බුදුදහම විද්‍යාත්මක කිරීම
බටහිර විද්‍යාව ක්‍රමයෙන් රටේ පිළිගැනීමකට ලක්වුයේ ඉංජිනේරු හා බටහිර වෛද්‍ය විද්‍යාවට තිබු සැලකිල්ල වැඩිවෙත්ම. එහෙත් එ වෘත්තීවලට තිබූ වැදගත්කම බටහිර විද්‍යාවට ලැබුණේ නැහැ. සිසුන්ට අවශ්‍ය වූයේ දොස්තරවරයකු ඉංජිනේරුවරයකු හරි නීතිඥවරයකු හරි වෙන්න. දැන් මා හිතන විධියට කළමනාකරුවකු ගණකාධිකරුවකු වීමත් අභිලාෂ බවට පත්වෙලා. මා හිතන්නේ නැහැ වසරකට පාසල් යෑම පටන් ගන්නා හාරලක්‍ෂයක් පමණ සිසුන්ගෙන් හතරදෙනකුටවත් විද්‍යාඥයන් වීමට වුවමනා ය කියා. විිද්‍යාඥයකු වීම රැකියාවක් කිරීමක් ලෙස සලකන්නේ නැතුව වෙන්න පුළුවන්.
ඒ කොහොම වුණත් ඒ සියළු දෙනාත් ශාස්ත්‍ර පීඨවලට
යෑමට බලාපොරොත්තු වූ අයත් බටහිර විද්‍යාව
ඉතා ගෞරවයෙන් සැලකුවා සලකනවා. ඔවුන්ට කියා දුන්නත් නැතත් බටහිර විද්‍යාව සත්‍යය බව
හරි තව ටිකක් දැනගත්ත ම සත්‍යයට ළඟා වෙන බව හරි හැමෝම වගේ ඒ පිළිගත්තා. අද ජනමාධ්‍යවේදීන් වී සිටින අය නිතර කියනවා විද්‍යාවේ පරීක්‍ෂණ
නිරීක්‍ෂණ නිගමන කියා ක්‍රමයක් තියෙනවා කියා. විද්‍යාත්මක විධි ක්‍රමයක් ගැන උසස්
පෙළ ශාස්ත්‍ර (කලා) ධාරාවේ ඇතැම් සිසුන්ට උගන්වනවා. ඒ මොනවා කළත් විද්‍යාඥයන් වීමට
සිතන අය අතේ ඇඟිලි ගණනටත් අඩුයි.
බටහිර විද්‍යාවට රටේ තියෙන්නෙ එවැනි පරස්පර
ආකල්ප. විද්‍යාඥයන් වීමට උත්සාහ නොකළත් බටහිර විද්‍යාවට කවුරුත් ගරු කරනවා. එය
දැනුමේ මිනුම් දණ්ඩ බවට පත්වෙලා. සයන්ස් කරන්න තමයි පළමු බලාපොරොත්තුව. ඒත්
සයන්ටිස්ට් වීමට නො වෙයි. එක අතකට එහෙම බලාපොරොත්තු නොවෙන එකත් හොඳයි. සිංහලයන්ට
විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට විිද්‍යාඥයන් වෙන්න බැහැ. මාත් එය දැන ගත්තේ විද්‍යාඥයකු
වීමට ගොස් බැරි වීමෙන්. අද ලෝකයේ ඉහළ ම විිද්‍යාඥයන් සියයට දෙකට ලංකාවේ තිස්පස්
දෙනෙකු පමණ අයත් බව කියන එකෙන් මුළා වෙන්න එපා. ඔවුන් විද්‍යාඥයන් නො වෙයි. මා
ඔවුන්ගෙන් දහපහළොස් දෙනකු දන්නවා. මා කියන්නේ ඊරිසියාවකින් නො වෙයි.
බටහිර විද්‍යාව මෙරට ගෞරවයට වඩා භක්තියට යොමු
වීමත් සමග සමස්තයක් ලෙස බටහිර දැනුම රටේ දැනුම් ආධිපත්‍යයට පත් වුණා. යම් දැනුමක්
පිළිගැනීමට ලක්වීමට නම් එය විද්‍යාත්මක එහෙමත් නැත්නම් විද්‍යාවෙන් ඔප්පු කළ හැකි
බව පෙන්වීමට අවශ්‍ය වුණා. ඊනියා සමාජයීය විද්‍යා ඒ කිසිවක් නැතිව විද්‍යා බවට
පත්වුණා. ඔය කිසිම සමාජයීය විද්‍යාවක් බටහිර ස්වාභාවික විද්‍යා මිම්මෙන් විද්‍යාවක්
නො වෙයි. ඒ සමාජයීය විද්‍යාවන්හි වියුක්ත බවක් නැහැ.
මා කියන දේට රටේ තදබල විරුද්ධතාවක් ඇති බව මා
දන්නවා. බටහිර විද්‍යා හැදෑරීමට යම් තරමක වියුක්ත මනසක් තියෙන්න ඕන. අද බටහිර
ගණිතමය නැත්නම් ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව (Theoretical Physics) ඉතාමත් වියුක්තයි. පෝල්
එරන්ෆෙස්ට් Paul Ehrenfest කියන්නෙ ඔස්ට්‍රියාවෙ යුදෙවු දෙමවුපියන්ගෙ
දරුවෙක්. යුදෙවුවන්ට සංස්කෘතියෙන් ම වියුක්තබවක් ලැබෙනවා. ඔහු ප්‍රවාදාත්මක භෞතික
විද්‍යාඥයකු වී පසුව නෙදර්ලන්තයේ ලෙයිඩන් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ
මහාචාර්යවරයා වුණා. ලංකාවේ ද සමහරු ඒ විශ්වවිද්‍යාලයේ ඉගෙන තියෙනවා, උගන්නවා.
