ගුණදාස අමරසේකරගෙ මහගෙදර
මේ ලිපිය මූලික වශයෙන් ගුණදාස අමරසේකර ගැන. එහෙත් එහි තවත් දේත් කියැවෙනවා. ඒ මගේ ශෛලියයි. මා විශ්වවිද්‍යාලයෙ දේශන පැවැත්තුවෙත් මේ ශෛලියෙන්. බටහිර ක්‍රමයට කාට හරි කියන්න පුළුවන් ඒ විසුරුණු අදහස් කියල. එහෙත් ඒ සියල්ල එකිනකට බැඳිලා. අමරසේකරත් පරගලයට විරුද්ධයි. ඒත් පරගල මධ්‍යම පංතිය බිහිවීමට ඔහුත් හේතුවක් වුණා.
පරගලය බටහිරින් මෙහෙයවුණු එකක්. අමරසේකර එය
පිළිගන්නෙ නැහැ. ඔහුට අනුව එය මධ්‍යම පංතියෙ වැඩක්. පරගලයෙ දේශීය නායකත්වය ගත්තෙ
මධ්‍යම පංතිය බව සැබෑව. මධ්‍යම පංතිය යන්නෙන් මා අදහස් කරන්නේ මධ්‍යම පාංතික ආකල්ප
රැගත් පිරිස. ඔවුන් ඉතා දුප්පත් ගැමි පවුලක දරුවන් වෙන්න පුළුවන්. මේ මධ්‍යම පංතිය
බිහි වීමට හේතු කිහිපයක් මා කලින් ලිපිවල සඳහන් කර ඇති. එයින් ප්‍රධාන ම කරුණ අධ්‍යාපනය.
දැන් එයට රූපවාහිනී නාළිකාත් එකතු වෙලා. ඉන් සිරසක් නැති සිරසත් දෙරණක් නැති
දෙරණත් ප්‍රධානයි. අද වන විට සකර්බර්ගුත් එයට එකතුවෙලා. දැන් එය පෙනී සිටින්නේ
මෙටා නමින්. මෙටා කියන එක සාමාන්‍යයෙන් ඔබ්බෙන් ඈතින් කියන තේරුමෙන් යෙදෙන්නෙ.
පාරිභාෂික ශබ්දමාලාවල එය පරිවර්තනය වන්නෙ පාර ලෙස. අපි මෙටාවටත් පාරාව කියමු ද? එහෙම
නැත්නම් ජරාව කියමු ද? සමහරවිට සකර්බර්ග් අනාථ කඳවුර දන්නෙ
නැතුව ඇති ඊයෙ පෙරේදා පාරාවෙන් එකොළොස් දහසක් පමණ අස් කෙරුණු බව. නරක ද උද්ඝෝෂණයක්
කළා නම්. අන්තරෙත් එයි. පාරාවෙ මානව හිතවාදය ගැන වෙන ම ලියන්න වෙයි.
මේ මධ්‍යම පංතිය ගැන කතා කරන අතරෙ බටහිර විද්‍යාව
ගැන කියන ගමන් තමයි මා අර අද්වෛත බ්‍රහ්මන් ගැන කිවුවෙ. එය මා සිත් ගත් සංකල්පයක්.
එය වර්ධනය කෙරුණෙ සංකරාචාර්යයන් විසින්. බොහෝ භාරතීය දාර්ශනිකයන් කියන විධියට
අද්වෛත නිර්ගුණ් බ්‍රහ්මන් හා නාගර්ජුනපාදයන්ගෙ ශුන්‍යතාව අතර සම්බන්ධයක් තියෙනවා.
