Main Logo

Wednesday 23 November 2022

දෙවැනි පාණදුරා වාදයක් අවශ්‍ය ද?

භික්‍ෂූන් වහන්සේට අපහාස කිරීම  - දෙවැනි පාණදුරා වාදයක් අවශ්‍ය ?

 

අද පක්‍ෂයකට ගොනු වෙලා නැති වමාලට තමන්ගෙ කියල විකල්පයක් නැහැ. වමක් නැති නිසා. ඔවුන් කරන්නෙ එක්කො ජෙප්පන්ට හරි සෙප්පන්ට හරි ආධාර කරන එක.  එහෙමත් නැත්තන් දෙකේ ඊනියා සමගියක් ගැන කතා කරන එක. මොකක් කළත් වැඩක් නැහැ. ඒකට හේතුව ජෙප්පන්ටත් සෙප්පන්ටත් විකල්පයක් නැති වීම. වමක් නැති වීම. ඔවුන් කිසි දා බලයට එන පිරිසක් නොා වෙයි. ඔවුන් බැරි වෙලාවත් එකතු වුණත් අර 3%වත් ලැබෙන්නෙ නැහැ.

 

මෙහි ඇති  මූලික කතාව ට්‍රොට්ස්කිවාදී සම්භවයක් ඇති අයට චීන සම්භවයක් ඇති පක්‍ෂවලට ආධාර කිරීමට සිදු වීමයි. මට වෙලාවකට හිතෙනවා ට්‍රොට්ස්කි තමා රවටා ගත් අයකු කියා. මා ඔහු අවස්ථාවාදියකු යැයි කියන්නෙ නැහැ. එහෙත් මාක්ස්වාදයට අනුව රුසියවේ විප්ලවය ඇති වීමට කිසි ඉඩක් නැති වෙලාවක යුක්‍රේනයේ ඔඩෙස්සා ප්‍රදේශයෙහි හැදුණු වැඩුණු ට්‍රොට්ස්කි ලෙනින්ගේ රුසියන් ජාතික චින්තනය පිළිගෙන එය මාක්ස්වාදී සෝබන කතා මගින් යුක්ති යුක්ත කළා. එක් අතකින් ඔහු කාල් පොපර් මාක්ස්වාදය විද්‍යාත්මක නො වේ යැයි කීම සැබෑ කළා. පොපර් කීවේ මාක්ස්වාදය බොරු කරන්න බැරි එකක් කියා. පඬි නැට්ටකු හිතන්න පුළුවන් බොරු කරන්න බැරි නම් ඇත්ත කියා. නැහැ පොපර් කීවේ බොරු කරන්න බැරි නම් විද්‍යාවක් නො වේ කියා. ට්‍රොට්ස්කි කතා හදා ලෙනින්ගෙ විප්ලවය මාක්ස්වාදී විප්ලවයක් බව පෙන්වීමට උත්සාහ කළා. එහෙත් ලෙනින් කළ මාක්ස්වාදී විප්ලවයක් නැහැ.

 

මාක්ස්වාදී විප්ලවයක් ලොව කොහේවත් සිදු වෙලත් නැහැ. සිදු වෙන්නෙත් නැහැ. අද දියුණු ධනපති රට ලෙස සැලකෙන එක්සත් ජනපදවල ඊනියා කම්කරු පංතියක්වත් විප්ලවවාදී පක්‍ෂයක්වත් දකින්නට නැහැ. අද ඉන්න මාක්ස්වාදීන්ට ට්‍රොට්ස්කි කළාක් මෙන් හිත සනසගන්න කතා ටිකක් ගොතා ගන්නවත් බැහැ. මා කියන්නෙ ලංකාවෙ අනුකාරකයන් ගැන නො වෙයි. අනෙක් රටවල මාක්ස්වාදීන් ගැනයි. ඉස්සර නව සමසමාජ පක්‍ෂෙ ඉන්න කාලෙ අපිත් ග්‍රම්ස්චි කියෙවුව. අද ඉතාලියෙ මොක වෙන්නෙ කියල ග්‍රම්ස්චිගෙ කතාවලින් තේරුම් ගන්න පූළුවන් ? ග්‍රම්ස්චි ට්‍රොට්ස්කිවාදියකු නොවූ බවත් සඳහන් කරන්න ඕන.

