Main Logo

Sunday, 5 March 2023

මධ්‍යම පංතියේ මග හා සිදුහත් කුමරුගේ මග

 මධ්‍යම පංතියේ මග හා සිදුහත් කුමරුගේ මග 

 

ඊයේ මා මිතුරකු සමග කතාබහ කරන විට ඔහු කී දෙයක් නම් විශ්වවිද්‍යාලයේ දී ඔහු සමග කටයුතු කළ බොහෝ දෙනකු දැන් වෙනස් වී ඇති බව. එකල අනෙක් අය ගැනත් අනුකම්පාවෙන් කටයුතු කළ අය දැන් අනෙක් අය ගැන කිසිම උනන්දුවක් නොදක්වන බවත් ආත්මාර්ථකාමී වී ඇති බවත්. විශේෂයෙන් දරුවන් ලැබීමෙන් පසු එසේ වී ඇති බවයි ඔහුගේ නිරීක්‍ෂණය වුණෙ.

 

දැන් සමහරු හිතනවා ඇති මේ මිතුරා කවුද කියා. ඔවුන්ට වැදගත් වන්නේ කියා ඇති දේ නොව කිවුවේ කවුද යන්නයි. මෙරට සිංහල මධ්‍යම පංතියේ එක් ලක්‍ෂණයක්. අද අනුකම්පාව වගේ වචන වෙනුවට සහකම්පාව වගේ සංස්කෘතියේ නැති හැඟීමක් නූපදවන වචන නම් පාවිච්චි වෙනවා. මිනිසුන්ට හැඟීම් තියෙනවා. මධ්‍යම පංතියටත් හැඟීම් තියෙනවා. එහෙත් ඔවුන් කැමතියි තමන් බුද්ධියෙන් තර්කයෙන් පමණක් වැඩ කරන උගතුන් බුද්ධිමතුන් බව අනෙකුත් මධ්‍යම පාංතිකයන්ට පෙන්නන්න.

 

මධ්‍යම පංතිය ව්‍යවසායකයන් විවේචනය කරනවා. ශ්‍රමය සූරාකෑම ගැන කතා කරනවා. ඒත් ඔවුන් පොළට ගොස් කන්කුන් මිටියක් ගැනීමේ දී පුළුවන් තරම් අඩුවෙන් ගන්න බලනවා. ඇහුවොත් කියාවි තමන් වෑයම් කරන්නේ නියම අගය ගෙවීමට බවත් ඉල්ලුම සැපයුම ගැන කතාවකුත්. මේ මධ්‍යම පංතියට පුළුවන්කම ලැබීල තියෙනවා බදු නොගෙවන්නන් ලවා තම බදු වැඩි කිරීම ගැන උද්ඝෝෂණය කරවන්න.

 

මධ්‍යම පංතිය අයිතිවාසිකම් ගැන කතා කරනවා. යුතුකම් ගැන කතා කරනවා. බොහෝ විට බොරු කතා. විශේෂෙැයන් වාම කතා කියන්නන්ගේ බොරු කතා. ඔවුන් නැති බැරි අය වෙනුවෙන් තම ආදායමෙන් කිනම් ප්‍රතිශතයක් වියදම් කරනවා කියා මා දන්නේ නැහැ. ඔවුන්ට හැඟීමක් නැහැ. එහෙත් තර්ක කරාවි එක් කෙනකුට දෙන්නකුට උපකාර කළා කියා සමාජය වෙනස් කරන්න බැරි බවත් සමාජය වෙනස් කිරීම සඳහා විප්ලවයක් අවශ්‍ය බවත්. දැන් නම් කියාවි ක්‍රම වෙනසක් (ඊනියා සිස්ටම් චේන්ජ්) අවශ්‍ය බවත්.

 

සමහරකුට හැඟීම් නැතුවා නොවෙයි. ඇතැමුනට පෞද්ගලික වෙනත් හැඟීම් තියෙනවා. සමහර විට බුද්ධිමත් හැඟීම් වෙන්න ඇති. ඔවුන්ට ඇති මූලික හැඟීමක් තමයි කැපී පෙනෙන්න තියෙන ආශාව. තමන්ගේ උගත්කම අනෙක් අයට පෙන්නන්න තියෙන ආශාව. තමන් කියවා ඇති පොතක් (තේරුම් ගැනීම පසෙකින් තියමු) අනෙක් අය කියවා නැති බව ප්‍රකාශ කරමින් උගතා බුද්ධිමතා වීමට ඇති ආශාව.