ශුන්‍යතාවත් මගේ සිත් ගත් තවත් සංකල්පයක්. මා දන්නා කිසිම බටහිර (මා දන්නේ ඉතා
ටිකයි) සංකල්පයකට වඩා අද්වෛත නිර්ගුණ් බ්‍රහ්මන් හා ශුන්‍යතාව මා අගය කරනවා. මා ඒ
පිළිගන්න නිසා නො වෙයි. අද බොහෝ ක්වොන්ටම් සංකල්ප පිටුපස අද්වෛත නිර්ගුණ් බ්‍රහ්මන්ගේ
සමස්තය පිළිබඳ කතාව තියෙනවා. ඒ වගේ ම චීන යිං යැං කතාවත් තියෙනවා. යිං යැං කියන්නෙ
එකක් තුළ අනෙකත් ඒ අනෙක තුළ පළමුවැන්නත් තියෙනවා කියන එක. මා යිං යැං සංකල්පයටත්
කැමතියි. අමරසේකර මේ සංකල්ප තුට්ටුවකට මායිම් කරන්නෙ නැහැ. ඔහු ඒවට කිසිම ඇගයීමක්
දෙන්නෙ නැහැ.
මගේ ලෝකයේත් යිං යැං සඳහන් වෙනවා. මගේ ලෝකය
ගන්න පුළුවන් කොහෙන් ද කියා මගෙන් අහනවා. එය නුගේගොඩ කියවන නුවණ පොත්හලේ ඇති. එහි
මුද්‍රණය අවසන් වී නම් ගෙවිඳු එය නැවත මුද්‍රණය කළාට මගේ අමනාපයක් නැහැ. දැනුමේ
කතෘ භාග සෙවීමට මට උනන්දුවක් නැහැ.
මගේ ඒ සටහන හැරුණු විට නිවන හා ශුන්‍යතාව
පිළිබඳ හරි නිවන හා අද්වෛත නිර්ගුණ් බ්‍රහ්මන් අතර සමානත්වය හරි අද සිංහල බෞද්ධයන්
අතර සාකච්ඡා වන්නේ නැහැ. සිංහල බෞද්ධ සමාජය කැරකෙන්නේ මා වටා නො වෙයි. මා නම්
කැරකෙන්නේ සිංහල බෞද්ධ ථෙරවාද සංස්කෘතිය වටා. ඊනියා ථෙරවාද සභ්‍යත්වයක් වටා
නොවෙයි. ථෙරවාද සභ්‍යත්වය කියා එකක් නැති බව හන්ටින්ටන් කියනවා. ඒ සභ්‍යත්වය යන්නට දෙන තේරුම අනුව. සභ්‍යත්වය
කියන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියෙ සංස්කරණය (නිර්මාණය) වූණු සංකල්පයක් නො වෙයි. අප
සභ්‍යත්වය කියන සංකල්පය යොදා ගන්න ඕන එක්කො අදාළ සංස්කෘතියෙ එයට දෙන තේරුමෙන්.
එහෙම නැත්නම් එය අපේ සංස්කෘතියට අවශෝෂණය කරගෙන. අද එහෙම කරන බවක් පේන්නෙ නැහැ.
අමරසේකර ථෙරවාද සභ්‍යත්වයක් ගැන කියනවා. මා
හිතන්නෙ නැහැ අමරසේකර හන්ටින්ටන්ගෙ සභ්‍යත්ව ගැටුම (Clash of Civilizations) කල්පනාවෙන් කියවල තියෙනවා කියා. මා ඒ
ගැන කලිනුත් කියා ඇති. හන්ටින්ටන් තම පොතේ ජාතික චින්තනය ගැනත් සඳහන් කර තිබුණා.
හන්ටින්ටන්ට එවැනි අදහසක් නොතිබුණත් මා හිතන්නෙ ඒ අමරසේකරට ගෞරවයක් වුණා
කියල.
