Main Logo

Tuesday 22 November 2022

තප්පුලන වමාලා

 තප්පුලන වමාලා 

 

පැරණි වම බිඳ වැටීමෙන් පසු අලුත් වමක් ගොඩ නැගීමට තෙපර බෑවේ ට්‍රොට්ස්කිවාදී අභාසයක් ලැබුවන් වීම පුදුමයක් නොවේ. පැරණි වම ලෙස මා හඳුන්වන්නේ තිහේ දශකයේ (එහි ආරම්භයටත් අවුරුදු සීයක් පිරීමට වැඩි කලක් නැහැ. තිස්ස විතාරණ වාසුදේව ආදීන් එතෙක් ජීවත් වේවි කියන්න බැහැ. ඔවුන්ට දීර්ඝායු පතනවා) ඇරඹුණු වාමාංශික මාක්ස්වාදී දේශපාලනයයි. අද එය පස්සට ගෙනියන්නේ ජෙප්පන් හා සෙප්පන්. වමක් නැතිවත් ජෙප්පන් හා සෙප්පන් එය පස්සට ගෙනියනවා. ඔවුන්ටත් තිස්ස විතාරණ ආදීන්ටත් නමට හරි රට පුරා දන්න පක්‍ෂ තියෙනවා.

 

අලුත් වමක් ගොඩ නැගීමට උත්සාහ කළ අය කිසිම දේශපාලනයක් කෙළේ නැහැ. ඔවුන් පොඩි කාමරවල රැස්වීම් තියන්න ඇති. පත්තර සඟරා පළ කරන්න ඇති. ඒත් දේශපාලනයක් කෙළේ නැහැ. ඔවන් පැරණි වමට වඩා ඉක්මණින් කඩා වැටුණා. අද ඉන්න අලුත් වමාලා පැරණි වමාලා වූ ජෙප්පන්ට හා සෙප්පන්ට ආධාර කරන්න හදනවා. ඒත් දෙගොල්ලන් ගහ ගහන්නවා. අද කිසිවකුට වමක් ගොඩ නගන්න බැහැ. වමේ දේශපාලනය ඉවර වෙලා අවුරුදු තිහක් පමණ වෙනවා. රනිල්දාස තමයි අන්තිම සටනට අන්තිම ඇණේ ගැහැවුවෙ.

 

අද වන විට වමාලට ඇත්තෙ දකුණෙ අදහස්. කොටින් කියනවා නම් සමාජය ඊනියා ඉදිරියට ගෙන යෑමේ අදහස්. පැරණි වමට තිබුණෙ සමාජ අසාධාරණයට විරුද්ධ වැඩ කිරීමට වූ අවශ්‍යතාව. සඳහා සමාජ ක්‍රමය වෙනස් කරන්න වුවමනාවක් මාක්ස්වාදය විසින් පෙන්නල තිබුණ. සමාජ අසාධාරණය ශ්‍රමය සූරා කැම ආදිය හා ධනපති ක්‍රමයට සමාජය ඉදිරියට ගෙන යෑමට නොහැකිය  ආදී අදහස් සමග ප්‍රංශයේ පැරිස් කොමියුනිය හා ධනපති විප්ලවය ආදී සංසිද්ධි මිශ්‍ර කරගෙන මාක්ස් සංස්කරණය කළ දැනුම් පද්ධතියක් මාක්ස්වාදීන්ට තිබුණා. සෙන්ට් සයිමන් හා ෆුරියර් වැන්නන්ගෙන් ගත් සමාජවාදය පිළිබඳ අදහස එහි තිබුණා. මාක්ස් හා එංගල්ස්ට අනුව සමාජවාදීන් මනෝරාජික සමාජවාදීන්. මාක්ස් තමයි ඊනියා විද්‍යාත්මක සමාජවාදය එළි දැක්වුවේ. කියන්නේ එකී හිතළුව සංස්කරණය කෙළේ.

