාක්ස් පංති පවත්වනවා. බටහිර පොත්වල තියෙන දේ කියා දෙනවා. ලාල් විජේනායක ඉඳහිට මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. මා කලින් ම මාක්ස්වාදයෙන් කැඩුණා. ඒ බර්ලින් තාප්පය බිඳ වැටීමට කලින් 1980 දී. අසුවෙ ජූලි වැඩවර්ජනයටත් කලින්.
ඔය අතර කාණ්ඩයක් හිටියා විරෝධය කියලා. ඔවුන් විවිධ රූපාන්තරකරණයන්ට භාජනය වුණා. එහි ප්‍රධානියකු වූ සිසිර ජයසූරිය අද ඕස්ත්‍රේලියවේ. එය කම්කරු මාවත හා තවත් කණ්ඩායම් හරහා විකාශය වුණා. කීර්ති බාලසූරියටත් ට්‍රොට්ස්කි ගොඩ ගන්න බැරි වුණා. වයසට යැමෙන් පසු මාක්ස්වාදින් වූ කාලෝ ෆොන්සේකා හා සුචරිත ගම්ලත් දෙදෙනාගෙන් කාලෝ සමසමාජයට ගියා. ඔහුට සභාග කතා ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔහු ප්‍රසිද්ධ වුණා. සුචරිත නම් කම්කරු මාවතට එක් වුණා. එහෙත් විජේ ඩයස්ලා ඔහු භ්‍රෂ්ඨයකු ලෙස සලකා පක්‍ෂයෙන් අස් කළා.
වමට මෙසේ ඉර බැස යද්දී අලුත් වමක් හොයන්න ඒ අතරින් පිරිසක් එක් වුණා. ඔවුන් X කණ්ඩායම ලෙස පසුව ප්‍රසිද්ධ වුණා. ඔවුන් තමයි බුද්ධිමතුන්. කවුද රොහාන් කෙනකු තමයි අලුත් වමට ගුරුවෙලා තියෙන්නෙ. පස්සෙ කලක් අභිධර්මය කියව කියව හිටපු දීප්ති ගුණරත්න එහි ගුරු බවට පත් වුණා. ගුරු කිවුවට පොතේ ගුරු. ඔවුන් ෆූකෝගේ සිට ඩෙරීඩා දක්වා සියලු ඉතා මෑත කාලීන දාර්ශනිකයන් ද සොක්‍රටීස්ගේ සිට හයිඩැගර් ආදීන් දක්වා ඈත සිට මෑත දක්වා දාර්ශනිකයන් ද අතැඹුලක් ලෙස දැන හිටියා. අද ඔවුන් තැන තැන විසිරිලා. නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ කියන එක පරණ කතාවක්. අලුත් විධියට නටපු තොවිලෙකුත් නැහැ බෙරෙත් නැහැ.
පරණ මාක්ස්වාදීන්ගෙ යම් නිහතමානි බවක් තිබුණා. මේ කණ්ඩායමට තිබුණේ හීනමානය. ඔවුන් අතර ප්‍රභූ පාසල්වල ඉගෙන ගත් එහෙත් ලංකාවේ විශ්වවිද්‍යාලයක ශාස්ත්‍ර පීඨයකට ඇතුල් වෙන්න බැරි අයත් හිටියා. ඔවුන් තමයි තම හීනමානය වැඩියෙන් ම ප්‍රකාශ කළ අය. ඔවුන්ට අවශ්‍ය වුණෙ තමන් විශ්වවිද්‍යාලවලට ගිය අයට වඩා දන්න බව කීමට. විශ්වවිද්‍යාල කථිකාචාරයවරු මහා දෙයක් දන්නෙ නැහැ. මා නම් කිසිම දෙයක් දැන හිටියෙ නැහැ. කිසිවකු නොකියවූ පොතක් කියවල අපි තමයි දන්නෙ කියා කීමට ඔවුන් පසුබට වුණෙ නැහැ. ඒත් ඒ පොත්වලින් ගත් දේකුත් ඉතිරි වෙලා නැහැ.
ඒ ට්‍රොට්ස්කිවාදී විකාශය. ස්ටැලින්වාදීන් මුල දී ම ෂන්මුගදාසන්ගෙ චීන පිළට යට වුණා. විජේවීර බිහිවුණෙ ඒ අතරින්. ඔවුන් අපරාදෙ කියන්න බැහැ ට්‍රොට්ස්කිවාදීන් වගේ විප්ලවය කතා කර කර හිටියෙ නැහැ. ඔවුන් විප්ලවය කළා. ඒත් නිර්ධන පංති ආඥාදායකත්වය පිහිටුවා ගන්න බැරි වුණා. බෝපගෙ ඕස්ත්‍රේලියාවෙ විප්ලවය කරන්න ගියා. සිසිර ජයසුරිය හමු වුණා ද දන්නෙ නැහැ. පහුගියදා විජේවීර සැමරුවා. එ ආපු සෙනග නම් විප්ලවේට මදී. සියයට තුනක්වත් නැහැ. මෙච්චර අර්බුදයක් තියෙද්දිත් මාක්ස් වළ පල්ලෙන් නැගිටල එන්නෙ නැති හැටියක්.