මා දුටුවා ජාතික රූපවාහිනියෙ එකොළොස්වැනි දා ප්‍රවෘත්ති
කී දෙදෙනා පොපි මල් පැළඳ සිටිනවා. ඔවුන් දැන හෝ නොදැන හෝ සමරන්නෙ පළමුවැනි ලෝක
යුද්ධයෙන් මිය ගිය බටහිරෙත් බටහිර හමුදා භටයන්. එකොළොස්වැනි දා ඇමරිකාවෙ බොහෝ
ආයතනවල නිවාඩු. මේ පොපි මල් කතාවෙන් කරුණු කිහිපයක් පැහැදිලි වෙනවා. එකක් බටහිර
සභ්‍යත්වය. එංගලන්තය වේවා උතුරු ඇමරිකාව වේවා උතුරු යුරෝපය වේවා එක ම සභ්‍යත්වයකින්
බැඳිල ඉන්නෙ. ඔවුන්ට විවිධ සංස්කෘතීන් තියෙන්න පුළුවන්. ජර්මනිය හා ඉතාලිය ටිකක්
වෙනස්. ඔය ඊනියා ලෝක යුද්ධ මූලික වශයෙන් බටහිර සභ්‍යත්වය හා ඉන් ටිකක් ඈතට ගිය
රටවල් අතර වූ යුද්ධ.
අද යුක්‍රේනයෙ සිද්ධ වෙන්නෙ බටහිර ක්‍රිස්තියානි
සභ්‍යත්වය හා නැගෙනහිර ඔතොඩොක්ස් සභ්‍යත්වය අතර සටනක්. හන්ටින්ටන් කිවුවෙ බර්ලින්
තාප්පය බිඳ වැටුණට පස්සෙ ඇතිවෙන්නෙ සභ්‍යත්ව ගැටුම් කියල. නැහැ ඊට ඉස්සරත් තිබුණෙ
සභ්‍යත්ව සංස්කෘතික ගැටුම්. සභ්‍යත්වයක අය එකිනෙකා සමග බැඳිලා. ඔවුන් එකිනෙකා
වෙනුවෙන් ඉන්නවා. ථෙරවාදීන් අතර එවැනි බැඳීමක් නැහැ. අප එකිනෙකා වෙනුවෙන් පෙනී
ඉන්නෙ නැහැ. අප එකිනෙකාට බැඳිල නැහැ.
පොපි මල පැළඳ පළමුවැනි ලෝක යුද්ධය සිහිකිරීමට
විරුද්ධවයි සමසමාජ පක්‍ෂයෙ සූරිය මල් ව්‍යාපාරය පටන් ගත්තෙ. අද සූරිය මලක් තිස්ස
විතාරණවත් පළඳින්නෙ නැහැ. අනාථ කඳවුරට වගේ වගක් නැහැ. ඔවුන් කොහොමටත් මධ්‍යම
පාංතිකයන් පිරිසක්. වම නැති බව තාමත් ඇති පොපි මලෙනුත් නැති සූරිය මලෙනුත්
පෙන්නනවා. වමාල නම් ඉන්නවා. ඔවුන් ධනපති විරෝධීන් නොව සිංහල බෞද්ධ විරෝධීන්
පිරිසක්. ජාතික රූපවාහිනිය නම් පොපි මල පළඳිනවා. ජාතික රූපවාහිනිය කෙතරම් විජාතික
ද? බටහිර සභ්‍යත්වයට යට ද?
මේ මධ්‍යම පංතිය බිහිවුණෙ මූලික වශයෙන් අප මත
පැටවුණු ඉංගිරිසි අධ්‍යාපනයෙන්. මා කලිනුත් කියා ඇති එය ඉංගිරිසි මාධ්‍යයෙන් පමණක්
නොව සිංහල දෙමළ මාධ්‍යවලිනුත් ලැබුණා. මේ අධ්‍යාපනයෙ ප්‍රධාන තැන ගත්තෙ බටහිර විද්‍යාව
හා ඒ සමග බැඳුණු ඊනියා සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර. සමාජයීය විද්‍යා කියා
විද්‍යාවන් නම් නැහැ. ඒ සඳහා අවශ්‍ය වියුක්තබව ඊනියා සමාජයීය විද්‍යාඥයන්ට ගොඩ නගා
ගන්න බැහැ. මා සඳහන් කරන්නේ බටහිර සමාජයීය විද්‍යාඥයන් ගැන මිස මෙරට ඉන්න සමාජයීය
විද්‍යාඥයන් ගැන නොවෙයි. මෙරට ඉන්න අය කරන්නෙ බටහිර කවුරු හරි කියපු දෙයක්
පුනරූච්චාරණය කිරීම පමණයි.
