Main Logo

Friday 10 March 2023

කඳුළු ගෑස් කන්නේ ඇයි?

 කඳුළු ගෑස් කන්නේ ඇයි?

 

මා ඊයේ රෑ බෝ වෙද්දි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු බලාපොරොත්තු වන්නේ නැහැ කියා සටහන් කළා. ප්‍රශ්නය මෙසේයි. “පරගලයන් ගෝඨා පන්නා පත් කර ගත් රනිල්ගේ (කඳුළු) ගෑස් කන්නේ ඇයි?” මෙහි පරගලයන් කිවුවේ පරගලයට දේශීය වශයෙන් සම්බන්ධ වූ ඇතැමුනට. පරගලයට දේශීය වශයෙන් සම්බන්ධ වූ බොහෝ දෙනා කඳුළු ගෑස් කන්නේ නැහැ. කාදිනල්තුමා නළු නිළියන් ගායක ගායිකාවන් විතරක් නොවෙයි න්‍යායාචාරයයන් ගමනක් බිමනක් යන ගමන් කෑවොත් මිස කඳුළු ගෑස් කන්නේ නැහැ. අයගෙන් සමහරු මාධ්‍ය සාකච්ඡා පවත්වා කඳුළු ගෑස්වලට විරුද්ධ කඳුළු වගුරවනවා. කිඹුල් කඳුළු කියා මගෙන් අහන්න එපා. මා කිඹුල බනිස් නම් කාල තියෙනවා.

 

එහෙත් කිසිවකු ගෝඨා පැන්නුවේත් නැහැ රනිල් පත් කර ගත්තේත් නැහැ. ඔවුන් පරගලයට සහභාගි වුණා. ඒක ඇත්ත. එහෙත් පරගලය පරයන්ගේ. එය මෙහෙය වූයේ බටහිරයන් හා ඉන්දියාව. එහි පෙරහුරුවක් හරින් ප්‍රනාන්දු කර තියෙනවා. ඔහු හා රනිල් අතර ලොකු සම්බන්ධයක් තියෙන බව පේනවා. කොහොම වෙතත් හරින් කඳුළු ගෑස් කන්නේ නැහැ. බටහිරයන් කන්නේත් නැහැ. ඉන්දීය මහා කොමසාරිස්ගේ නිවස තියෙන්නෙත් කොළඹ විශ්වවිද්‍යාලය අසල. ඒත් කුමාරතුංහ මුනිදාස මාවතේ. කඳුළු ගෑස් පැත්තට යන්න නැතුව ඇති.

 

ඔය විවිධ තානාපතිවරු මහා කොමසාරිස්වරු ඔවුන්ගේ දෙවැනියන් දැන් අටපිරිකර අරන් මල්වතු අස්ගිරි යනවා. ඔවුන්ට කඳුළු ගෑස් වදින්නෙ නැත්තෙ හින්ද කියල කවුරු හරි කියන්න බැරි නැහැ. අර කලාකරුවන් න්‍යායාචාර්යවරුන් කතා කරන්නෙ ශ්‍රී මහා බෝධිය ළඟ අරක්කු බොන්න. ඔවුන් හොයන්නෙ බුදු හාමුදුරුවන්ගෙ වැරදි. ඔවුන්ටත් කඳුළු ගෑස් වදින්නෙ නැහැ. කවුරු හරි කියන්න බැරි නැහැ කඳුළු ගෑස් ගැන සූත්‍ර දේශනාවෙ සඳහන් වෙන්නෙ නැහැ කියල. කුමක් වුණත් බෞද්ධයන් දන්නවා අටපිරිකර පූජා කිරීම අරක්කු බීම වගේ දේ සමග කඳුළු ගෑස් සම්බන්ධ නැහැ කියල.

 

අරක්කු හා තුවක්කු අපට ලැබුණෙ මුස්ලිමුන්ගෙන් මිස පෘතුගීසීන්ගෙන් නොවන බවට මතයක් තියෙනවා. පෘතුගීසීන් පාන් කාලා මත්පැන් බොනව සිංහලයන් දැකල තියෙනවා. ඒත් රතුපාට වයින් වෙන්න ඇති කියලයි කියන්නෙ. අරක්කු එහෙම රතු පාටක් නැති බවයි මා දැක ඇත්තෙ.  කොහොමත් අරක්කු තුවක්කු ආදියෙහි පෘතුගීසි ඌරුවක් නැහැ. මොකක් වුණත් සිංහලයන්ට අරක්කු බොන්න පුරුදු කරල තියෙන්නෙ ඉංගිරිසින්. 