 

මෙරට වමාලාට තියෙන ප්‍රශ්නය අද ලෝකයේ අඩු තරමින් ට්‍රොට්ස්කි කෙනකුවත් නැති කම. මෙරට පැරණි වම කඩා වැටීමත් සමග ට්‍රොට්ස්කිවාදී සම්භවයක් ඇතියවූන් ෆූකෝ සිට ඩෙරීඩා දක්වා දාර්ශනිකයන් පසුපස දුවන්න පටන් ගත්තා. මා ඩෙරීඩා කියවල නැහැ. ඒත් ෆූකෝ නම් කියවල තියෙනවා. ප්‍රංශයේ මොකද වෙන්නෙ.

 

ඉස්සර තරුණ කාලෙ ශිෂ්‍යයන් හැටියට  අපි කියනවා විප්ලවය දැන් ළඟ එනව කියල. Revolution is round the corner කියල තමයි කිවුවෙ.  අපේ සමහරු ඒත් කිවුව විප්ලවය තුන්මුල්ල වට රවුමෙ කියල. මා හිතන්නෙ විප්ලවය ලිප්ටන් වටරවුමට ගිහින් කියල. සමහර විට දැන් එතනත් නැතුව ඇති. ආතල්ගමෙත් නැති එක ඔය රවුම්වල තියෙයියැ.

 

ට්‍රොට්ස්කිවාදී සම්භවයක් ඇති වමාලා දැන් ඉතින් අන්තිම සටනට සැරසෙන්න හදන්නෙ. ඔවුන් මාක්ස් අනුව ලංකාවේ ධනේශ්වර දියුණුව ඉස්සෙල්ල අත්කර ගන්න  කතාව. ධනේශ්වරය මෝරන්න එපායෑ කම්කරු පංතියට විප්ලවේ කරන්න. නිසා ඔවුන් ලංකාවෙ තාර්කික සමාජයක් ගොඩනගන්න භෞතිකවාදයට දොර අරින්න වගේ ව්‍යාපෘති ගණනාවක යෙදෙනවා. හැබැයි ධනපති දියුණුවක් ලබන්න ධනපතියන් ඉන්න ඕන. ප්‍රශ්නය අදානිලගෙ මට්ටමේ ධනපතියන් ලංකාවෙ නැති කම. විප්ලවයේ නාමයෙන් අදානිට එන්න දෙමු ? ඒකත් ඔවුන්ට ප්‍රශ්නයක්.

 

එතකොට අර තාර්කික සමාජය. ඒකත් කරන්න බැහැ. තාර්කික සමාජ සියල්ල ආගමිකයි. නිරාගමිකයො කොහොමද තාර්කික සමාජ ගොඩ නගන්නෙ. මෙතන කාරණා දෙකක් තියෙනවා. එකක් තාර්කික සමාජයක් ගැන තියෙන විශ්වාසය. විශ්වාසය නිසා නොවැ තාර්කික සමාජ හදන්න උත්සාහ ගන්නෙ. අනෙක ඊටත් වඩා භයානකයි. තර්කය හැම විට ස්වසිද්ධි, අනිර්වාචිත සංකල්ප හා අනුමිති නීති විශ්වාස කරනවා. ඔය එක දාර්ශනිකයකුටවත් පුළුවන් ස්වසිද්ධියක් තාර්කික සාධනය කරන්න. ඔවුන්ගෙ බටහිර ඉන්න ගුරාලටවත් පුළුවන් ? අර වියුක්ත අනුමිති නීති (inference rules) සාධනය කරන්න පුළුවන් ? මා පොඩි දෙයක් කියන්නම් A=B හා B=C නම් A=C බව සාධනය කරන්න. මා කලිනුත් කීප වතාවක් කියල තියෙනවා. ගුරාට විද්‍යුුත් ලිපියක් යවන්න.  ඕව මේ සංයුක්ත අවස්ථා වියුක්තකරණයට ලක් කරල හදාගත්ත නීිති. එතැන අපෝහනයක්වත් අනුමිතියක්වත් (deduction) නැහැ. ඇත්තෙ උද්ගමනය නැත්නම් අභ්‍යුහනය (induction).          