 

ආරම්භයේ ඉඳල මාක්ස්වාදීන් හිතන් හිටියෙ තමන් විද්‍යාත්මක කියල. ඔවුන්ට මුල ඉඳල බල පෑ අදහස් දෙකක් තිබුණ. එකක් සමාජය ඉදිරියට ගෙන යෑම පිළිබඳ අදහස. අනෙක විද්‍යාත්මක බව. සමාජය  ඉදිරියට ගෙන යෑම යන්නට තාක්‍ෂණික වර්ධනය, ආගමික තහංචි නැති කිරීම, ඊනියා තාර්කික සමාජයක් ඇති කිරීම ආදිය ඇතුල් වුණා. මාක්ස්ගෙ කාලෙ තමයි ඩාවින් හිටියෙ. ඩාවින්ගෙ අදහස් මාක්ස්ට බලපාල තියෙනවා. ඩාවින් සත්ව පරිණාමය ගැන කිවුව. එය ඓතිහාසික කතාවක්. ඕනෑම පරිණාමයක් ඓතිහාසික කතාවක්. විශ්වවේදයේ කියැවෙන්නෙත් පරිණාමයක්. මාක්ස් මානව සමාජයේ පරිණාමය ගැන කතා කළා. එයත් බොහෝ දුරට වැඩවසම් සමාජයේ සිට.

 

මාක්ස් හා ඩාවින් එංගලන්තයේ ජීවත් වී ඇත්තේ සැතපුම් විස්සක පමණ දුරින් කියනවා. ඒත් ඔවුන් මුණ ගැසී නැහැ. ඉසයියා බර්ලින්ට අනුව මාක්ස් තම ඩාස් කපිටාල් (ප්‍රාග් ධනය) කෘතිය ඩාවින්ට පිළිගැන්වීමට අදහස් කර තියෙනවා. එහෙත් ඩාවින් එය ප්‍රතික්‍ෂෙප කර තියෙන්නෙ ආර්ථික විද්‍යාව පිළිබඳ තම නොදැනීම ප්‍රකාශ කරමින්. ඩාවින් ඉතිහාසය ගැන කිවුවා පමණයි. මාක්ස් අනාගතය ගැන කිවුවා. මේ අනාගතයට තමයි බොහෝ දෙනා ආකර්ෂණය වෙන්නෙ.

 

සුුළු පූූර්විකාව මෙරට වමාලා ගැන කීමට. වමට තිබුණේ අනාගතයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව. ඔවුන්ට ජාතිය කියන සංකල්පය තිබුණේ නැහැ. තිබුණේ පංතිය. ඒ්ත් කම්කරු පංතිය ගැන නිසි අවබෝධයක් කාටවත් තිබුණෙ නැහැ. නිසි අවබෝධයක් නොතිබූ පංතියක් බලය ගැනීම ගැනයි මාක්ස්වාදීන් කතා කෙළේ. ඔවුන්ගේ භාෂාවෙන් කියනවා නම් කම්කරු පංතියේ ආඥාදායකත්වය (dictatorship of the proletariat) ඇති කිරීමට. එතැන තියෙනවා ලොකු ප්‍රශ්නයක්. හරි හැටි නොදන්නා පංතියක් විඥානයක් නැති පංතියක් බලය අත් කර ගැනීම කියන්නෙ  මොන විකාරයක් ? විජේවීර සහෝදරයා නම් කම්කරු පංතියට කිවුවෙ නිර්ධන පංතිය කියල. අවුලෙන් අවුලට යෑමක්. කොහොමත් නිවුටන්ගෙ වියුක්තය (මා වියුක්තය කියන්නෙ නැති ඉවත් වුණු වැනි අර්ථයකින් නොවෙයි. abstract යන්න සඳහා යොදන වචනයක්) ඩාවින්ගෙ තිබුණෙ නැහැ. ඩාවින්ගෙ තරමටවත් මාක්ස්ගෙ තිබුණෙ නැහැ.