 

ඔය දේශීය වශයෙන් පරගලයට සහභාගි වුණූ අය කළෙ වටලප්පන් හා බිරියානි කෑම. දැන් සමහරු කඳුළු ගෑස් කනවා. ඒක හොඳ වැඩක් නො වෙයි. ඒත් දැන් කිසිවකුට කඳුළු ගෑස් පාලනය කරන්න බැහැ. ගෝඨාභය නම් කඳුළු ගෑස් ගහපු බවට ආරංචියක් නැහැ. සමහරවිට ගෝඨාභය කඳුළු ගෑස් ගැහුව නම් ඉන්නත් තිබුණා. ඔහු අර දේශීය පරගලයන් වටලප්පන් කමින් තමන් වටලපු දවසවෙත් කඳුළු ගෑස් ගහල නැහැ.

 

දේශීය පරගලයන් දැන ගෙන හිටියෙ නැහැ ගෝඨා ගෙදර ගියාට පස්සෙ මොක කරන්නෙ කියලා. ඔවුනුත් දැන ගෙන හිටියෙ කුඩාරම් ටික ගලව ගෙන ගෙදර යන්න. ක්‍රම වෙනස සමහර විට වෙන පාරකින් ගෙදර යන එක වෙන්න පුළුවන්. පරයන් තමයි සියල්ල දැන හිටියෙ. රනිල් හරින් වජිර ආදීන් දැන ගෙන ඉන්න ඇති. මගේ මිතුරකු මා සමග කිවුවේ රනිල් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්නටත් පෙර රනිල් ඔය වකවානුවේ ජනාධිපති වෙන බව වජිර කියා තිබෙන බව. එය ඇත්ත නැද්ද කියා මා දන්නේ නැහැ. ඒත් පරගලය මෙහෙය වූ පරයන් නම් රනිල් ජනාධිපති කිරීමේ සැලස්ම ක්‍රියාත්මක කළ බව දැන් දැන් වඩාත් පැහැදිලි වෙනවා.

             

එහෙත් දේශීය පරගලයන් වෙන කවුරුන්වත් ගෝඨාභය පැන්නුව  කියල සම්ම ජාතියෙ පිළිගන්නෙ නැහැ. ඔවුන්ට ගෝඨාභය යැවීමේ ඊනියා ගෞරවය තමන් ලබා ගැනීමට අවශ්‍යයි. කමක් නැහැ ඔහෙ ඕන ගෞරවයක් ලබා ගත්තාවෙ. ඒත් ඔවුන් රනිල් පත් කෙළේ තමන් කියා නම් කියන්නෙ නැහැ. දැන් එතකොට දේශීය පරගලයන් ගෝඨාභය ඉවත් කරල වෙනත් කවුද රනිල් පත් කරල ගෝඨාභය ඉවත් කරපු සමහරුන්ට කඳුළු ගෑස් කන්න සලස්සනවා. ඒක නම් හොඳ කෑමක් නො වෙයි. කොහොම වුණත් ගෝඨාභය පැන්නුවෙ තමන් කියන අයට රනිල් පන්නන්න බැහැ.

 

අවශ්‍ය නම් න්‍යායාචාර්යයන්ට ඒකට උත්තරයක් හදා ගන්න පුළුවන්. ගෝඨාභය පත් කෙරුණෙ ජනතාව විසින්. නිසා ජනතාව ආතල්ගමට ඇවිත් ගෝඨාභය පැන්නුවා. රනිල් පත් කෙරුණෙ ජනතාව විසින් නො වෙයි. නිසා ජනතාවට ඔහු ඉවත් කරන්න බලයක් නැහැ.

 

දැන් එතකොට අර ප්‍රශ්නයට උත්තරේ මොකක් ?  උත්තරයක් නැහැ. ප්‍රශ්නය වැරදියි. "පරගලයන් ගෝඨා පන්නා පත් කර ගත් රනිල්ගේ (කඳුළු) ගෑස් කන්නේ ඇයි?"  දේශීය පරගලයන් ගෝඨා පැන්නුවෙත් නැහැ. රනිල් පත් කර ගත්තෙත් නැහැ. ඔවුන්ගෙන් සමහරුන් වෙන මොකක් දෝ හේතුවකට හරි අහේතුවකට හරි කඳුළු ගෑස් කනවා.