Main Logo

Wednesday 30 November 2022

පරගලය පරගලයෝ හා රනිල්

 පරගලය පරගලයෝ හා රනිල්

 

පරගලය සිංහල බෞද්ධ ගොවිගම විරෝධී ක්‍රියාවලියක්. පරගලයන් කිවුවේ ක්‍රමය (සිස්ටම් - මොවුන් සිංහලට වඩා ඉංගිරිසි දන්නවා. ඔවුන් සිංහලෙන් කතා කළත් ඉංගිරිසි වචන විශාල ප්‍රමාණයක් යොදා ගන්නවා) වෙනස් කරන්න ඕන කියා. එහෙත් කිසිවකු ගෝඨාභය ගෙදර යවා ජනාධිපති කරන්නේ කවුරුන් දැයි නොදැන සිටියාක් මෙන් වෙනස් කරන ක්‍රමය මොකක් ඇති කරන ක්‍රමය මොකක් කියන එකත් දැන සිටියේ නැහැ. එය දැන සිටියේ බටහිරයන්.

 

බටහිරයන්ට අවශ්‍ය වූයේ රනිල් ජනාධිපති කරන්න. සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නෑති කිරීම. දෙමළ හින්දු සංස්කෘතියට සම තැනක් දෙන්න නොවෙයි. ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය තහවුරු කරන්න. රනිල් එයට සුදුසු පුද්ගලයා. ඔහු සිංහල බෞද්ධ සංස්කෘතිය දන්නේ පොතපතින් පමණයි. සිංහල බෞද්ධ සංස්කෘතියේ අද අධිකාරිය දරන්නේ ගොවිගම කුලයයි. නිසා ඇතැම් කුලවල අයට අසාධාරණයක්  වෙනවා. එහෙත් එය නැති කර ගත හැක්කේ සුද්දා සරණං ගච්ඡාමි කියා නො වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතිය ඉංගිරිසින්ගේ පැත්තේ සිට හෙළා දකිමින් නො වෙයි. ඇතැමුන් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ වන්නේ මා නිසා. මා ගොවිගමවත් නො වෙයි. මා සිංහල බෞද්ධ සංස්කෘතිය විවේචනය කරන්නේ ඇතුළෙන්. මා ඉතිහාසය දකින්නෙත් හුදෙක් මහාවංසයේ ඇහෙන් නො වෙයි. ඇතැම් ජාතිකවාදීන් එයට කැමති නැහැ.

 

පරගලයන්ට අවශ්‍ය වුණෙත් තමන්ට ඇති වන මදි පුංචිකම් නිසා සිංහල බෞද්ධ සංස්කෘතියට වින කරන්න. දැන් ලෝකයේ කොහේවත් ධනවාදයට විරුද්ධ සටනක් නැහැ. චීනයත් එක්තරා විධියක ධනවදී මාවතකට සේන්දු වෙලා මධ්‍යම පංතියක් ඇති කර ගෙන ප්‍රශ්නවලට මුහුණ දෙනවා. කම්කරුවන් කරන වැඩ වර්ජන නම් ඇමරිකාවෙත් තියෙනවා. ඒත් ඒවා ඊනියා කම්කරු පංති සටන් නො වෙයි. පරගලයන් ධනපති විරෝධී සටන අත්හැර සිංහල බෞද්ධ ගොවිගම විරෝධී සටනකට අවතීර්ණ වෙලා. ඔවුන් කලක සිට සංස්කෘතිය දැනුම මේ කොයි එකත් ලංඩනයෙන් බලා පොරොත්තු වෙනවා. ඒක තමයි ඊනියා පශ්චාත්නූතනවාදය. හොඳකට තියෙන්නෙ පශ්චාත්නූතනත්වය නූතනත්වයට කලින් මිය යෑම. එයින් කියන්නේ නූතනත්වය හොඳය කියන එක නොවෙයි.

 

ගෝඨාභය යවල කවුරු ගෙන්නුවත් කමක් නැහැ වගේ තමයි පරගලයන් හිතුවෙ. ගෝඨාභය සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියකු වෙන්න ගිහින් සිය දිවිය පමණක් නොව මහින්දගේ දිවිය නැසුවා. රනිල් අගමැති වීම සම්බන්ධයෙන් මැයි දහතුන්වැනි ලියූ ලිපියෙන් කොටස් මෙහි උපුටා දක්වනවා. ලිපියත් අගෝස්තු පස්වැනි දා පළවූ ලිපියත් උඩ අමුණා තියෙනවා. අවශ්‍ය කෙනකුට කියවා ගන්න පුළුවන්. එය උඩින් පල්ලෙන් කියවන්නන්ට ඕන එකක් හිතා ගන්න පුළුවන්.

