Main Logo

Tuesday 21 March 2023

අපි අනුන්ගෙ

 අපි අනුන්ගෙ

 

අද ජනාධිපති ජාතිය අමතනවා. මොන තරම් දෙයක් ? අද ඔහු වෙන මොනව කිවුවත් ප්‍රධාම වශයෙන් කියන්න යන්නෙ ජා මු ලෙ ණය දෙන්න යන බව. නිසා අපට තව ණය ගන්නට ඊනියා ජාත්‍යන්තර සහතිකයක් ලැබෙන බව මිසක් අද සූර්යයා උත්තරාර්ධගෝලයට එන බව නො වෙයි. ඔහුට වසන්තය උදා වෙලා ටිකක් දවස්. දැන් ඔය සහතිකේ ලැබෙන්නෙ ඊයේ රෑ ඉඳන් නො වෙයි. අපි බංකොළොත් බව ඊනියා ආර්ථික විද්‍යා විශේෂඥයන්ගේ කීමට ප්‍රකාශ කරන තෙක් අපට සහතික ඔක්කොම තිබුණා. අර විශේෂඥයන්ගෙ කීමට බංකොළොත් කියා ප්‍රකාශ කළාට පස්සෙ තමයි සහතික ටික නැතුව ගියේ.

 

ජා මු ලෙත් මේ පළමු වතාවට ණය දෙනවා නො වෙයි. අපි දහසය වාරයක් මීට කලින් ජා මූලෙට ගිහින් තියෙනවා. ඔක්කොමත් එක්ක අපි බංකොළොත් වුණා. ඔය මොන හොරකම් ගැන කිවුවත් අපි බංකොළොත් වුණෙ ප්‍රධාන වශයෙන් ණයට කාපු නිසා. අපි තවමත් ඒක පිළිගන්න කැමති නැහැ. වෙනුවට හිටපු ජනාධිපතිලාට අගමැතිවරුන්ට මුදල් ඇමතිවරුන්ට ඔවුන්ගෙ පුතාලට මහා බැංකු අධිපතිවරුන්ට සහ තවත් හිතට එන අයට වැරැද්ද පටවනවා. මා අය නිදොස් කරනවා නො වෙයි. ඔවුනුත් යම් ප්‍රමාණයකට වැරදිකරුවන්. එහෙත් මූලික වෑරදිකරුවන් අපි.

 

රට වගේ පෞද්ගලිකවත් අපි ණය කාරයො. අතමාරුවක් කියන එක අපර හුරු කතාවක්. අතමාරුත් එක්ක අපට  අතුත් මාරු වෙනවා. අවසානයේ අපට අතත් නැති වෙනවා. අපි ණය වෙලා වාහන ගන්නවා. වාරික ගෙවන්න බැරි වුණාම බදු සමාගම ඇවිල්ල වාහනේ අරන් යනවා. අපි සමාගමටයි වාහනෙ අරං ගිය අයටයි බැණ බැණ මිතුරන්ගෙන් ඥාතීන්ගෙන් අතමාරුවක් ගන්න බලනවා වාරික ගෙවන්න. හරියට ඥාතීන් මිතුරන් අපි වෙනුවෙන් ඉන්නවා වගේ. "අපි වෙනුවෙන් ඔවුන්" තමයි අපේ තේමා පාඨය. ඉස්සර කතාවක් තිබුණ අපි අනුන්ගෙ කියලා.

 

අපි රට හැටියටත් කටයුතු කරන්නෙ වගේ. අපි අනුන්ගෙ. අනිත් රටවල් අපට ණය දෙන්න ඕන. ඒක අපේ අයිතිවාසිකමක් වගේ. එහෙම වුණත් සිංහලයන් අතර කතාවක් තිබුණා අනුන්ට අත පාන්නෙ නැතුව ජීවත් වෙන්න. කතාවට මොකද වුණෙ. මා පහුගිය දවස්වල කල්පනා කරපු එක දෙයක් වුණෙ අපේ කතාවලට මොකද වුණෙ කියන එක. සිංහලයන් නරක මිනිසුන් නො වෙයි. රොබට් නොක්ස් වගේ හිරකාරයකුත් අප ගැන නරකක් කියල නැහැ. සිංහලයන් විනෝදයට බොරු කියනව කියල නම් තිබුණා. දැනුත් ඒක නම් තියෙනවා.

 

ඒත් අපි අනෙකාගේ විපතෙදි අනේ අපොයි කියපු අය. කුරා කූඹියකුටවත් විපතක් වෙන්න එපයි කියපු අය. අනෙකාට උදවු උපකාර කරමින් සාමූහික ජීවිත ගත කළ අය. ඒත් අද අප අනෙකාට ඊර්ෂ්‍යා කරන අපේ වැඩක් බලාගෙන ජීවත් වෙන්න හදන ඒත් අනෙක් අයගෙන් අතමාරු බලපොරොත්තු වෙන අය. අපට ඇත්තේ පෞද්ගලික එහෙත් අනෙකුන්ට වඩා ඉහළ යෑමට උත්සාහ කරන ජීවිත. බටහිර රටවල ඇත්තේ පෞද්ගලික ජීවිත. ඇමරිකාව අතින් බොහෝ දුර ගිහින්. ඇමරිකාව එක අතකට කරන්නෙ ඉංගිරිසින් පටන් ගත් දේ ඔවුන්ගේ ව්‍යවහාරයකට අනුව තර්කානුකූල අන්තයකට ගෙන යන්න උත්සාහ කිරීම. බටහිර රටවල අනුන් ගැන සෙවිල්ල අඩුයි. අපේ අධ්‍යාපනයෙන් අප නැති කරලා. අපට තරගය ඊර්ෂ්‍යාව ආදිය ලබා දීල.

