Main Logo

Thursday 2 March 2023

ප්‍රෝඩාතන්ත්‍රවාදය හා ආර්ථික අර්බුදය

 ප්‍රෝඩාතන්ත්‍රවාදය හා ආර්ථික අර්බුදය

 

රනිල්දාස හෙවත් අනුර දොරේ (දෙමළ ගැන පණ දෙන්න කතා කරන අය දොරේ ගැන දන්නෙ නැහැ වගේ.  අවශ්‍ය නම් දොර යටින් ගිය දොරේ කියන්න පුළුවන් ) ගැන තවත් කතා කරන්න දේ පසුවට තියෙන්න පුළුවන්. දැනට අපට සතුටට පත් වෙන්න පුළුවන් ඔහු පළාත් පාලන මැතිවරණය මැයි මාසයේ පවත්වන බවට මැතිවරණ කොමිසම සමග තමන් කළ සාකච්ඡාවක දී ඉඟි පළ වුණා කියන එක ගැන. කියන්නෙ වෙසක් පෝයට පස්සෙ. තව කල් තියෙනවා. අවුරුදු කෑවටත් පස්සෙ.

 

කොහොම වෙතත් ආර්ථික අර්බුදය නම් වන විටත් විසඳෙන පාටක් නැහැ. අද අපට ඩොලර් යම් ප්‍රමාණයක් තියෙනවා. අප ණය නොගෙවන නිසා මිස ඩොලර් උපයා තියෙන නිසා නො වෙයි. ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය ටිකකින් අඩු කරලා. දැන් විදේශීය සම්ප්‍රේෂණ අඩු වෙයි ? මා දන්නේ නැහැ. මා ආර්ථික විද්‍යාඥයකු තබා මොන විද්‍යාඥයකුවත් නො වෙයි. කොහොමටත් ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාවට අනාවැකි පළ කරන්න බැහැ.

 

ආර්ථික අර්බුදය මධ්‍යම පංතිය හා දේශපාලනඥයන් විසින් ඇති කරනු ලැබූවක්. මා නැවතත් කියනවා මේ අර්බුදය සර්වජන ඡන්දය, නිදහස් අධ්‍යාපනය හා වාම අදහස් නිසා ඇති කෙරුණු එකක්. සර්වජන ඡන්දය ලැබීමත් සමග ඊනියා ජනතාවට සේවය කිරීම යන බොරුව සමාජයේ පළපැදියන් වුණා. මෙය පටන් ගත්තේ සේනානායකලා හා ජයතිලකලා. අමද්‍යප ව්‍යාපාරයත් සමග. අරක්කු රේන්දය ගත් අයත් අමද්‍යප ව්‍යාපාරයට පැමිණියා. එයට විවිධ හේතු කියනවා. ඉංගිරිසින් රජයේ ආදායම වැඩි කර ගැනීම සඳහා තැබෑරුම් වෑඩියෙන් විවෘත කිරීමට ගත් තීරණය අමද්‍යප ව්‍යාපාරය ඇරඹීමට හේතුව වුණා කියනවා. එහි ඇත්තක් තියෙනවා.

 

අමද්‍යප ව්‍යාපාරයට එකතු වුණු සමහරු අරක්කු රේන්දය ලබා ගත් අය, සමහරු රේන්දය ලබාගෙන ධනවත් වූ පවුල්වල අය. ආතර් වී දියෙස් මහතා හෙවත් කොස් මාමා අරක්කු රේන්දය මගින් ධනය උපයා ගත් පවුලක අයෙක්. ඔහු අව්‍යාජ අමද්‍යප ව්‍යාපාරයට එකතු වුණා. එහෙත් සියල්ලන් ගැන එසේ කියන්න බැහැ. සර්වජන ඡන්දයත් සමග ඡන්දදායකයන්ගේ ඡන්දය දිනා ගැනීමට ඇතැමුන් අමද්‍යප ව්‍යාපාරයට බැඳුණා. ඩී එස් සේනානායකගේ පසු ක්‍රියාකාරකම්වලින් පැහැදිලි වන්නේ ඔහුත් එවැන්නකු බව.

 

සරවජන ඡන්දය නිසා ජාතික ඇඳුම ඇන්ද අයත් සිටියා. බෞද්ධ වූ අයත් හිටියා. අය අතර තරගත් තිබුණා. ඩී බී ජයතිලකගේ බෞද්ධකම වැඩියි. සේනානායකලා ඔහු තානාපති කර ඉන්දියාවට යැවුවා. අවශ්‍ය වුණේ අනෙකා කෙසේ හෝ පරාද කර, අයින් කර තමන්ට බලය ලබා ගැනීම. තමන්ට සේවය කිරීම. තමන්ට සේවය කිරීම ජනතාවට සේවය කිරීමක් බව ප්‍රකාශ කළා. ඡන්දදායකයන් එය විශ්වාස කළා. අදත් විශ්වාස කරනවා.