 

ඊනියා උගත් මධ්‍යම පංතිය අද ජීවත්වන්නේ අසහනයෙන් ණයබරින් හා අනාගතය ගැන අවිනිශ්චිත බවකින්. ඔවුන් ක්‍රම වෙනසක් ඉල්ලනවා. එහෙත් දැන් තියෙන ක්‍රමයවත් තිබිය යුතු ක්‍රමයවත් ඔවුන් දන්නේ නැහැ. ඇත්තට දැන් ක්‍රමයක් නැහැ. තමයි මධ්‍යම පංතික ක්‍රමය.  මගේ මිත්‍රයා කී කරුණෙහි වැදගත් දෙයක් තියෙනවා. සෑම විට නැති වුවත් මධ්‍යම පාංතිකයන් දරුවන් ලැබීමෙන් පසු වඩාත් ආත්මාර්ථකාමී වෙනවා. මෙරට අධ්‍යාපනය සැකසී ඇත්තේ ආත්මාර්ථය සඳහා. තමන් දන්නා දෙයක් තම මිතුරන්ට හැඟීමකින් කියා දෙන්නන් කී දෙනකු අද ඉන්නවා කියා මා දන්නේ නැහැ.

 

පාසලකට ඇතුළත් කිරීමේ දී තරගය පටන් ගැනෙනවා. පහේ ශිෂ්‍යත්වය උසස් පෙළ විශ්වවිද්‍යාලය හැම තැනක තරග. මධ්‍යම පංතියේ සිත්වල තරග හැඟීම තියෙනවා. විවාහයට පෙරත් එය තියෙනවා. අපේ කාලයේත් යම් ප්‍රමාණයකට තිබුණා. විහිළුවට කිවුවත් ඊනියා විප්ලවීය පංති සටන විශ්වවිිද්‍යාලයේ පංති සාමාර්ථයක් ලබා ගෙන හොඳ තැනකින් විවාහයක් කර ගෙන අවසන් කරනවා.  විවාහ වී දරුවන් ලැබීමෙන් පසු දරුවන් සන්දා ආත්මාර්ථකාමීත්වය සර්පිලාකාරයෙන් උඩට යනවා. එය පරම්පරාවෙන් පරම්පරාවටත් වැඩි වෙනවා. අපේ කාලයට වඩා දැන් එය බෙහෙවින් වැඩියි.

 

දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න ඕන. මා නැහැ කියන්නෙ නැහැ. අවාසනාවකට මට එය හරියට කරගන්න බැරි වුණා. විශ්වවිිිද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ විභාග සම්බන්ධයෙන් මා සිතූ ආකාරයට යුතුකම් ඉටු කිරීමට ගොස්. කතාව පසුව කියන්න ඕන.

 

ඇත් රංචුවක ඇතින්නියකට පැටවකු ලැබුණු විට අනෙක් ඇතින්නියන්ටත් කිරි එරෙනවා කියනවා. කොහොම වුණත් අනෙක් අය වෙනුවෙන් කටයුතු කිරීම අද න්‍යායික පමණක් සිදු වෙන්නක්. එය ඊනියා විප්ලවයට ක්‍රම වෙනසට භාර දී තියෙනවා. පරයන් පරගලය මෙහෙයවූයේ මධ්‍යම පංතියේ ආත්මාර්ථකාමී හැඟීම් දඩමීමා කර ගෙන. අද පරගලයන් ක්‍රම වෙනසක් ඇති කරගෙන. දැන් ඡන්ද නැහැ.

 

මා දැක තියෙනවා මධ්‍යම පංතියේ දැනමුත්තන් සිදුහත් කුමරු තම පුතා රාහුල කුමරු වෙනුවෙන් යුතුකම් ඉටු කළේ නැහැ කියනවා. මා හිතන්නෙ නැහැ මෙරට සංස්කෘතියේ නැති බටහිර සංස්කෘතියේත් නැති එහෙත් බටහිරින් ඊනියා මානව අයිතිවාසිකම් යුතුකම් ගැන කතා අහුල ගන්න දැනමුත්තන්ට සිදුහත් කුමරුගේ අභිනිෂ්ක්‍රමණය තේරෙනචා කියා. එතුමා පුතා ගිහි ගෙය අත්හැරියේ සියලු සත්වයන් වෙනුවෙන් සසර පතා ගෙන යුතුකම ඉටු කරන්න. යුතුකම අවසානයේ දී රාහුල කුමරුන් වෙනුවෙන් පමණක් නොව යශෝදරාවන් වෙනුවෙන් මෑණියන් ලෙස කටයුතු කළ මහා ප්‍රජාපති ගෝතමිය වෙනුවෙන් ශුද්ධෝදන පිය රජු වෙනුවෙන් ඉටු කළා. සිංහල බෞද්ධයන් බුද්ධාගම්කාරයන් වීමෙන් පසු මග යෑමට තැත් කරන්නේවත් නැහැ.

 

අපි යන්නේ කොයි පාරේ?