Main Logo

Thursday 10 November 2022

පඬි නැට්ටන්ගේ ආගම

 පඬි නැට්ටන්ගේ ආගම

 

බටහිර දැනුම මෙරට ප්‍රධාන (එකම) දැනුම් පද්ධතිය බවට පත්කිරීමට කරූණු කිහිපයක් ඉවහල් වුණා. අපට පස්වැනි සියවසෙන් පසු බුද්ධිමය සම්ප්‍රදායක් තිබුණේ නැහැ. නුවර යුගයේදීත් ඒ බව පෙනී ගියා. කෝට්ටේ යුගයේ අනුකාරක සාහිත්‍යයක් ගොඩ නැගුනේ. අදත් එලෙසමයි. අපට යම් සැකිල්ලක්වත් තිබුණ නම් ඒ භික්‍ෂූන් වහන්සේ අතර. එහෙත් එය පස්වැනි සියවසෙන් පසුව වර්ධනය වුණේ නැහැ. ඕල්කට්තුමා තිබුණු භික්‍ෂු නායකත්වය නැති කිරීමට කටයුතු කළා. බටහිර දැනුම තාක්‍ෂණය මත පදනම් නූණත් තාක්‍ෂණයේ වර්ධනය බටහිර දැනුමේ වර්ධනයක් ලෙස ඒත්තු ගැන්නුවා. මා එඩිසන් ගැන කී දේ ඇතැමුන්ට වැටහී නැහැ. එඩිසනුත් ක්‍රිස්තියානි නූතනත්වයේ. ඒ නිසා ක්‍රිස්තියානි නූතනත්වය ඔහුගේ හා වෙනත් එවැන්නන්ගේ නිර්මාණ යොදා ගන්නවා බටහිර විද්‍යාවේ නැති මහිමයක් පෙන්වීමට.

 

බටහිර විද්‍යාවේ කරන්නේ අනෙක් හැම තැනක ම වගේ කතන්දර ගෙතීමක්. ඒ කතන්දරවලින් දහදාහෙන් එකක් විතර හරියනවා. අයින්ස්ටයින් ගොතපු කතන්දර කීයක් වැඩ කෙළේ නැද්ද? පසු කාලයක දි ඔහු සියල්ලටම හරියන ක්‍ෂෙත්‍ර කතාවක් (unified field theory) ගොඩනගන්න හැදුවා. ඒ එකක්වත් සාර්ථක වුණෙ නැහැ. ඔහු ක්වොන්ටම් භෞතිකය ගැන කී දේ හරි ගියේ නැහැ. ඒත් අපට උගන්වන්නේ හරි ගිය ටික වැඩ කළ ටික පමණයි. අද අඳුරු ශක්තිය (dark energy) අඳුරු ද්‍රව්‍යය (dark matter) ආදිය ගැන කතාවක් හදාගන්න බැරූව බටහිර විද්‍යාඥයන් කෙඳිරි ගානවා. ඔවුන් ඊනියා පස්වැනි සාරයක් (quintessence) ගැන කියනවා. ඒ අර ආපෝ තේජෝ වායෝ පඨවිවලට අමතර ව. පස්වැනි සාරය ලතින් සම්භවයක් තියෙන්නෙ. එය අර හතරෙන් වෙන් කරල. අපේ පංච මහා භූතයන් ගැන අහන්න ඔවුන් කැමති නැහැ.

 

නිවුටන්ගේ ඊනියා ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය නැත්තන් කතාව යොදා ගෙන හඳට රොකට්ටුවක් යවන්න පුළුවන්. ඒත් කිසිම ග්‍රහවස්තුවක් නිවුටන් කී විධියට අචල ඉලිප්සයක ගමන් කරන්නෙ නැහැ. ඒක හරියට කියල දෙන්නෙ නැහැ. ඔය කතන්දර යම් සීමාවන්හි තරමක වැඩ කරනවා. එතැනින් එහාට වැඩ නැහැ. කතන්දරේ යොදා ගන්න පුළුවන් තැන් මොනව ද බැරි තැන් මොනව ද කියල පාසලේදී කියල දෙන්නෙ නැහැ. බොහෝ විට විශ්වවිද්‍යාලයේදීත් කියල දෙන්නෙ නැහැ.