මාටින් වික්‍රමසිංහ කෙළෙත් එයයි. ඔහු බටහිර
ඊනියා යථාර්ථවාදී නවකතා සිංහල පාඨකයන්ට හඳුන්වා දුන් බව කියනවා. ගුණදාස අමරසේකරත්
අද කියනවා ඒ නවකතා දැන් නැහැ කියල. අද ඇත්තෙ ටෙලි කතාලු. ටෙලි කතා ලියන අයත්
අමරසේකරලත් කෙරුවෙ එක ම දේ. බටහිර කතා අනුකරණය කිරීම. අද ඉන්න ටෙලි බෑණලා කරන්නෙ
මාටින් සීය හා ගුණදාස මාමා කරපු දේමයි. එදිරිවීර සරච්චන්ද්‍රත් නවකතා සම්බන්ධයෙන්
කෙළෙත් එයයි. අපට ඔබින කතා සම්ප්‍රදායක් ගොඩ නගා ගැනීමට උත්සාහ කෙළෙ පියදාස
සිරිසේන. එහෙත් බටහිර අච්චුවෙන් ඔහු විවේචනය කර ඒ කතා සම්ප්‍රදාය නැති කළා.
අමරසේකර අද කියනවා රටට වෙලා තියෙන්නෙ තම
මහගෙදරට වුණු දේ කියල. ඒ මහගෙදර සුද්දෙකුට විකුණල කියනවා. රටත් සුද්දන්ට විකුණල. එහෙම
වුණෙ මොක ද? අප සුද්දන් හා ඔවුන්ගෙ දැනුම විද්‍යාව වේවා
සාහිත්‍යය වේවා ඊනියා බෞද්ධ දර්ශනය (එය බුදුහාමුදුරුවන්ගෙ දේශනයක් නො වෙයි)
අනුකරණය කිරීම. අප බටහිර දැනුමේ ආධිපත්‍යයට යට වීම. අමරසේකරත් එය කළා. මා කියන්නේ
අප බටහිර දැනුම ප්‍රතික්‍ෂෙප කළ යුතු බවක් නො වෙයි. අප එය අපට වුවමනා ප්‍රමාණයට
අවශෝෂණය කර ගන්න ඕන. අමරසේකරවත් වික්‍රමසිංහවත් එය කෙළේ නැහැ. මා බටහිර විද්‍යාවට
මුලින් ම යොමු වුණෙ මාටින් වික්‍රමසිංහගෙ හා ඊ ඩව්ලිව් අදිකාරම්ගෙ පොත් කියවල.
වාසනාවකට පසුව මට එයින් කැඩෙන්න පුළුවන් වුණා.
ඒ මොනව වුණත් අමරසේකරගෙන් මෙරට ජාතිකත්වයට යම්
සේවයක් ඉටු වුණා. ඔහුට මාක්ස්වාදයෙන් මිදෙන්න බැහැ. ඔහු ධර්මපාලතුමා මාක්ස්වාදී ද
යන කෘතිය එලෙස නම් කෙළෙ ජේ ආර් පී සූරිය්පපෙරුමගෙ ප්‍රකාශයක් උඩ කියා මා අහල
තියෙනවා. අමරසේකර මගේ පථයට ආවෙ නවකතාවලින්වත් කවිවලින්වත් ඔහු වඩාත් දක්‍ෂ ලෙස
අනුකරණය කළ කෙටි කතාවලින්වත් නො වෙයි. අබුද්දස්ස යුගයක් කෘතියෙන්. එකල මා සමසමාජ
කාරයෙක්. මා අබුද්ස්ස යුගයක් කෘතිය වමේ ඇහෙන් විවේචනය කළා.
