Main Logo

Saturday 18 March 2023

පඬි නැට්ටන්ට බටහිර රටවල ඔහේ නින්ද යෑම

 පඬි නැට්ටන්ට බටහිර රටවල ඔහේ නින්ද යෑම

 

මා ඇසූලංකාවේ සිංහල බෞ ආධිපත්‍යයක් ගැන කියවන දෙමළ මුස්ලිම් ඇතුළු සිංහල බෞද්ධ විරෝධීන්ට බටහිර ක්‍රිස්තියානි අධිපතිවාදී රටවල සුවසේ නින්ද යන්නේ කාගේ පිහිටෙන් ?” යන ප්‍රශ්නය තේරුම් ගැනීමට බැරි වු පඬි නැට්ටන් අය නිදන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරන්න වුණා. අය අතර ලංකාවේ ඉහළ බුද්ධිමතුන් ලෙස සැලකෙන අය සිටියා. අවුරුදු හැටක් ඊනියා බුද්ධිමතුන් ඇසුරු කර ඇති මා ගැන පුදුම වුණේ නැහැ.

 

මා ඇසුවේ සරල ප්‍රශ්නයක්. එහෙත් එය පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඇසූ ප්‍රශ්නයක් නො වෙයි. මෙහි ප්‍රශ්න අසන්නේ පඬි නැට්ටන්ගෙන් කුණුහරුප පිළිතුරු බලාපොරොත්තුවෙන් නො වෙයි.  ඔවුන් සමහරු තාම මාලිමාව වටේ කැරකෙනවා. මාලිමාව දැන් කැරකෙන්නේ නැහැ. එහි උතුර දකුණ සියල්ල රනිල්. පඬි නැට්ටන්ට මාලිමාව වටේ කැරකෙන්න වෙලා. සියලු චලිත සාපේක්‍ෂයි. පොළොවට සාපේක්‍ෂ පඬි නැට්ටන් කැරකෙනවා. පඬි නැට්ටන්ට සාපේක්‍ෂ මාලිමාව කැරකෙනවා. පොළොවට සාපේක්‍ෂ මාලිමාව කැරකෙන්නෙ නැහැ.

 

මෙරට සිංහල බෞද්ධ ආධිපත්‍යයක් ගැන දොඩවපු සමහරු බටහිර රටවලට ගිහින් පදිංචි වෙලා. ඇතැම් ජාතිකවාදීන් බටහිර රටවල පදිංචි වෙනවා. ඒත් ලංකාවේ ඇතැයි කියන සිංහල බෞද්ධ ආධිපත්‍යයක් නිසා නොවෙයි. මෙරට අධ්‍යාපනය එක් අතකින් යොමු වෙලා තියෙන්නෙ ගමෙන් ලන්ඩන් පැරිස් නිව්යෝක් සංස්කෘතික ත්‍රිකෝණයට යන සංකල්පය මත. ඇතැමුන් එහි දී කොළඹට සංක්‍රමණය වෙනවා.

 

සිංහල බෞද්ධ ආධිපත්‍යයක් ස්වොත්තමවාදයක් ගැන කියන අය ලංකාවේ ඉන්නවා. ඔවුන් සමහරු කොළඹින් (පේරාදෙණියෙන්) එහාට යන්නේ නැහැ. එසේ නොයෑමට ඔවුන්ට විවිධ හේතු ඇති. හේතු මොනවාදැයි සාකච්ඡා කිරීම අවශ්‍ය නැහැ. ඇතැම් දෙමවුපියන් දරුවන් සමග කොළඹ ඒමටවත් කැමති නැහැ. අයගේ කැමති අකමැතිකම් විවිධයි.

 

ලංකාව අතහැර යන ඇතැමුන් සමාජවාදීන්. වමාලා. තවත් සමහරු ජාතිකවාදීන්. එහෙත් ඔවුනුත් යන්නේ බටහිර රටවලට. චීනයට රුසියාව කියුබාවට උතුරු කොරියාවට යන්න කැමති අයකු නැහැ. ආවාහ විවාහවල ප්‍රතිඵල ලෙස නම් කිහිප දෙනකු බටහිර නොවන රටවල පදිංචි වෙනවා. එය පැත්තකින් තිබ්බොත් අනෙක්  සියල්ල අපේ අධ්‍යාපනයේ ප්‍රතිඵල. මා කිසිවකුටවත් දොස් කියන්නේ නැහැ.     

