Main Logo

Tuesday, 1 November 2022

මළවුන්ගේ අවුරුදු දා

 මළවුන්ගේ අවුරුදු දා

 

එදිරිවීර සරච්චන්ද්‍ර කලකට පෙර මළවුන්ගේ අවුරුදු දා කියා නවකතාවක් ලිවුවා. නවකතාවලින් ඊනියා ජීවිත යථාර්ථයක් නිරූපණය කරන්නේ නැහැ. නිරූපණය කරන්න ඊනියා යථාර්ථයක් කියා දෙයක් නැහැ. මළගිය ඇත්තො වගේ ම මළවුන්ගේ අවුරුදු දාත් තවත් කතා පමණයි. මා මෙහි කියන්නේත් තවත් කතාවක් පමණයි. එය ලූලා ද සිල්වාගෙන් බ්‍රසීලයේ සමාජවාදය බලාපොරොත්තු වෙනවා වගේ කිසි දා ඉටු නොවන කතාවක් නොවෙයි. ලූලාගෙ කතාව අර අටුවන් බැහැපු මාක්ස්වාදීන්ගෙ තවත් සුරංගනා කතාවක් පමණයි. ලූලා කලිනුත් බලයේ හිටියා.

 

මේ කතාව බටහිරයන්ගෙ සංස්කෘතිය පිළිබඳ කතාවක්. පැරණි බටහිර සංස්කෘතියෙ නොවැම්බර් පළමුවැනි දා කියන්නෙ අලුත් අවුරුද්දක ආරම්භය. අස්වැන්න කපා ගැනීමෙන් පසු ශීත කාලයට සූදානම් වීම. මෙය උතුරු යුරෝපයේ විශේෂයෙන් ම අයර්ලන්තයේ සෙල්ටික් ජනයාගේ අවුරුද්දක් කියා කියනවා. මෙය මළවුන් හා බැඳුණු එකක් ද වෙනවා. අවුරුදු දෙදහකට පෙර සෙල්ටික්වරුන් මේ අවුරුද්ද පවත්වල තියෙනවා.

 

මේ දිනවල බටහිර රටවල ගස්වල කොළ හැලෙන කාලය. සෑම දෙයක් ම මිය යමින් ඇත්තෙ. නොවැම්බරය ඔවුන්ට ග්‍රීෂ්ම කාලයෙන්  ශීත කාලයට මාරුවන මාසය. නොවැම්බරය මළවුන්ගෙ මාසය ලෙසත් කියැවෙනවා. ජීවමාන ලෝකය හා මළවුන්ගෙ ලෝකය වෙන් කිරීමක් ලෙසත් සැලකෙනවා. නොවැම්බර් පළමුවැනි දාට පෙර දින එනම් ඔක්තෝම්බර් තිස්එක්වැනි දා ඒ ලෝක දෙක අතර දැඩි වෙනස නැති වෙලා මළවුන් විවිධ ස්වරූපයෙන් ජීවමාන ලෝකයට එන බවත් සෙල්ටික් ජනයා විශ්වාස කර තියෙනවා. එදින ළමුන් විවිධ සතුන් භූතයන් වගේ සැරසී අර මළවුන් සිහි කිරීමක යෙදෙනවා. එහෙත් වර්තමානයෙහි එය උත්සවයක් ලෙසයි පැවැත්වෙන්නෙ.

 

මෙයට අද කියන්නෙ හැලොවීන් කියල. දකුණු කොරියාවෙත් ක්‍රිස්තියානි සංස්කෘතියක් තියෙන්නෙ. ඔවුන්ටත් හැලොවීන් තිබිලා. හැලොවීන් කියන වචනයේ අර්ථය ගැන විවිධ අර්ථකථන තියෙනවා. අර නොවැම්බරයේ මළවුන්ගේ ලෝකයට යෑමට පෙර සෑඳෑව ලෙස සමහරු එය විග්‍රහ කරනවා. එය පැරණි අයිරිෂ් වචනයක් වු Samhain (සොවෙන්) යන්නෙන් බිඳුණු එකක් කියාත් කියනවා. ඒ කොහොම වෙතත් මෙය මළවුන්ගේ අවුරුදු දා ලෙස හඳූන්වන්න පුළුවන්.

 

පැරණි සෙල්ටික්වරු නොවැම්බර් පළමුවැනි දා අවුරුද්ද පටන් ගැනීමට පෙර ලිප් නිවා දමා පසුව අවුරුද්දට ලිප ගිනි දැල්වීමක් කර තියෙනවා. ඔවුන්ගේ අස්වැන්න ලබා ගෙන ලිප ගිනි දැල්වීම සිහි කරන්නේ අපේ අලුත් අවුරුද්ද. අපේ අවුරුද්දේ යක්‍ෂ සම්භවයක් තියෙනවා ද? එහි මළවුන් පිදීමක් ආදි කාලයේ තිබුණ ද? මේ ශීත කාලයේ මගේ හිතට එන භූත සිතිවිලි වෙන්න පුළුවන්. 

