Main Logo

Sunday 26 March 2023

යැංකි ඩිකී පරදවමින් ඉදිරියට

 

යැංකි ඩිකී පරදවමින් ඉදිරියට

මෙරට ඇති චුණු ප්‍රභූතම ආණ්ඩුව රනිල්ගේ ආණ්ඩුවයි. රාජ්‍ය මන්ත්‍රණ යුගයේ අප පාලනය කෙරුණේ ඉංගිරිසින් විසින්. සර්වජන ඡන්දය ලැබී තිබුණ නමුත් කාරක සභා ක්‍රමයක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ක්‍රියාත්මක වූ නමුත් පාලනය කෙරුණේ ඉංගිරිසින් විසින්. ආණ්ඩුවේ ප්‍රධානියා වූයේ ඉංගිරිසි ජාතිකයෙක්. කාරක සභා හතේ සභාපතිවරූ ලාංකිකයන්. ඔවුන් ඇමතිවරුන් ලෙස සැලකුණා. 1931 සිට 1936 දක්වාත් ඉන්පසු 1936 සිට 1942 දක්චාත් ආණ්ඩුවේ උප ප්‍රධානියා වුණේ ඩී බී ජයතිලක. 1936 පත් වූ රාජ්‍ය මන්ත්‍රණ සභාව 1947 දක්වා පැවතුණා. 1942 සිට ආණ්ඩුවේ උප ප්‍රධානියා වුණේ ඩී එස් සේනානායක.

 

ආණ්ඩු ප්‍රභූ ආණ්ඩු. නිකමුන් සිට 1919න් පමණ පසුව වැදගතුන් වූ අය තමයි ආණ්ඩුවේ වැඩියෙන් හිටියේ. ඔවුන්ගෙන් ඇතැමකු අමද්‍යප ව්‍යාපාරය හා බලය ලබාගත් අය. ඩී බී ජයතිලක හා ඩී එස් සේනානායක එලෙස අමද්‍යප ව්‍යාපාරය ඔස්සේ දේශපාලන කරළියට පැමිණි අය. රාජ්‍ය මන්ත්‍රණ සභා ඇමතිවරු බොහෝ දෙනකු ජාතික ප්‍රභූන්. ඔවුන්  ප්‍රාදේශීය ප්‍රභූන්ගේ දරුවන්. ඩී බී ජයතිලක පමණක් තරමක් වෙනස්. ඔහුගේ පියා රජයේ සේවකයෙක්. මවගේ පියා පෙරදිග ශාස්ත්‍ර හැදෑරූ  පඬිවරයෙක්. ඩී බී ජයතිලක උගත්තේ වෙස්ලි විදුහලේ. එහෙත් ඔහුට විද්‍යාලංකාර පිරිවෙනේ ආභාසය තිබුණා. ඔහු එංගලන්තයට ගොස් නීතිඥයකු වුණා. කෙසේ නමුත් සේනානායකලාට ඔහු රිස්සුවේ නැහැ. හතලිස් තුනේ දී ඔහු ඉන්දියාවේ මෙරට නියෝජිතයා ලෙස පිටත් කෙරුණා. සේනානායකලා ඔහු රටින් පිට කළ ආකාරය.  ජයතිලකත් සේනානායකත් සෑරසී සිටියේ යුරෝපීය ඇඳුමෙන්. බණ්ඩාරනායක කන්නංගර ජාතික ඇඳුමෙන් සෑරසී සිටියා.  

 

1947 දී ඩී එස් සේනානායක මෙරට ප්‍රථම අගමැති වුණා. අමද්‍යප ව්‍යාපාරය මගින් බලයට පැමිණි ඔහු නිදහස වෙනුවෙන් මත්පැන් සංග්‍රහයක් පැවැත්වූවා. කෙසේ නමුත් මෙරට පාලන බලය හිමිවූයේ අර ජාතික ප්‍රභූන් බවට පත්වූ අයට. පනස්හයේ මේ තත්වය වෙනස් වුණා. තැපැල් සේවකයකු වූ ඇම් ඇස් තේමිස් සහ තවත් අය මන්ත්‍රීවරුන් වුණා. ජෝන් කොතලාවල කිවුවේ මින් මතු ගහකට යවන්න කොල්ලකු හොයා ගන්න බැරි වේය කියා. පනස්හය ධර්මපාලතුමාගෙන් පසු ජාතිකත්වය කරළියට පැමිණි වසර. එහි සංකේතයක් ලෙස මෙන් මැති ඇමතිවරු බොහෝ දෙනකු ජාතික ඇඳුමෙන් සැරසී සිටියා.

 

1977 දී ජේ ආර් බලයට පැමිණියා. ඔහුට තිබූ ජාතිකත්වයක් නැහැ. ඔහුගේ රෙද්ද බැනියමේ ජාතිකත්වයක් තිබුණේ නැහැ. ඔහු යැංකි ඩිකී හෙවත් ඇමරිකන් රිචඩ් නමින් මිතුරන් අතර ප්‍රසිද්ධ වී සිටියේ. රිචඩ් යන්න තමයි ඩිකී ලෙස සුරතල් නම බවට පත්වෙන්නෙ.  කෙසේ වෙතත් ඔහුගෙ ආණ්ඩුව ප්‍රභූ ආණ්ඩුවක්. එහෙත් ඔහුට තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්න බැරි වුණා. ඔහු මුල් වතාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් නමුත් ඡන්දයෙන් පත්වූ අගමැති ලෙස ජනාධිපති වූ නිසාත් දෙවැනි වතාවේ ඡන්දයෙන් පත් වූ නිසාත්. කෙසේ වුණත් ඔහු වටා වැඩිපුර හිටියේ ප්‍රභූන්. එහෙත් නිර්ප්‍රභූ ප්‍රේමදාසට පුළුවන් වුණා ඔහුට අභියෝග කරන්න.