 

අනාගතය නිර්මාණය කරන්න යන්නෙ ඊනියා දියුණුවෙන් දියුණුවට යන්න. වැඩවසම් යුහයෙ ඉඳන් අද ඇවිල්ල තියෙන සමාජයෙ වත්මන් දියුණුව තියෙන්නෙ කොහෙ ? බටහිර. වමාලටත් අනෙක බොහෝ දෙනාටත් අද තියෙන ඊනියා දියුණුවෙන් එහාට යන්න ඕන. මාක්ස්වාදීන් සමාජ පරිණාමයත් සමජාතීය කරනවා. එය ධනවාදීන්ටත් තියෙනවා. මා එයින් අදහස් කරන්නෙ අපි ඔක්කො එක විධියට ඔය කියන දියුණුව අත් කර ගන්න ඕන කියන එක.

 

ධනවාදීන් අපරාදෙ කියන්න බැහැ ඊනියා දියුණුව අප වැනි රටවලට බලහත්කාරයෙන් ලබා දෙනවා. ඒත් සම්පූර්ණ දියුණුව නො වෙයි. අපට කියනවා නොදියුණු රටවල්, දියුණු වෙමින් පවතින රටවල් කියා. ඒත් අපි කිසි දා දියුණු නොවන බවට ඔවුන් වග බලා ගන්නවා. වම හැදුවෙ ඊනියා විප්ලවය මගින් බලය කම්කරු පංතියට ලබාගෙන අර දියුණුවත් අත් කරගෙන ඊට එහාට යන්න.

 

වමාලටත් ධනවාදයටත් දියුණුව තියෙන්නෙ බටහිර අඩු තරමෙන් සිංගප්පූරුවෙ. දැනුම එන්නෙ බටහිරින්. සංස්කෘතිය එන්නෙ බටහිරින්. පෙරදිග තියෙන්නෙ මොන කෙහෙල්මලක් ? වමාලත් මැකෝලිගෙ දරුවො.  වමාලට විප්ලවය වෙනුවෙන් පළමුව බටහිර අනුකරණය කරන්න ඕන. මාක්ස්වාදී පරිණාමය අනුව විප්ලවය මුලින් සිදුවන්නෙ ඊනියා දියුණු ධනපති රටවල. විප්ලවය කියන්නෙ පරිණාමය සන්තතතික (continuous) සිදු වන්නෙ නැතුව අසන්තතතික සිදු වන එකට කියල කියන්න පුළුවන්. ගණිතය භෞතික විද්‍යාව හදාරණ අය දන්නවා සන්තතික චලිතය හා අසන්තිතක චලිතය ගැන.

 

ලෙනින් ඔය කතා සත පහකට ගණන් ගත්තෙ නැහැ. ඔහු රුසියාව වැඩවසම් ක්‍රමය නැති කරල ධනවාදී දියුණුවක් අත්කර ගන්නකන් බලන් හිටියෙ නැහැ කම්කරු පංති විප්ලවය කරන්න. ට්‍රොට්ස්කි අපරාදෙ කියන්න බැහැ ඒකටත් කතාවක් හැදුව, කතාව නොනවතින විප්ලවය, සංයෝජිත හා අසමාන වර්ධනය හා තවත් ලිපි ලේඛනවල දැක ගන්න පුළුවන්. අර විඥානයක් නැති කම්කරු පංතිය ධනපති පංතියෙ වැඩෙත් (ධනපති විප්ලවය) කරල තමන්ගෙ වැඩෙත් (කම්කරු පංති විප්ලවය) කරනවා කියන එක තමයි ඔහු කිවුවෙ. බල්ලගෙ වැඩෙයි බුරුවගෙ වැඩෙයි කියල අහන්න එපා. බල්ල කවුද බූරුව කවුද කියල තෝරාගන්න එක අමාරු වැඩක්.

 

මෙරට වමාලා ඔය එකක්වත් කරන්නෙ නැහැ. ඔවුන් අර බටහිර දියුණුව වෙනුවෙන් තප්පුලනවා. දියුණුව ගැන ඇති බටහිර හා මාක්ස් කෝදුව අනුව අඩු දියුණු බයියන් හදන්න ලැහැස්ති වෙනවා. හෙට තව ටිකක්.