ඩෙරීඩාගෙනුත් වැඩක් නැහැ. මා නම් ඩෙරීඩා කියවල නැහැ. ස්පිවැක්ගෙ පරිවර්තනය හරි ද මන්දා. ඩෙරිඩා ප්‍රංසෙන් කියෙවුවත් වැඩක් වෙන්නෙ නැහැ. ෆුකෝලගෙන් ඩෙරීඩලාගෙන් ප්‍රංශෙට වෙච්ච වැඩේ මොකක් ද? ප්‍රංශෙ මුස්ලිම් කාන්තාවන්ට ලොකු නිදහසක් ඇති. අද මුළු බටහිර ම එකතු වෙලා රූසියාවට ගහනවා. ඒ සංස්කෘතික හටනක්. බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය හා නැගෙනහිර ඔතොඩොක්ස් සංස්කෘතිය අතර. එහෙම කතාවක් අපේ පොතේ නැත් ද?
පැරණි
වමට තිබුණු ප්‍රශ්නෙට වැඩි ප්‍රශ්නයක් අලුත් වමට තිබුණා. දැන් මොන වමක්වත් නැහැ. වමාලා ටිකක් නම් ඉන්නවා. අලුත්
වමට පැරණි වමට තරම්වත් ජාතිකත්වයක් තිබුණෙ නැහැ. ජාතිකත්වය තියෙන්නෙ මිනිසුන්ගෙ ඇඟේ. මනසෙ හිතේ. ඒත් වමේ කතා තිබුණෙ තියෙන්නෙ වමාලාගෙ ඔළුවෙ විතරයි. පෑරණි වමාලාට කොහොම වුණත් අලුත් වමාලට තියෙන්නෙ ලොකු ඔළු. ඒ ලොකු ඔළුවල අර පොත් තියෙනව වෙන්න පුළුවන්. ඒත් ඒව බොහෝ කාලෙට ඉස්සර පිලිප් ගුණවර්ධන කිවුව පුස් කෑ පොත්. මා නම් කියන්නෙ කිසි දා වලංගු නොවූ පොත් කියල.
ඔය පිරිස අතරෙ ඉන්න හරි හිටිය හරි සිරිමල් විජේසිංහ අපුරු කතාවක් කියල තිබුණා. ඔහුට ලොකු ඔළුවක් නැහැ. ඔහු අද අනෙක් අය වගේ නො වෙයි අමාරුවෙන් ජීවත් වෙන්නෙ. විප්ලවවාදීන් සමස්තය ගැන බලන්නෙ. ඒ කියන්නෙ පද්ධතියක සමස්තය නො වෙයි. ඔවුන් පුද්ගලයන් හදන්න නො වෙයි සමාජය හදන්න වෙහෙස වෙන්නෙ. ඒ නිසා සිරිමල්ටත් සිද්ධ වෙනවා විප්ලවේ වෙනකන් ඉන්න. සිරිමල්ට ලොකු ඔළුවක් නැති නිසා ඔහු අර ටොට්ස්කිගෙ ප්‍රශ්නය ඔහුට තේරෙන විධියට අහනවා.
මාක්ස්ට
අනුව විප්ලවේ ඉස්සෙල්ලා වෙන්න ඕන දියුණු ධනපති රටවල. ට්‍රොට්ස්කි ඔය කතාව අකුරට ම පිළිගත්තා. ලෙනින් පිළිගත්ත මාක්ස්වාදයක් නැහැ. ඔහු කෙක්කෙන් හරි කොක්කෙන් හරි විප්ලවේ කරන්න හැදුවා. ඒ සඳහා ඔහු මාක්ස් ඔළුවෙන් හිටෙවුවා. ඔහු අර අමරසේකරට ජාතික චින්තනය කියල දුන්න විචාරකයා කියල තියෙන විධියට රුසියන් ජාතික චින්තනය යොදා ගත්තා. සාර් පැන්නුවා.
ට්‍රොට්ස්කිට මෙය තේරුම් ගන්න පොත් ගණනාවක් ලියන්න වුණා. අසමාන සංවරධන ගැන ඔහු හිත හදාගන්න කතා කළා. එංගලන්තෙ විප්ලවේ වෙන්නෙ නැතුව රුසියාවෙ වෙන්නෙ කොහොම ද? පස්සෙ කාලෙක ස්ටැලින් බලය අතට ගෙන ට්‍රොට්ස්කි පන්නල දැම්මට පස්සෙ ආයෙත් අර පරණ කතා කියවන්න පටන් ගත්තා. තනි රටක සමාජවාදය ඇති වීමට නොහැකි බව කිවුවා. ඔහු එංගලන්තෙ විප්ලවේ බලාපොරොත්තු වුණා. ඊට ඉස්සෙල්ලා ස්ටැලින් ට්‍රොට්ස්කි මරා දැම්ම. තාමත් එංගලන්තෙ විප්ලවේ සිද්ධ වෙලා නැහැ. ඉතින් මාක්ස්ට අනුව ලංකාවෙ සිද්ධ වේවි ද?
පරගලෙත්
ඇවිල්ල ගියා. විප්ලවේ ආවෙ නැහැ. රනිල් බලයට පත් වෙලා. අපේ පොතේ එහෙම නැතේ. කාගෙ පොතේ ද තියෙන්නෙ. මේ අයත් ජේ ආර්ගෙ විවෘත සංස්කෘතියෙන් බිහිවෙච්ච අය. පරගල කතාව තවම ඉවර නැහැ.
.