 

රාජපක්‍ෂලාත්  ජාතික ප්‍රභූන් බවට පත් වූ ප්‍රාදේශීය ප්‍රභූන්. එහෙත් ඔවුන්ට නිර්ප්‍රභූන් සමග සදාතනික සම්බන්ධයක් තිබුණා. ඔවුන් ජනාධිපතිවරුන් වූයේ ජාතික බලවේගවල ආධාරයෙන්. 2019 හා 2020 දී නිර්ප්‍රභූන් ඉදිරියට පැමිණියා. ජාතික බලවේග ශක්තිමත් වුණා. කොපමණ කියනවා නම් විජාතික ප්‍රභූ පක්‍ෂය වූ ජා පක්‍ෂයට මන්ත්‍රීවරයකු පත්කර ගැනීමට නොහැකි වුණා. රනිල් වික්‍රමසිංහත් පරාද වුණා.

 

මේ සියල්ල මැද නන්දිකඩාල් පරාජයෙන් වියරු වැටී සිටි බටහිර හා ඉන්දියාව ක්‍රියත්මක වුණා. අවුරුද්දක් පමණ පාරලිමේන්තුවට නොගිය රනිල් කල් යල් බලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණියා. පරගලය සැලසුම් කෙරුණා. ප්‍රාදේශීය ප්‍රභූ තත්වයෙන් ජාතික ප්‍රභූ තත්වයට පත් සිටි ගෝඨාභය ගෙදර යැවීමට නිර්ප්‍රභූන් ඉත්තන් ලෙස යොදා ගැණුනා. විජාතිකයන්ට ගැලපෙන ප්‍රභූ රනිල් ඡන්දදායකයන්ට වග කියන්නේ නැහැ. ඡන්දයෙන් ප්‍රතික්‍ෂෙප වූ ඔහු ඡන්ද තියන්නේ නැහැ. අද ඔහු පවත්වාගෙන යන්නේ තනි කර ප්‍රභූ ආණ්ඩුවක්.

 

ඔහු අනෙක් ජනාධිපතිවරුන් මෙන් නොව නිතර පාර්ලිමේන්තුවට එනවා. ඔහුට රබර් මුද්‍රාවක් අවශ්‍යයි. එහෙත් ඔහුගේ ආණ්ඩුව තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් පිටත. අප දන්නේ නැහැ ඔහුගේ කුස්සි අමාත්‍ය මණ්ඩලය කවුද කියා. ඒත් අපි දන්නවා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රාශියක් ඔහු අනුගමනය කරමින් යුරෝපීය ඇඳුමෙන් සැරසෙන බව. වැඩි කල් යෑමට පෙර දිනේෂ් ගුණවර්ධන පමණක් ජාතික ඇඳුමෙන් සෑරසුණු මන්ත්‍රීවරයා වෙන්න පුළුවන්.

 

අද ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගෙ භූමිකාව කුමක් ? වාර්තා වෙන අන්දමට අප ඉන්දියාවට ගෙවිය යුතු ණය මුදලක් ගෙවා ඉන්දියාවෙන් රුපියල්වලින් විශාල  මුදලක් ගන්න යන බව කුමාරස්වාමි කියා තිබුණා. ණය ඉන්දීය රුපියල්වලින්. අප ඉන්දියාවේ හා බටහිර අණසක යටතට පත් වී අවසන්. මහා බැංකුව සුවාදීන කිරීමෙන් පසු කුමාරස්වාමිගේ භූමිකාව තවත් තේරුම් ගන්න පුළුවන් වේවි. මේ කුමාරස්වාමි අර මා කියන පොන්නම්බලම් කුමාරස්වාමි පවුලේ අයෙක්. ඔහු නිර්ප්‍රභූ නම් නො වෙයි. අප බටහිර රටවල විශේෂයෙන් ඇමරිකාවේ හා ඉන්දියාවේ කෙළි බිමක් වෙලා. ප්‍රශ්නයක් නැහැ අපි ආසියාවේ හොඳ බේස් බෝල් කණ්ඩායම වේවි. එංගලන්තයෙන් ඇමරිකාවට, ක්‍රිකට් ක්‍රීඩාවෙන් බේස් බෝල් ක්‍රීඩාවට. මෙහි සිට දෙව් ලොවට තව කොපමණ දුර? කැලණියේ සිට නො වෙයි. නිර්ප්‍රභූන් වෙනුවෙන් පෙනී සිටින පඬි නැට්ටන්ට ප්‍රශ්නය කැලණියේ නයා. තම බුද්ධිමය නයා යැවීමට. නයි බේස් බෝල් ක්‍රීඩා කරනවා ?