සකල කලා වල්ලභයෝ
පරගලයෙන් පෙන්නුම් කෙරුණේ මෙටාව (මුහුණු පොත) මගින් ඊනියා උගත් පිරිසක් මෙහෙයවිය හැකි ආකාරයයි. මේ උගතුන්ගෙ න්‍යායාචාර්යයන් විවිධ කරුණු නිසා හීනමානයෙන් පිරි අය. ඔවුන් තමන් ලබා ඇති බටහිර අධ්‍යාපනය නිසා හිස උදුම්මාගත් පිරිසක් ද වුණා. ඔවුන් තම දෙමවුපියන් මෝඩයන් ලෙස සලකන තමන් දෙමවුපියන්ට වඩා දන්නවා යැයි සිතන දෙමවුපියන් ගැන ලජ්ජා වෙන දැනුම සංස්කෘතිය ආදී සියල්ල ඇත්තේ බටහිර පමණ යැයි සිතන අප බටහිර ඊනියා දියුණුව ළඟා කර ගත යුතු යැයි සිතන සිංහලයන්ට ඇපල් කන්න වැසිකිළි පාවිච්චි කරන්න ඉගැන්විය යුතු යැයි සිතන කාගේ හරි බටහිර විදග්ධයකුගේ කතා ලංකාවට හඳුන්වා දිය යුතු යැයි සිතන සෑම දෙයක් ම ගැඹුරින් හැදෑරිය යුතු ය කියමින් උඩින් පල්ලෙන් පමණක් කරුණු ඇහිඳ ගන්නා ඔළුව බටහිරට හරවා නිදන පිරිසක්. බටහිරයන්ට එක් ට්විටර් පණිවුඩයකින් ඔවුන් මෙහෙයවන්න පුළුවන්.
අදත්
ආර්ථික අර්බුදයට හේතුව රාජපක්‍ෂලා හොරා කෑම යැයි කියන පිරිස් ලංකාවේ ඉන්නවා. එක් අතකින් එයින් තම වරද වෙනෙකෙකු පැටවීමට ඉන් අවස්ථාව සැලසෙනවා. ආර්ථික අර්බුදය අවුරුදු හැත්තෑපහක මධ්‍යම පාංතික ආකල්ප නිසා ඇති වූවක් බව මධ්‍යම පාංතික ආකල්ප ඇති ඔවුන් සම්ම ජාතියේ පිළිගන්න එකක් නැහැ. සියල්ල රාජපක්‍ෂලා පිට පැටවීම ලෙහෙසි කරුණක්. අප එසේ කියන විට ඔවුන් දන්නේ අප රාජපක්‍ෂලාට කඩේ යන බව කීමටත් රාජපක්‍ෂලාගේ රෙදි හෝදන බව කීමටත් පමණයි. සමහර විට කියන්න පුළුවන් මට තානාපති කමක් ලැබුණෙ කඩේ ගිය නිසා කියලා. ඒත් රාජපක්‍ෂලා අපට සවන් දුන්නේ නැහැ. ජාතික දැනුමක් ගැන විශ්වාසය තැබුවේ නැහැ. ඔවුන්ගේ යම් ජාතිකත්වයක් තිබුණා. අඩු තරමෙන් ජාතිකත්වයට හිස නැමුවා. රනිල් හරි සජිත් හරි රනිල්දාස හරි වගේ නො වෙයි.
රාජපක්‍ෂලා 13ට එහා යන්න ඉන්දියාවට පොරොන්දු වුණා. ඒ හරියට ම නන්දිකඩාල් ජයග්‍රහණය දා. එදා අත්සන් කෙරුණු ට්‍රොයිකා ගිවිසුම ගැන මා කිහිප වාරයක් සඳහන් කර ඇති. එහෙත් ඔවුන් ජාතිකත්වයට හිස නමමින් ඒ ගිවිසුම ක්‍රියාත්මක කෙළේ නැහැ. රාජපක්‍ෂලා චන්ද්‍රිකාගෙන්
ද ප්‍රේමදාසගෙන් ද රනිල්ගෙන් ද සජිත්ගෙන් ද රනිල්දාසගෙන් ද වෙනස් වන්නේ එලෙසින්. අප කඩේ යන්නේ ජාතිය වෙනුවෙන් පමණයි. රාජපක්‍ෂලා හා අනෙක් අය අතර ඇති ඒ වෙනස නිසා තමයි බටහිරයන්ට ඔවුන් පන්නා දැමීමට අවශ්‍ය වුණෙ. දැන් හොරකම් කිරීමට රාජපක්‍ෂලා නැති හෙයින් අපේ ඩොලර් සංචිතය බලන් හිටිය දී ඉහළ යනවා!