 

රනිල් බලයට ගෙන ඒම බටහිරයන් සැලසුම් කෙළේ කාලයක සිට. බටහිරයන්ට ඕන රනිල් ප්‍රමුඛ ආණ්ඩු. දින පනස්දෙකේ ආණ්ඩුව කඩා දැමීමට රනිල් මංගල මෙන් ජනමාධ්‍ය හිමියකුත් එකතු වුණා. එහි දී බටහිරයන්ගේ නොමඳ සහාය ඔවුන්ට ලැබුණා. වි පෙ එහි දී කෙළේ අර පිරිස සකස් කළ විශ්වාසභංගය පාර්ලිමේන්තු ලේකම්ට භාර දීමට මීටර් සීය දිවීම පමණයි. කොහොම වුණත් දින පනස්දෙකේ ආණ්ඩුව කඩා වැටුණු පසු බටහිර තානාපතිවරු පාර්ලිමේන්තුවේ අත්පොළොසන් දුන්නා. සියල්ලෙන් පසුවත් 2019 දී ජාතික බලවේග සියලු විජාතික බලවේග පරදවා ජයගත්තා. සිංහල ඡන්දවලින් පමණක් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වුණා. එදා ඉඳන් විජාතික බලවේග වෙන් වෙන් නමුත් එකට රාජපක්‍ෂවරු ගෙදර යැවීමට කටයුතු කළා.”               

 

ආර්ථික අර්බුදය තමන්ගෙ ජීවන රටාවට ප්‍රශ්න එල්ල වන විට අර්බුදය ඇති කළ මධ්‍යම පංතිය විරුද්ධ නැගිට්ටා. එය කෙටියෙන් කියනවා නම් පාදඩ වැඩක්. ඔවුන ආතල්ගම පදිංචියට ගියා. මධ්‍යම පංතියේ නැගිටීම මෙන් වෙනත් රාජපක්‍ෂ විරෝධි ව්‍යාපාර බටහිරයන්ගේ අනුග්‍රහකත්වයෙන් හා ආශිර්වාදයෙන් සිදු වූ දේ. ආණ්ඩුව ආර්ථික අර්බුදයට හේතු පැහැදිලි කෙළේ නැහැ. හේතුකොටගෙන අර හොරකම් නිසා අර්බුදය ඇති වීය යන මතයට ප්‍රචාරයක් ලැබුණා. ජඩමාධ්‍ය ආණ්ඩුව ප්‍රශ්නයට සංවේදී නැතැයි පුන පුනා කිවුවා.”

 

ආතල්ගම හරහා නොයෙකුත් ව්‍යාපාර ඇති වුණා. එයට කෑම බීම ඉඳුම් හිටුම් සැපයුවන් සිටියා. අතර මුදල් ප්‍රශ්නත් ඇති වුණා. ඊනියා අරගලය මුදල් ගලනයක් වුණා. ආතල්ගම නිසා ප්‍රචණ්ඩත්වයක් රටේ ඇති වුණා. ආණ්ඩුව ආතල්ගමට විරුද්ධව කිසි පියවරක් ගත්තේ නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියෙක් වුණා. ආතල්ගම පිටුපසින් සිටි සියළු විජාතික බලවේගවලට අවශ්‍ය වුණෙ ගෝඨාභය ගෙදර යවන්න. සමග ආණ්ඩුව වට්ටන්න. එය ලංකා වසන්තයක් කිරීමට බටහිරයන්ට අවශ්‍ය වුණා.”

 

ජෙප්පන්ගේ හා සෙප්පන්ගේ සන්නාමය දිය ගොඩ හැම තැන දකින්න ලැබුණා. කාගේ වැඩක් දැයි මා දන්නේ නැහැ. මා කියන්නේ සන්නාමය දකින්න ලැබුණු බව. මේ සියල්ල ගැන විමර්ෂණ අවශ්‍යයයි. ඊනියා හර්තාලයෙන් කඩ වැහුණා. වෘත්තීය සමිති අඛණ්ඩ හර්තාලයකට අත වැනුවා. සකර්බර්ග් විප්ලවවාදීුන් මෝඩ චූන් ගත්තා. වැඩ කාගෙ වුණත් අවසානයේදි වුණෙ මහින්ද ගෙදර යැවීමට අවශ්‍ය වූ අයගේ වුවමනාවයි.

ආණ්ඩුව විසුරවුණා. අගමැති කමට පොරයක් තිබුණා. ඕමල්පේ හිමියන් පැහැදිලිව චම්පක වෙනුවෙන් පෙනී සිටිනවා. කාදිනල්තුමාත් සමග ඉන්න බව පේනෙවා. “

 

රනිල් අගමැති කිරීමට තමයි මේ සියල්ල කෙරුණෙ. එය පිටුපස ඉන්නෙ එංගලන්තය. එය කුමනත්‍රණයක් නොවෙයි. සැලැස්මක්. විජාතික බලව්ගවලට අවශ්‍ය එයයි . අගමැති ජනපති වෙන්න හිටපු චම්පකට අනුරට සෙප්පන්ට දැන් කරන්න දෙයක් කල්පනා කරගන්න වෙලා. අය වෙන්ඩ අහව වෘත්තීය සමතිවලට අන්තරේට තබා පක්‍ෂවලටවත් මේ වෙලාවෙ කරන්න දෙයක් නැහැ. සකර්බර්ග් පඬි නැට්ටන් අන්තිම සටනත් කරලා. ඒත් විප්ලවය නැහැ.