 

වමාලා තප්පුලන අතර පසුගිය දශක දෙකක පමණ කාලයක ජාතික ව්‍යාපාරය දිනාගත්ත දේ බොහොමයක් තියෙනවා. ඒක කාගෙ ව්‍යාපෘතියක කොටසක් වුණත් ජයග්‍රහණ. රනිල් පරද්දල මහින්ද ජනාධිපති වුණා. පරාද කරන්න බැරි යැයි කී දෙමළ ත්‍රස්තවාදය නන්දිකඩාල් කලපුවෙ ගිල්ලෙවුවෙ වමාල කර කියා ගන්න දෙයක් නැතුව තප්පුලද්දි. සිංහලයන්ගෙ පමණක් ඡන්දවලිින් ගෝඨාභය ජනාධිපති කෙරෙවුවා. එකක්වත් ජාතික ව්‍යාපාරය දිනා ගත්තෙ දේශපාලනඥයන් නිසා නො වෙයි. ජාතික ව්‍යාපාරයට දේශපාලනඥයන් යම් ප්‍රමාණයකට මෙහෙයවන්න පුළුවන් වුණා. සියල්ලට ශක්තිය ලබා දුන් ජාතික මතවාදයක් අද රටේ තියෙනවා. එය පරාජය කරන්න අනුකාරකයන්ට බැහැ.

 

එහෙත් අද වන විට බටහිරයන් සැලසුම් සහගත රාජපක්‍ෂලා ඉවත් කරල තියෙනවා. ඔවුන්ට සිංහල බෞද්ධ සංස්කෘතික ජයග්‍රහණ ඉවසන්න බැරි නිසා. එහෙත් ජාතික ව්‍යාපාරය කියන්නෙ එය විසින් යම් ප්‍රමාණයකට මෙහෙය වන ලද දේශපාලනඥයන් නො වෙයි. ජාතික ව්‍යාපාරය වෙනත් දේශපාලනඥයන් ඉක්මණින් හොයා ගනු ඇති. මේ දේශපාලනඥයන් ජාතික මතවාදයකට එනව නම් ජාතික වෘාපාරය ඔවුන් ප්‍රතික්‍ෂෙප කරන්නෙ නැහැ. අද රනිල් නම් සූදනම් වෙන්නෙ ජාතිකත්වයකට එන්න නො වෙයි. ඔහු කංසා වවන්න සූදානම් වන්නෙ හොඳකට නො වෙයි. ඔහු ඩොලර් පෙන්නල බටහිරයන්ගෙ අවශ්‍යතා සපුරාලන්න හදනවා.

 

අද  පඬි නැට්ටන් බුදුසසුනට සංඝයා වහන්සේට අපහාස කරන්නෙ දෙවැනි පාණදුරා වාදයක් ඉල්ලමින්. බටහිරයන් තම අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන්න පිරිසක් හදා ගෙන තියෙන්නෙ අධ්‍යාපනයෙන් ජනමාධ්‍යයෙන් හා සංස්කෘතික අධිරාජ්‍යවාදයෙන්. සංස්කෘතික අධිරාජ්‍යවාදයෙ නියෝජිතයන් තමයි ඊනියා සංස්කෘතික පොලීසියක් ගැන කියවන්නෙ. දෙවැනි පාණදුරා වාදය පඬි නැට්ටන් සමග නො වෙයි. ඔවුන් සමග කරන්න වාදයක් නැහැ. ඔවුන් තප්පුලනවා පමණයි. මෙවර අපි ඕල්කට්තුමන්ලට ඉඩ දෙන්නෙ නැහැ.