Main Logo

Wednesday 9 November 2022

අපි මැරුණත් ඉපදෙන්නෙ නැහැ

 අපි මැරුණත් ඉපදෙන්නෙ නැහැ

 

ලන්දේසීන්ට වඩා උපක්‍රමශීලී වූ ඉංගිරිසින් පාසල් මගින් එතෙක් සිංහල මධ්‍යම පංතියේ තිබූ ආකල්ප ක්‍රමයෙන් වෙනස් කරන්න සමත් වුණා. ඔවුන් තම දැනුම අප මත පැටෙව්වේ ලොව හැම තැන ම කළ පරිදියි. මෙරට දැනුම මිථ්‍යාවක් බව ක්‍රමයෙන් මධ්‍යම පංතියට දැනෙන්න සැලැස්සුවා. ඒ සඳහා  ඔවුන්ට ඕල්කට්තුමා උපකාර කෙළේ භික්‍ෂූන් වහන්සේ තම ආයතනවලින් බැහැර කිරීමෙන්.

 

ඉංගිරිසින්ට තම දැනුම නිවැරදි දැනුම යන මතය මධ්‍යම පංතියට ඒත්තු ගැන්වීමට හැකි වූ අනෙක් ප්‍රධාන කරුණ වූයේ තාක්‍ෂණයයි. මෙරට හා වෙනත් රටවල එතෙක් නොතිබි තාක්‍ෂණයක් බටහිරයන් ඇති කර තිබුණා. ඒ තාක්‍ෂණය බටහිර විිද්‍යාව සමග සම්බන්ධයක් තිබුණත් ඒ මත පදනම් වුණේ නැහැ. එඩිසන් විදුලි බල්බය නිපදෙවුවෙ ඕම් නියමය දැන ගෙන නො වෙයි. මෑතක දි ටෙස්ලා අයින්ස්ටයින්ට සැලකිල්ලක් දැක්වූයේ නැහැ. එහෙත් බටහිරයන් තාක්‍ෂණය බටහිර විද්‍යාව මත පදනම් වී ඇත යන බොරුව ලෝකයට ම දැනෙන අයුරින් කියා දුන්නා.

 

බටහිර විද්‍යාව සත්‍යය යන මතය මෙරට මධ්‍යම පංතියට ඒත්තු ගැන්නුවා. එයට විශේෂිත වූ විධික්‍රමයක් ඇතැයි ප්‍රචාරය කළා. යමක් සත්‍ය නම් එය විද්‍යාත්මක විය යුතුය යන්න මධ්‍යම පංතිය විතරක් නොව මධ්‍යම පංතිය ගිය පන්සල්වල භික්‍ෂූන් වහන්සේත් පිළිගන්නා තැනකට ක්‍රමයෙන් පත් කෙරුණා. බුදුදහම සත්‍ය බව පිළිගත් මධ්‍යම පංතිය ඒ සමග බුදුදහම විද්‍යාත්මක බව ද පිළිගැන්වීමට කටයුතු කෙළේ බටහිර විද්‍යාව හා බුදුදහම යන දෙක ම පිළිගැනීමට ඉඩකඩ සකසා ගනිමින්.

 

බටහිර විද්‍යාව විසිවැනි සියවස වන තෙක් ම ඉන්ද්‍රිය ගෝචර දැනුමක් ගැනයි කතා කෙළේ. මැක්ස්වෙල්ගේ විද්‍යුත් චුම්බක ක්‍ෂෙත්‍රය (electromagnetic field) වුණත් ඉන්ද්‍රිය ගෝචර බවක් පදනම් කරමින් තමයි කියා දුන්නේ. විසිවැනි සියවසේ තමයි ඉන්ද්‍රිය ගෝචර නොවන කතා බටහිර විිද්‍යාවේ සංස්කරණය කරන්න පටන් ගත්තෙ. එහෙත් ඒ දැනුම මිනිසුන් අතරට යන්නෙ නැහැ. මූලික අංශු යනු ඉතා කුඩා බෝල නොව යම් ක්‍ෂෙත්‍රයක ඇති වන කම්පන බවත් හිග්ස් බෝසෝනයත් එවැනි අංශුවක් බවත් අංශුවලට ස්කන්ධයක් ලැබෙන්නේ හිග්ස් බෝසෝනයේ කම්පනවලින් බවත් කී විට වටහා ගැනීම තරමක් අපහසුයි. ඊට වඩා බෙහෙවින් ලෙහෙසියි බරක් ඇති කුඩා දොඹ ගෙඩි ලෙස මූලික අංශු තිස්අට ගැන සිතීම.

 

ඉන්ද්‍රිය ගෝචර දැනුමක් ලෙස බටහිර විද්‍යාව සැලකීමේ ප්‍රතිඵලය වුණේ අපේ ඉන්ද්‍රිය ගෝචර නොවන දැනුම මිථ්‍යා ලෙස සැලකීමට පුරුදු වීම. ඒ අනුව ජාතික චින්තනයක් ගැන කතා කරන ගුණදාස අමරසේකර හා තවත් ප්‍රබුද්ධයන් සසර ගමනක් හා යළි ඉපදීමක් පිළිගන්නේ නැහැ. ඔවුන් වෙනත් ආකාරයක යළි ඉපදීමක් කලක් පිළිගත්තා. බුදුුදහම මූලික වශයෙන් යළි ඉපදීම නතර කිරීම සඳහායි. යළි ඉපදීමක් පිළිගන්නෙ නැත්තම්  මට තේරෙන ආකාරයෙන් නම් බෞද්ධයකු වන්න බැහැ. ක්‍රිස්තියානි ආගමෙත් සියල්ල මරණයෙන් කෙළවර වන්නෙ නැහැ. සදාකාලික ස්වර්ගයකුයි සදාකාලික අපායකුයි තියෙනවා. 