 

පාසල් සිසුන් හැදෙන්නෙ බටහිර විද්‍යාව සත්‍යය කියන පරිසරයක. ඒ විද්‍යා කතා බොහො දෙනකුට දිරව ගන්න බැහැ. එහි වියුක්තබවක් තියෙන නිසා. ඔවුන් තමයි වැඩියෙන් ම බටහිර විද්‍යාවට වන්දනා මාන කරන්නෙ. බටහිර විද්‍යාවෙ  ඇති විශේෂයක් නැහැ. කතන්දර හදනවා හරි යනව නම් පිළිගන්නවා. වැඩ කරන්නෙ නැති නම් අහක දානවා. එයට අමතරව ඇරිස්ටෝටල්ගෙ න්‍යාය (logic) අනුව කටයුතු කරන බව පෙන්නනවා. ඒත් බොහෝ දෙනා තර්ක කරන්න දන්නෙ නැහැ. තර්ක නොකළ යුතු ආකාරය දැන ගන්න නම් සකර්බර්ග් අනාථාගාරයට යන්න.

 

අපට කියනවා බටහිර දැනුම හරි තර්කානුකුලයි කියල. ඊනියා හේතුවාදයක් ගැන කියනවා. ක්වොන්ටම් භෞතිකයෙ සම්භාවිතාවන් තේරුම් ගන්න බැරි වෙච්ච ඇතැම් බටහිර දාර්ශනිකයන් අහඹු කතා කියනවා. ක්වොන්ටම් භෞතිකයෙ අහඹුවක් නැහැ. එහි නිවුටෝනීය භෞතිකයෙ වගෙ යමක් නිශ්චිත ව කියන්න බැහැ. ඒ වෙනුවට සම්භාවිතාවන් ගැන කියනවා. බටහිරයන් අපට කියනවා තම දැනුම ආගමෙන් නිදහස් කියල. ඈරිස්ගෙ න්‍යාය මත ද පදනම් වෙන බටහිර දැනුම දෙවියන්වහන්සේගෙන් නිදහස් නැහැ. ඈරිස්ට ආරම්භයක් පටන් ගැනීමක් තියෙනවා. ඒ ආරම්භයේ සාධනය නොකළ ස්වසිද්ධි (axioms) තියෙනවා. ඒව සාධනය කරන්න නම් වෙනත් ස්වසිද්ධි ඕන. රේඛීය හේතුවාදී දැනුමකට ආරම්භයෙන් මිදෙන්න බැහැ. විශ්වවේදයේ මහා පිපිරුමක් (big bang) ගැන කියනවා. ඒක වුණෙ කොහොම ද? අර ඊනියා බහුවිශ්වවලින් ද?

 

බටහිර ජ්‍යාමිතියෙත් එහෙමයි. යුක්ලීඩිය ජ්‍යාමිතිය පටන් ගන්නෙ ස්වසිද්ධිවලින් හා නිර්වචනවලින්. නිර්වචනය කරන්න බැරි සංකල්ප තියෙනවා. වැඩිය ඕන නැහැ ලක්‍ෂය කියන සංකල්පය නිර්වචනය කරන්න. නිර්වචනය කරන්න බෑරි සංකල්පවලට ලොකු නමක් දාගෙන. අනිර්වාචිත භූතාර්ථ (undefined entities). ඒ් සංකල්පයි අර සාධනය නොකළ ස්වසිද්ධියි තමයි ආරම්භය නැත්තන් දෙවියන් වහන්සේ. පස්සෙ සාධනය නොකළ නිර්වචනය නොකළ සංකල්ප යොදාගෙන අර ප්‍රමේය සාධනය කරනවා. ඒත් අපට හොරේ කියන්නෙ නැහැ. බටහිර දැනුම ආගමෙන් නිදහස් නැහැ. එහි දෙවියන් වහන්සේ හැම තැන ම ඉන්නවා.