මෙරට
වමක් නැති වුණාට වාමාංශික අදහස් පැතිරිලා තියෙනවා. විශ්වවිද්‍යාලවල
හැරුණු කොට ඊනියා උගත් සමාජයේ මාක්ස්වාදියකු වීම සමාජවාදියකු වීම අගය කෙරෙනවා. අද සිනමාවේ නාට්‍යයේ සාහිත්‍යයේ ආධිපත්‍යය දරන්නේ වමාලා. එසේ නොවන අය ධනවාදීන් ලිබරලුන් පසුගාමින් ජාතිවාදීන් ආගම්වාදීන් ලෙස නම් කර ඊනියා උගත් සමාජයෙන් කොන් කෙරෙනවා. විශ්වවිද්‍යාලවල තරමක් වෙනස්. එහි ආචාර්යවරුන් අතර වමාලා ද ලිබරලුන් ද ඉන්නවා. අනෙක් අය පිටමං කරනවා. එහෙත් බටහිර විශ්වවිිද්‍යාලයක
ඉගෙන ගැනීම පිටමං කළත් සැලකිය යුතු පුද්ගලයකු ලෙස පිළිගැනීමට හේතු වෙනවා. මේ සම්බන්ධයෙන් මට පෞද්ගලික වශයෙන් බොහෝ දේ කියන්න පුළුවන්.
අපි
පළමුවෙන් ඉතා මෑතක දි පඬි නැට්ටකු තැබූ සටහනක් අරගනිමු. ඔහු කියා තිබුණේ මා කියන දේ ඇතැම් ජාතිවාදියකු කියන දේ මෙන් ඉවත නොදැමිය යුතු ය කියා. එයට හේතුව මා බටහිර විශ්වවිද්‍යාලයක
ඉගෙන බටහිර ආචාර්ය මහාචාර්ය ආදීන් ඇසුරු කර තිබීම. මා සුචරිත ගම්ලත් වැන්නන් මෙන් වෙනස් අදහසක් කියන අයකු ලෙස සඳහන් කිරීමෙන් ඇති වන වේදනාව ඒ ප්‍රකාශයෙන් ද ඇති වෙනවා. ගම්ලත් තමන්ගෙ අදහසක් කී අයකු නො වෙයි. ඔහුත් වෙනත් අය මෙන් ම බටහිර අදහස් ගොන්නක්, එහෙත් අනෙක් අය අවධාරණය නොකරන අදහස් ගොන්නක්, මෙරට සිංහල පාඨකයන්ට හඳුන්වා දුන්නා පමණයි. මා බටහිර විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්තත් මා ඔවුන්ගේ අදහස් මෙරටට ගෙන එන්නකු නො වෙයි. මා ථෙරවාද බෞද්ධයකු පමණයි. මා බටහිර විිද්‍යාව පට්ටපල් බොරුවක් යැයි කියන්නෙත් බෞද්ධයකු ලෙස. සියල්ල මායාවක් ලෙස ගනිමින්. මනස ද මායාවක්. චිත්ත පරම්පරාවකට මනස කියා කියනවා. සිංහල බෞද්ධ මනස ලිපිය කියවන්න. එය තවත් වර්ධනය කරන්න පුළුවන්. බෞද්ධයන් විඥානවාදීන්වත්
භෞතිකවාදීන්වත් නොවෙයි. පටිච්චසමුප්පවාදීන්.
අවුරුදු හතළිහකට පමණ ඉහත මා මාක්ස්වාදියකු ලෙස සිටිය දී මා ද උගතකු ලෙස සැලකුණා. බටහිර විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් තිබීම විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකු වීම ඊනියා විද්‍යාඥයකු වීම උගතකු වීම සඳහා ප්‍රමාණවත් නිර්ණායක වුණා. එකල නාට්‍යකරුවන් සිනමාකරුවන් තම නිර්මාණවල මංගල දර්ශන සඳහා මට ආරාධනය කළා. එහෙත් මා ජාතිකවාදියකු වූ විගස මගේ උගත්කම නැති වුණා. ඉන් පසු මට ආරාධනා ලැබී ඇත්තේ තුනයි. එකක් මහරජ ගැමුණු සඳහා. ජයන්ත චන්ද්‍රසිරිගෙන්. එහෙත් ඔහු ඝරසර්ප සඳහා ආරාධනා කෙළේ නැහැ. මා ඒ ගැන ලියූ විචාරය පවා ඔහු ගණන් ගත්තේ නැහැ.
උදයසිරි වික්‍රමරත්න පවා ආරාධනය කෙළේ එක ම එක නාට්‍යයක් සඳහා පමණයි. මට ආරාධනා කිරීමෙන් කලා ලෝකයේ ඔහුට ඇති තැන නැති වෙන බව ඔහු දන්නවා. තිස්ස අබේසේකර විරාගය සඳහා මට ආරාධනය කර තිබුණා. ඔහු ගුණදාස අමරසේකර හා රංග වික්‍රමසිංහ සමග පැවැත්වූ සම්බන්ධය එයට හේතුවන්න ඇති. තිස්ස එකල හිතන් ඉන්න ඇති මා ගුණදාස අමරසේකරගේ අනුගාමිකයකු කියා.
ජාතිකවාදියකු වීමෙන් උගත් සමාජයෙන් කොන් කරනු ලැබූ මා ආසනික් කතාවත් සමග මුළුමනින් ම පිටමං කෙරුණා. පඬි නැට්ටන් අනුගමනය කරන්නන් මා විහිඵ කාරයකු නාකියකු පිස්සකු වයර් මාරූ වූ අයකු ට්‍රැක් පැනපු අයකු ලෙස හැඳින්නුවා. පඬි නැට්ටන් එයට අනුබල දුන්නා. තව විස්තර පසුවට.