ඒත් ගැටුමක් තියෙනවා. ජාතික හා විජාතික කඳවුරු අතර. මාක්ස්වාදය මිශ්‍ර කරගත් ඊනියා ජාතික කඳවුර නන්නත්තාර වෙලා. රනිල් අගමැති වීම මා බලාපොරොත්තු නොවු දෙයක් නො වෙයි. එහෙත් එය මෙතරම් ඉක්මණින් සිදුවේය කියා මා හිතුවේ නැහැ. අපි ඔහු අපේ කඳවුරට පිළිගන්නවා. එහෙත් අපට තවත් අය සජබෙන් හරි එපාපෙන් හරි ඕන නැහැ.”

 

මා කියා ඇති දේ ඉතා පැහැදිලියි. රනිල් පිළිගත්තේ ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නො වෙයි. ඔහු අවස්ථාවේ ආණ්ඩුවට වැදගත් වුණේ පරගලය පරාජය කරන්න, සෙප්පන පරාජය කරන්න. ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියා කපන්න. ඩලස් අගමැති වුණා නම් තාමත් පරගලය ක්‍රියාත්මක වෙනවා. රනිල්ගේ කාර්යභාරය අවසන් වී ඇති බව අගෝස්තු පස්වැනි දා ලිපියෙන් කිවුවා. පඬි නැට්ටකු කියන්න පුළුවන් රනිල් අගමැතිවන තුරු මා බලාපොරොත්තුවෙන් හිටියා කියා! ඔවුන් බුද්ධිමතුන්.

 

මහා විද්‍යාඥයන් කොතරම් අකමැති වුණත් අපට ඇති හොඳ විකල්පය තමයි අනුරාධපුරයට ආපසු යැම. අර සුවාදීනයන් කිවුව වගේ බරකරත්තයෙන් නො වෙයි. ආකල්පමය වශයෙන්. සරල ප්‍රෞඪ ජීවිතයකට ආපසු යෑම. හැකි තාක් අඩුවෙන් තෙල් යොදා ගැනීම. අධිපරිභෝජනය නතර කිරීම. බොරු ෂෝක් නැති කිරීම. බොරු උගත්කමට තැනක් නො දීම. උසස් පෙළ සාමාර්ථ තුනෙන් හරි උපාධියේ ප්‍රථම පංතියෙන් හරි ආචාර්ය උපාධියෙන් හරි මිනිසුන් නොමැනීම. සමහරුන්ට නම් මහාචාර්ය උපාධිත් තියෙනවා!”

 

රනිල්ගේ කාර්යභාරය අවසන්. ඔහුට නියම වෙලා තිබුණෙ ගෝඨාභය ඉවත් කිරීම හා පරගලය අවසන් කිරීම පමණයි. ඔහුට ණය ගන්න පුළුවන් කියා සමහරු හිතන් හිටියා. ඊනියා ජාත්‍යන්තරය එක්ක කතා කරන්න දන්නෙ ඔහු පමණයි කියාත් සමහරු කිවුව. ඔය ඊනියා ජාත්‍යන්තරය කියන්නෙ බටහිර රටවලට හා ජපානයට. ඔහුට අද එතරම් ණයක් ගන්න බැහැ. ජාමූල ණය දෙන්නෙ එල්ලෙන්න වැළක් එක්ක. රනිල්ට රට සංවර්ධනය කරන්න වෙන්නෙ ජාමූල කියන විධියට. රනිල් කවදා වෙන කම් ජනාධිපති වෙලා ඉඳීවි කියල මට කියන්න බැහැ. ක්‍රමයට විකල්පයක් මහා විද්‍යාඥයන්ට නැතුව වගේ දැනට රනිල්ට විකල්පයකුත් නැහැ. රනිල්ට කරන්න පුළුවන් සංවර්ධනයකුත් නැහැ

 

රනිල්ට බටහිරයන් නියම කරල තිබුණෙ ගෝඨාභය ඉවත් කරන්න. ආණ්ඩුවට ඕන වුණෙ පරගලය පරාජය කරන්න. අප අනුරාධපුරයට යන්න ඕන. එහෙම නැතුව ආර්ථික අර්බුදය ජයගන්න බැහැ. පඬි නැට්ටන්ට ඒක පේන්නෙ බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යනව වගේ. ඔවුන් ඉහළ බුද්ධිමතුන්. රනිල්ට විකල්පයක් නැහැ කිවුවෙ ඊනියා විද්‍යාඥයන්ට. ගොඩ යන්න ගොඩ පීනන ආර්ථික වි්‍යාඥයන්ට. අපට නො වෙයි. ඔය ලිපිය ලියන්න ටික කලකට පෙර මා ලිවුවා  රනිල් අගමැති කමෙන් අස්කරන්න කියල. ගෝඨාභය ඒවට සවන් දුන්නෙ නැහැ. ඔහුට යන්න වුණා.

 

අපි හෙට පරාභව සූත්‍රය කියවමු.