පසුව මා ඔහු මහාවංසයේ ධර්මපාල පරිච්ඡෙදය ලියු
විද්වතා ලෙස හැඳින්නුවා. අප තාමත් ඒ පරිච්චෙදය හරියට ලියා නැහැ. ධර්මපාලතුමා කටයුතු
කෙළෙ මූලික වශයෙන් අපට ජාතික අභිමානයක්
ලබා දීමට. අමරසේකරත් ඒ අනුව කටයුතු කළා. අප ඒ අගය කරනව. ඒත් අර අමරසේකරත් යට වී
ඇති බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමෙන් විකෘති මනස් ඇති කර ගත් අය ඒ සියල්ල
කණපිට හරවන්න සූදානම්. පරගලයත් ඒ සඳහා. ජෝසෆ් ස්ටැලින් ගුරුවරියන්ගෙ සාරි ගලවන්න
හදන්නෙ ඒ ජාතික අභිමානය නැති කරන්න. සිංහල පිරිමින්ට නම් කිසිම ජාතික අභිමානයක්
නැහැ. අද කලිසම අඳින්නෙ නැති අය ඉන්නෙ කී දෙනා ද? පඬිනැට්ටකු අහන්න පුළුවන් ජාතික
අභිමානය තියෙන්නෙ රෙද්දෙ ද කියල. රෙද්දෙ නො වෙයි. අනන්‍යතාවක් නැති එකාට අභිමානයක්
නැහැ. තියෙන්නෙ හීනමානයක් පමණයි. අද විශ්වවිිද්‍යාල කියන්නෙ හීනමාන කඳවුරු.
බටහිර තාක්‍ෂණය කාර්මීකරණය අද ලෝකය ම අර්බුදයට
යවලා. රනිල් ඊජිප්තුවෙදි කිවුවට බටහිරයන් පරිසරය දුෂණය කිරීම ගැන අපට වන්දියක්
ගෙවන්නෙ නැහැ. පරිසරය දූෂණය කරන්නෙ නැතුව බටහිර සභ්‍යත්වයට පැවැත්මක් නැහැ. මා ඒ
ගැන කලින් කියා ඇති. ඒ සමහර ලිපි පොතක් හැටියටත් පළ කරල තියෙනවා. ධර්මපාලතුමාටත්
කාර්මීකරණය අනුකරණය කිරීමේ වුවමනාවක් තිබුණා. ඒ එකල තිබූ දැනුම අනුව. අමරසේකර
අනුකාරකයන් ගැන කියමින් බටහිර විද්‍යාව හා බටහිර සාහිත්‍යය අනුකරණය කළා. ඔවුන්ට
අවශෝෂණය ගැන දැනුමක් තිබුණෙ නැහැ.
ඒ සියල්ල අතරෙ මා අමරසේකර අගය කරනවා. ඔහුගෙන්
ජාතිකත්වයට වූ සේවය ඉතිහාසයෙන් මැකී යන්නෙ නැහැ. ඔහු ජාතිකත්වයට අගයක් ලබා දුන්නා.
ජාතික අභිමානයක් ඇති කිරීමට කටයුතු කළා. ඔහු මා අගය නොකිරීම ප්‍රශ්නයක් නො වෙයි.
මගේ අගය කරන්න තරම් දෙයක් නැහැ. අද අමරසේකරගෙ අනූතුන්වැනි ජන්ම දිනය. මා ඔහුට
දීර්ඝායු හා නීරෝගිතාව පතනවා. ඒ අතර ඔහු විශ්වාස කළත් නැතත් ඔහුගෙ සසර ගමන
ඉක්මණින් ම නතර වේවා කියා පතනවා.