ඔවුන් එරන්ෆෙස්ට් ගැන දන්නවා ද කියා මා දන්නේ නැහැ. ඔහු අයින්ස්ටයින් කිට්ටුවෙන්
ඇසුරු කළා. අයින්ස්ටයින්ට අනුව එරන්ෆෙස්ට එකල සිටි දක්‍ෂතම භෞතික විද්‍යා
ගුරුවරයා. එහෙත් පෝල් එරන්ගෙස්ට් පෝල් ඩිරැක් වැන්නන් අතින් භෞතික විද්‍යාව වඩ
වඩාත් වියුක්ත වීම ගැන දොම්නසින් හිටියෙ. කතාවක් තියෙනවා ඔහු සිය දිවි නසා ගැනීමට
මේ වියුක්තකරණයත් හේතුවක් වුණා කියා. මෙහි පළවන්නෙ ඔහුගෙ ඡායාරූපයක්.
ඒ කතාව ඇත්ත වුණත් නැතත් ඊනියා සමාජයීය විද්‍යාවන්හි
වියුක්ත බවක් නැහැ. වියුක්ත බවක් තියෙනවා නම් වියුක්තය බැරි නිසා බටහිර විද්‍යාව
අත්හැර ශාස්ත්‍ර ධාරාව හදාරන අයට එය දිරව ගන්න පුළුවන් වෙන එකක් නැහැ. ඒත් ඒ
දැනුම්වලටත් බටහිරයන් කියන නිසා විිද්‍යා කියන නම යොදා ගැනෙනවා. මට කියන්න ඕන මෙරට
උගතුන් බුද්ධිමතුන් එසේ තිබිය දී යම් දැනුමක් පිළිගන්න ඕන නම් ඒ විද්‍යාත්මක විය
යුතු බවට කොන්දේසියක් පැනවීම ගැනයි. ඊනියා සමාජයීය විද්‍යා බටහිර භෞතික විිද්‍යාව
පසුපස වැටි වැටී ගමන් කිරීමට උත්සාහ දරණ දැනුම් පද්ධති පමණයි. එහෙත් ඒ අය ද ඉල්ලා
සිටින්නේ ඊනියා විද්‍යාත්මක භාවයයි.
එහි භයානක ප්‍රතිඵලය බෞද්ධ උගතුන් බුදුදහම විද්‍යාත්මක
බව පෙන්වීමට උත්සාහ දැරීමයි. බුදුදහම ඊනියා විද්‍යාත්මක නම් මා බෞද්ධයකු වීම අත්
හරිනවා. මා බෞද්ධයකු වන්නේ ම බුදුදහම විද්‍යාත්මක නොවන නිසා. බුදුදහම භෞතිකවාදී
යථාර්ථවාදී තාර්කික බුද්ධිවාදී දහමක් බව පෙන්වීමට යෑම අන් කිසිවක් නොව දීන බවේ ලක්‍ෂණයක්.
කාලාම සූත්‍රය හරි හැටි නොදැනීමක්. බොහෝ
කලකට පෙර, අවුරුදු තිහකට පමණ පෙර වෙන්න ඕන, මා
ඉරිදා දිවයින පුවත්පතට බුද්ධාගම විද්‍යාත්මක ද
කියා ලිපියක් ලිවුවා මතකයි. එහෙත් එහි අඩංගු වූයේ කුමක් දැයි මතක නැහැ.
අද වන විට මෙරට බුදුදහම ඇත්තේ බටහිර විද්‍යාවට
පහළින්. බුදුදහම විද්‍යාත්මක බව පෙන්වීමට මිස බටහිර විද්‍යාව බෞද්ධ යැයි කීමට
උත්සාහ ගන්නා අයකු නැහැ. මා කියන්නේ එසේ කළ යුතු බව නො වෙයි. ඇතැමුන් නම් සූදානම්
වන්නේ අද බටහිර විද්‍යාවේ කියන දේ බුදුහාමුදුරුවන් අවුරුදු දෙදහස් පන්සියකට පෙර
දේශනා කර ඇති බව කීමටයි. ඇතැමුන් බුදුහාමුදුරුවන් ඊනියා පර්යේෂණ ක්‍රමවේදය අනුගමනය
කළ බවත් කියනවා. මා ඒ අයගෙන් එක ඉල්ලීමක් කරනවා. මිළඟට බටහිර විද්‍යාවේ කියන්නේ
මොකක් ද කියා බුදුදහම ඇසුරෙන් කියන්න.
බුදුදහම හා බටහිර දැනුම දෙක ම තියා ගැනීමට පිළිගැනීමට අවශ්‍ය අය තමයි බුදුදහම විද්‍යාත්මක බව කියන්නෙ. බුදුදහම විද්‍යාත්මක නම් යුදෙවුන්ට නොව සිංහල බෞද්ධයන්ට නොබෙල් තෑගි වැඩි වශයෙන් හිමි වෙන්න ඕන. කලකට පෙර කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සැන් ඩියගෝ මණ්ඩපයේ පර්යේෂණ කළ අශෝක මෙන්ඩිස්ගෙන් ජනමාධ්‍යවේදියකු අසා සිටියේ ඔබ නොබෙල් ත්‍යාගයට කිට්ටු ද කියා. ඔහු ඉතා නිහතමානීව පිළිතුරු දුන්නේ තමා නොබෙල් ත්‍යාගලාභියකුට නම් කිට්ටු ය කියා. බුදුදහම විද්‍යාත්මක කිරීමට යෑමේ එක් ප්‍රතිඵලයක් වී ඇත්තේ හාමදුරුවන්ට තිබූ ගෞරවය හීන වීමයි. ඒ ගැන පසුවට.