 

ඒත් අපට බටහිර දැනුම උගන්වන්නෙ තාර්කික හේතුවාදී පද්ධතියක් ලෙස. අපි බටහිර විද්‍යාව ඇතුළු දැනුම අදහනවා. ඒක තමයි  ඊනියා නිරාගාමිකයන්ගෙ ආගම. ඒ අතර බටහිරයන් අපට කියන්න එනවා ඔවුන්ගෙ දැනුම ආගමික නොවන බව. ඔවුන් කියන්නෙ ආගමික දැනුම් බොරු බව. සමහරු මෝඩ වෙනවා. ඔවුන් ආගම්වලට දොස් කියනවා. මා දන්නා හොඳම සංකල්පය තමයි නිර්ගුණ බ්‍රහ්මන් හා අද්වෛත බ්‍රහ්මන්. ඒ සංකරාචාර්යයන්ගෙ නිපෑයුමක්. සමස්තය ගැන ඊට වැඩියෙන් කියන්න බැහැ. පහුගිය දවස්වල කතා වුණු ඩේවිඩ් බෝම්ටත් මුල් වුණෙ ඒ අද්වෛතය. දෙකක් නැහැ ඇත්තෙ එකක් පමණයි යන්න.

 

දැන් කවුරු හරි අහන්න පුළුවන් මා හින්දු ද බෞද්ධ ද කියා. මා බෞද්ධ. නිවන කියන්නෙ දැනුමක් සංකල්පයක් නො වෙයි. බෞද්ධයන් අවසන් වශයෙන් හදන්නෙ සියලු සංකල්පවලින් දැනුම්වලින් බැහැර වෙන්න. අපි එසේ අත්හරින්න උත්සහ කරන විට හින්දුන් බ්‍රහ්මන් හා තමන් දෙකක් කියන එක වැරදි බව තේරුම් ගන්න උත්සාහ කරනවා. නිර්ගුණ බ්‍රහ්මන් නිවන වෙනුවට සංකරාචාර්යයන් ඇති කළ සංකල්පය. හින්දුන් හා බෞද්ධයන් අතර ඇත්තේ විශාල වෙනසක් වෙන්න පුළුවන්.

 

ඒත් එය නිර්ගුණ් සංකල්පයක් ද නැත් ද පුද්ගලයකු ද නැත් ද තැනක් ද නැත්ද යන්න අතර වෙනසක්. ඉපදීම නතර කරනවා ද අද්වෛත නිර්ගුණ් බ්‍රහ්මන් සමග එකතු වෙනවා ද යන්න අතර වෙනසක්. බ්‍රහ්මන් සමග එකතු වෙනවා කියන එක වැරදි කතාවක්. කියන්න ඕන අපත් බ්‍රහ්මනුත් එකක් බව තේරුම් ගැනීමයි. ඒ කොහොම වුණත් හින්දුන්ටත් බෞද්ධයන්ටත් අවශ්‍ය සැප විඳින්න නො වෙයි. අප අතර ඇති වෙනස අප හා බටහිරයන් අතර ඇති වෙනසත් එක්ක බැලුව ම පොඩි වෙනසක්. ඇතැම් බ්‍රාහ්මණයන් කේරළයේ උපන් සංකරාචාර්යයන් වෙස්වළාගත් බෞද්ධයකු ලෙස හැඳුන්නුවා. ඉංගිරිසින් දෙමළ ජාතිවාදයක් ඇති නොකරන්න හින්දුන්ට හා බෞද්ධයන්ට ගැටුමක් නැහැ.

 

අනෙක් අය නොදන්න දැනුමක් කොහෙන් හරි ලබා ගත් පමණින් පඬි නැට්ටන් තමන්ට වඩා දන්නා අය ලෝකයේ නැහැ කියා හිතනවා. මා නම් දන්නේ ඉතා ම ටිකයි. මා උගතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. පඬි නැට්ටන් හිතන්නෙ අනෙක් කිසිවකු තමුන් තරම් දන්නෙ නැහැ කියා. ඒ හීනමානයක්. ඔවුන් හිතන්නෙ පළමුව තමන් තම දෙමවුපියන්ට වඩා දන්නවා කියා. හාමුදූරුවන්ට වඩා දන්නවා කියා. සිංහල බෞද්ධයන් පට්ටපල් මෝඩයන් කියා. පින් පවු නැහැ කියා. පන්සිල් වැඩක් නැහැ කියා.  ඒත් මේ බොහෝ දෙනකු අනෙක් අයට එසේ කියද්දි තම තමන්ගෙ පවුල් හොඳින් හදාගෙන තියෙනවා.