 

මේ සෙල්ටික් චාරිත්‍රය රෝමානු කතෝලික සංස්කෘතියත් සමග මිශ්‍ර වී ඇති බව පැහැදිලියි. උතුරු යුරෝපය  රෝමන්වරුන් විසින් පාලනය කෙරුණු කාලයක් තිබුණා. යේසුස් වහන්සේ කොහේ උපන්නත් කතෝලික ආගම ඇතිවුණෙ රෝමයේ. බෙත්ලෙහෙමේ නත්තලට හිමේ රිය අදින පිනි මුවන් නැහැ. එහි ශීත කාලයක් නැහැ. තුන්වැනි සියවසේ දි රෝමානු සිරිත් විරිත් කතෝලික ආගමට රිංගා ගෙන තියෙනවා. අද ලෝකයේ තියෙන්නෙ යේසුස් වහන්සේගේ ක්‍රිස්තියානියකට වඩා රෝමකයන්ගෙ හා ලුතර්ලාගේ කතෝලික/ක්‍රිස්තියානි නිකාය. නොවැම්බරයේ මළවුන් සිහි කිරීමක් කතෝලිකයන් අතරත් තියෙනවා. සෙල්ටික් සංස්කෘතිය හා රෝමානු කතෝලික සංස්කෘතියේ මිශ්‍ර වීමක් මළවුන්ගේ අවුරුදු දා දකින්න පුළුවන්. අයර්ලන්ත වැසියන් ඉංගිරිසින් මෙන් නොව කතෝලික බව අත්හැරියේ නැහැ.

 

මේ දිනවල ශීත කාලයක් නැති වුණත් දකුණු අර්ධද්වීපයේත් හැලොවීන් තියෙනවා. සංස්කෘතික සිරිත් විරිත් රටින් රටට යෑමේ දී සෘතු ආදිය සමහරවිට බලපාන්නෙ නැහැ. මගධයේ වහින කාලයට ථෙරවාදී භික්‍ෂූන් වහන්සේ වස් වසනවා. උන්වහන්සේලා ඒ කාලයට ලංකාවේත් යුරෝපයේත් ඇමරිකාවේත් ඕස්ත්‍රේලියාවේත් නවසීලන්තයේත් අප්‍රිකාවේත් වැස්සත් නොවැස්සත් වස් වසනවා. සමහර විට වස්සාන කාලය අවසන් වී කඨීන පින්කම් පවත්වන්න වෙන්නෙ නා කපන වැස්සෙ. එවිට විසාකාවන් වැස්සෙ තෙම් තෙමී පෙරහරේ යනවා.  සංස්කෘතියේ කතාව එහෙමයි. අවශෝෂණය අනුකරණය ක්‍රියාත්මක වෙනවා. අප දැන් නම් දන්නෙ අනුකරණය පමණයි.

 

මළවුන්ගෙ කතාව වැදගත්. අපි මරණයට බයයි. අප මළවුන් ගැන කතා කරනවා. අපට අවශ්‍ය සදාකාලික ව ජීවත් වෙන්න. පඬි නැට්ටන් කියාවි තමන් එහෙම නැහැ කියල. මරණයෙන් සියල්ල කෙළවර වෙනවා කියලත් කියාවි. ඒ බව දන්නෙ ඔවුන් ඇවිදින මළ කඳන් හින්දද දන්නෙ නැහැ. ඒ කොයි හැටි වුණත් ආගම්වල කියල දෙන්න සදාකාලික සැප විඳින ක්‍රමයක්. ස්වර්ගයට ගිහින් හරි බ්‍රහ්මන් සමග එක් වෙලා හරි (බ්‍රහ්මන් හා තමන් යනුවෙන් දෙදෙනකු නැති බව අවබෝධ කර ගැනීමෙන් හරි) සදාකාලික ජීවනයක් තමයි බලාපොරොත්තු වෙන්නෙ.

 

බටහිර සංස්කෘතියෙ ඒ ස්වර්ග සම්පත් මිහිපිට විඳින්න දරණ උත්සාහයට දියුණුව කියා කියනවා. බටහිර ආර්ථිකය ස්වර්ගය සමග බැඳුණු එකක්. එය ආගමික සංකල්පයක්. ඊනියා නිරාගාමිකයනුත් ඒ ස්වර්ගය සමග බැඳුණු දියුණුව පසුපස යනවා. අපි එහෙම යන්න ගිහින් ලෝක අමාරුවක වැටිලා.

 

බෞද්ධයන්ට තේරෙන්නෙ නැහැ තමන්ට සුරසැප විඳීම අවශ්‍ය නැහැ කියල. ඒත් බණට කියන්නෙත් දිව්‍ය ලෝක සැප සම්පත් විඳ අවසානයේ දී උතුම් වූ නිවන් සම්පත් විඳින්න කියල. දැන් සම්පත් බැංකුවකුත් තියෙනවා. මට තේරෙන ආගමක් නොවූ බුදුදහමෙ නම් කියන්නෙ යළි ඉපදීම නතර කරන්න කියල  මිස සදාකාලික ජීවන සැපක් බලාපොරොත්තු වෙන්න කියල නො වෙයි. අප බය වෙන්න ඕන මරණයට නොවෙයි යළි ඉපදීමට.