 

මධ්‍යම පංතිය බටහිර විද්‍යාව පසුපස යෑමේ ප්‍රතිඵලය වුණෙ ප්‍රත්‍යක්‍ෂය යන්න බැහැර කිරීමයි. අප කුඩා කළ සිට ධර්මය වඳින විට කී පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති යන්න පචයක් බවට පත්වෙලා. අපේ සංස්කෘතිය කතා කෙළේ අත්දුටුවයි ප්‍රත්‍යක්‍ෂයි ගැන. බටහිර විද්‍යාවෙත් මුලදි ප්‍රත්‍යක්‍ෂය වැදගත් වුණා. මොන හිතළුව ඉදිරිපත් කළත් එය වැඩ කරන බව පෙන්නන්න ඕන, නැත්තන් පිළිගන්නෙ නැහැ. කාල් පොපර්ගෙ අසත්‍යකරණය (falsification) පදනම් වෙලා තියෙන්නෙ මේ පෙන්වීම මත. කාල් පොපර් කාල් මාක්ස්ගෙ කතන්දර ප්‍රතික්‍ෂෙප කෙළෙ මාක්ස්ගෙ කතා බොරු කිරීමට හැකි වන පරිදි ගොතල නැහැ කියල. සිංහලෙන් කියනවා නම් ඇස් පනාපිට බොරු කරන්න පුළුවන් වෙන්න ඕන. ඊනියා රූසියන් විප්ලවය සිදුවුණෙ ග්‍රෙගරි දින දර්ශනය අනුව  1917 නොවැම්බර් 7 වැනි දා. එය ඔක්තෝම්බර් විප්ලවය වුණෙ පරණ ජූලියන් දින දර්ශනය අනුව. අවුරුදු සීයක් යන්න ඉස්සර විප්ලවේ නැති වෙලා.

 

අද බටහිර විද්‍යාවෙ ප්‍රත්‍යක්‍ෂය නෑහැ. බහුවිශ්ව (multiverse)  හා තවත් කතා ඇස් පනාපිට පෙන්නන්න බැහැ. අඳුරු ශක්තියට (dark energy) කතාවක් හදා ගන්න බැහැ. විශ්වය ත්වරණයකින් ප්‍රසාරණය (accelerated expansion) වෙනවා කියනවා. ඒකට කතාවක් නැහැ. අප හදන කතා පිළිගන්නෙ නැහැ. ඒ ආකාශ ධාතුව ගැන ග්‍රීකයන් කියල නැති නිසා. ඒ මොකක් වුණත් මෙරට මධ්‍යම පංතිය ඉන්ද්‍රිය ගෝචර නොවන කතා පිළිගන්නෙ නැහැ. ආධ්‍යාත්මික ව ලබා ගන්න දැනුම් පිළිගන්නෙ නැහැ. ඒවා මිථ්‍යා කියා හඳූන්නනවා.

 

බටහිර විද්‍යා  වගේ දැනුමක් ගොඩ නගන්න ඊනියා සමාජයීය විද්‍යාවෙ උත්සාහ කළත් එය අසාර්ථක වෙලා. ආර්ථික අර්බුදයට විසඳූමක් දෙන්න ඊනියා ආර්ථික විද්‍යාඥයන් අසමත් වෙලා. ඔවුන්ට කරන්න පුළුවන් සතපහකට වැඩක් නැති සම්මන්ත්‍රණ පවත්වන එක පමණයි. ඒ සල්ලිවලින් ගෙවල් කිහිපයකට පරිප්පු අරන් දෙන්න තිබුණා. බටහිර විද්‍යාවෙ තියෙන වියුක්තය සමාජයීය විද්‍යාවන්හි හරියන්නෙ නැහැ. මාක්ස්ගෙ අසමත්වීමට ප්‍රධාන හේතුව ඒකයි.

 

මේ කරුණු සමග මධ්‍යම පංතියෙ ලොකු හීනමානයක් ඇති වුණා. දැනුම තියෙන්නෙ බටහිර කියන කතාව ඔවුන් පිළිගත්තා. පාසල් පොතක කවුද ලියල බටහිර විද්‍යාව කියන්නෙ පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන කියල බහුබූතයක්. තාරකා විද්‍යාවෙ පරීක්‍ෂණ නැහැ. අර බහුවිශ්ව වගේ තැන්වල දි නිරීක්‍ෂණත් නැහැ. නිගමන නම් ඕනවටත් වැඩිය තියෙනවා. ඇතැමුන් ඒ ටික අහගෙන අප මිථ්‍යා පසුපස යන්නන් කියනවා. ඔවුන් ළඟ පමණලු දැනුම තියෙන්නෙ. මේ අය ගැන හෙට කතා කරමු. අද (8) ඇමරිකාවෙ අර්ධවාර ඡන්දෙ. ඒ කියල දැනුම් ආධිපත්‍යයට මොකුත් වෙන්නෙ නැහැ.