 

බටහිර රටවල ලංකාවෙන් ගිය දෙමළ ජනකොටස් ඉන්නවා. වැඩිය ඉන්නෙ උතුරු පළාතෙන් ගිය වෙල්ලාලයන්. ඔවුන් බටහිර රටවල පදිංචි වෙලා ඔහේ ඉන්නවා. ඔහේ ඉන්නවා කියන එකෙන් මා අදහස් කරන්නෙ ඔහේ ඉන්න එක. සද්දයක් බද්දයක් නැතුව දීපවාලියට තෛපොංගලේට නිවාඩු ඉල්ලන්නෙ නැතුව දෙමළ භාෂාවෙන් වැඩ කරන්න එහෙමත් නැත්නම් දෙමළ රාජ්‍ය භාෂාවක් කරන්න ඉල්ලන්නෙ නැතුව ඔහේ ඉන්නවා. පැරණි ඇංග්ලිකන් ක්‍රිස්තියානි පල්ලි ඉවත් කරන්න උද්ඝෝෂණ කරන්නෙ නැතුව  ඔහේ ඉන්නවා. ක්‍රම වෙනසක් අවශ්‍ය කියන්නෙ නැතුව කිසිම අරගලයක් නැතුව රිෂිගෙ බිරියගෙ බදු ගැන ප්‍රශ්න කරන්නෙ නැතුව   ළමයින්ට එංගලන්තය ඇමරිකාව කැනඩාව ඕස්ත්‍රේලියාව නවසීලන්තය වගේ රටක නම් ඉංගිරිසියෙන් උගන්නන්න ඉඩ දීලා ඔහේ ඉන්නවා.

 

ඔහේ ඉන්න බැරි නම් ආපසු තමන්ගෙ රටට ගිහින් එහේ ඉන්න කියන වෙලාවලුත් තියෙනවා. එතකොට ප්‍රශ්නයක්. රනිල්ට ගෙදර යන්න කිවුව රනිල් කියනවා මට යන්න ගෙදරක් නැහැ කියල. ඒත් ලංකාවෙන් බටහිර රටවලට ගිය අයට ප්‍රශ්නය නැහැ. ඔවුන් ඔහේ ඉන්න නිසා. ඔවුන්ට කවුරුන්වත් ආපහු යන්න කියන්නෙ නැහැ.

 

ලංකවෙන් බටහිර රටවලට යන සිංහල බෞද්ධ ආධිපත්‍යයට විරුද්ධ දිවි හිමියෙන් සටන් කරන අය බටහිර රටවල තියෙන විවිධ ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යවලට විරුද්ධ කිසිවක් කියන්නෙ නැතුව කරන්නෙ නැතුව ඔහේ ඉන්නවා. මැයි මාසෙද කොහෙ චාල්ස් ඔටුණු පළඳිනවා. සෘෂිවරයකු නොවූ රිෂි චාල්ස්ට භගවද් ගීතය දෙන එකක් නැහැ. කොහොමටත් රිෂි ඉන්දියාව අත්හැරලා ඇවිල්ල තියෙන්නෙ හින්දි හින්දු ආධිපත්‍යයකට විරුද්ධ නො වෙයි. මෞලි මංගල්‍යයට හින්දු මුස්ලිම් පූජකවරු එනව ? සික් ජෛන අර කියන්න වගේ ආගමික නායකයන් සහභාගි වෙනවා ?

 

චාල්ස් ඇංග්ලිකන් ක්‍රිස්තියානි පල්ලියෙ ප්‍රධානියා. කැන්ටබරියෙ හරි යෝක්හි හරි ආච් බිෂොප් නො වෙයි ප්‍රධානියා වෙන්නෙ. චාල්ස් එන විට බිෂොප්ලා නැගිටින්න ඕන. එහෙ බිෂොප්ලා හරි වෙනත් පූජකවරුන් හරි විවිධ මහා මොළකරුවන් හොයන්නෙ නැහැ. ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආධිපත්‍යය ඉතා දැඩියි. වෙස්ට්මිනිස්ටර් පල්ලිය ළඟින් නොවෙයි පාරිලිමේන්තුව ළඟින් නො වෙයි අර පොඩි ළමයි කඩා වැටෙන බව කියන ලංඩන් පාලම උඩින් යන විටත් පාලම යටින් තේම්ස් ගඟේ ඔරු පදින්න  ගියත් ක්‍රිස්තියානි ආධිපත්‍යය දැනෙනවා ඒත් කවුරුත් ඔහේ ඉන්නවා. ඔහේ ඉන්නකොට නින්ද යනවා. ඊයෙ ශාන්ත පැට්‍රික් දිනයට මොකුත් කළෙ නැද්ද? (මතු සම්බන්ධයි)