 

සර්වජන ඡන්දයේ ප්‍රතිඵල කලින් දත් අයකු වූයේ කොස් මාමා. ඔහු නිිදහස ලැබූ දිනයේ තම නිවසේ කඵ කොඩියක් එසෙවුවේ සේනානායකට විරුද්ධත්වය පෑමට. ඊයේත් කළු දිනයක් වුණා. ලක්‍ෂයකට අඩු මාසික ආදායමක් ලබන අයගේත්. ඔවුන් ලක්‍ෂයකට වැඩිය ආදායම ලබන්නන් වෙනුවෙන් කළු ඇන්දා. තමයි පරාර්ථකාමීත්වය. මට නම් පරාර්ථකාමීත්වයක් නැහැ. මගේ ආදායම  ස්ථාවර තැන්පතුවලින් ලැබෙන මාසික පොළිය පමණයි. එය ලක්‍ෂයකට අඩුයි. ඒත් බැංකුව පොළියෙනුත් සියයට පහක් කපනවා. මා එයට විරුද්ධ වන්නේ නැත්තේ පරාර්ථකාමීත්වයක් නිසාවත් ආණ්ඩුවට කඩේ යෑමට අවශ්‍ය නිසාවත් නම් නො වෙයි.

 

මට කියන්න අවශ්‍ය රටේ පරාර්ථකාමීත්වය වැඩි වීම ගැන. එන්න එන්න පරාර්ථකාමීත්වය වැඩි වෙනවා. දේශපාලනඥයන් මොන තරම් පරාර්ථකාමී ? ඔවුන් ජනතා සේවයට කැප වී ඉන්න අය.  ජනතා සේවය නිකම් කරන්න බැහැ. ඡන්දදායකයන්ගේ ඡන්දය ගන්න ඕන. බලය ගන්න ඕන. ජනතාවට අල්ලස් පොරොන්දු වෙන්න ඕන. පොරොන්ද ඉටු කරන්න ඕන නැහැ. වෙන පොරොන්දු දෙන්න පුළුවන්. ඒත් සමහර වෙලාවට පොරොන්දු ඉටු කරන්න වෙනවා.

 

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ප්‍රේඩාවක්. කවුද එය ප්‍රෝඩාතන්ත්‍රවාදය කියා හඳුන්නල තිබුණා. අපට වෙනත් ක්‍රමයක් නැති කමට අප ඉංගිරිසින්ගේ ප්‍රෝඩාතන්ත්‍රවාදය යොදා ගන්නවා. අර පොරොන්දු ඉටු කරන්න ගියා තමයි ප්‍රශ්න ඇති වෙන්නෙ. මධ්‍යම පාංතික අවශ්‍යතා වෙනුවෙන්. ඉහළ වුණත් පහළ වුණත් මධ්‍යම පාංතික අවශ්‍යතා අපට ඇති කරල තියෙන්නෙ ඉංගිරිසින් ප්‍රමුඛ බටහිරයන් විසින්. බටහිරයන් අපට අපේ අවශ්‍යතා මොනවා දැයි කියා දෙනවා. මැතිවරණත් එක් අවශ්‍යතාවක්.

 

අපට අපේ අවශ්‍යතා මොනවා දැයි කියා දී ඔවුන් අවශ්‍යතා සපයනවා. ඒත් පිනට නො වෙයි. අපේ පවට. ඉංගිරිසියෙන් පවට වචනයකුත් තියෙනවා. අනේ සින් අනේ කියනවා මට ඇහිලා තියෙනවා. සින් කොහොම වෙතත් දැන් කතා කරන්නෙ සීන් එක ගැන. ෆොරෙක්ස් සීන් එක තමයි අද තියෙන සීන් එක. හුදී ජන පහන් සංවේගය සඳහා ෆොරෙක්ස් සීන් කියන්නෙ ඩොලර් සීන් එකට. ඉංගිරිසියෙන් පිනට කියන එකට සමහර විට මෙරිට් කියනවා. විශ්වවිද්‍යාලවල මෙරිට් ප්‍රමෝෂන් කියල ජාතියක් තියෙනවා. එවැනි උසස්වීමක් දුන්න පින කාට කියල කියන්නෙ නැහැ.

 

මැතිවරණ අවශ්‍යතා බටහිරයන්ට වැදගත් වෙන්නෙ ශ්‍රී නි ප්‍රමුඛ ආණ්ඩු තියෙන කාලෙට. වෙනුවෙන් බටහිරයන් රෑ නොනිදා පහන් කරනවා. කොහොමත් ලංකාවට රෑ වෙන කොට බටහිරට දවල්. ජා බලයෙ ඉන්න කොට බටහිරයන් නිවේදනයක් නිකුත් කරල දවල්ටත් ගොරව ගොරව නිදා ගන්නවා. දැන් තියෙන්නෙත් රනිල්ගෙ ජා ආණ්ඩුවක්. මැයි මාසෙත් ඡන්ද නැති බවයි ජ්‍යොතිෂයෙ කියන්නෙ කියල මිථ්‍යා මතධාරීන් යැයි කියන අය ප්‍රකාශ කරනවා. (මතු සම්බන්ධයි)