 

බටහිරයන් විකාශය වෙන්නෙ ඔවුන්ට ආවේණික ක්‍රමයකට. අපට අද අපේ ක්‍රමයක් කියල එකක් නැහැ. අප බටහිර ක්‍රමයට ඉන්න හදනවා. අපට ඒක කරන්න බැහැ. අපට බටහිර ක්‍රම අපට ආවේණික ක්‍රමයකට සකස් කර ගන්න, අවශෝෂණය කර ගන්න බැරි වෙලා. අප ඉස්සර නම් තරමක් දුරට එය කළා. අපි බටහිරයන්ගෙ අර්තාපල් අරන් අල හොදි හැදුවා. අපි කලක් හැන්දෙන් ගෑරුප්පුවෙන් බත් කැව. ඒක අතින් කනවට වඩා හොඳයි කියන එක නොවෙයි මා කියන්නෙ. ඒත් එය ගෑරුප්පුවෙනුයි පිහියෙනුයි බත් කනවට වඩා හොඳයි. බත් ගුලි හදන්න ඔය මොකකින්වත් බැහැ. මෑෂ්ඩ් පොටේටොස් කොහොමද?

 

අපි අද සතුටු වෙනවා දැන් ඉතින් ණය ගන්න පුළුවන් කියල. අපේ වාරික ගෙවල අරන් ගිය වාහනය ආපහු ගේන්න පුළුවන් කියල සතුටු වෙනවා. ඒත් වාහනයට තෙල් ගේන්න ඕන. දැන් පඬි නැට්ටන් අහන්න පුළුවන් බරකරත්තෙන් යන්න කියන්නෙ කියලා. අපොයි නැහැ. ගොන්නු එන එකක් නැහැ අපේ කරත්ත අදින්න. උන් එච්චර ගොන්නු නො වෙයි. පෞද්ගලික වාහන එපා කියල නො වෙයි මා කියන්නෙ. අපි පොදු වාහනත් පාවිච්චි කරමු. ඔව් අපට වාහනයක් තිබුණ කාලෙත් මාත් අපේ පවුලෙ අයත් බසයෙන් ගමන් කළා. ඇමරිකාවෙ පෞද්ගලික වාහන නැතුව ජීවත් වෙන්න බැහැ. අපි තත්වයට වැටෙන්න ඕන ? ඒක දියුණුවක් ?

 

අපි ණය ගෙවන ක්‍රමයක් කල්පනා කරන්න ඕන. ඔය ණය කවදා හරි ගෙවන්න ඕන. ජාමුලෙ ණය දෙන්නෙ පිනට නො වෙයි. ඔවුන්ගෙ කොන්දේසි ටික ටික හෙළි වේවි. අපට අමාරු වේවි.  මහා බැංකුව ස්වාධීන වෙන්න ඕන කියනවා. මේ ලෝකෙ කිසිම පුද්ගලයකු හරි ආයතනයක් හරි ස්වාධීන නැහැ. පුද්ගලයකු සත්වයකු නොවෙයි අශූවක්වත් ස්වාධීන නැහැ. අඩු තරමෙන් පැටළුණු අංශුවත් එකිනෙකින් ස්වාධීන නැහැ. අංශුත් ඉක්මනින් අනෙක් අංශුත් එක්ක පැටළෙනවා. මහා බැංකුව ලංකාවෙන් ස්වාධින කරල ජාමූලෙට යටත් කර ගන්නයි වෑයම.

 

බටහිර කාර්මික විප්ලවය කියන එකෙන් පස්සෙ ලෝකෙ ඉතා ඉක්මණින් වෙනස් වෙනවා. ඒකෙ මූලික කතාව මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම. අපට මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් දේ මොනවා ? මහා මහා පරිමාණයෙන් බැරි වුණත් සුළු පරිමාණයෙන් හරි නිෂ්පාදනය කරන ක්‍රම මොනවා ? ගෘහ කර්මාන්ත ජාලයක්  ඇති කරගන්න පුළුවන් මොන අංශවල ? සාමූහිකත්වය වඩා ඉස්මතු කර ගන්නෙ කොහොම ?

 

අප අතර ඉතා හොඳ ශිල්පීන් ඉන්නවා. සිංහලයන් හොඳ ශිල්පීන් මිසක් ශාස්ත්‍රඥයන් නො වෙයි. මේ දවස්වල කතාබහට ලක්වන රංග ඩයස් විශිෂ්ට ශිල්පියෙක්. අප සිප්සතර ගැන කිවුවට අපේ සතර අර සතර පත්තරේට සීමා වෙලා. අපි ඒත් හිතන් ඉන්නවා අපේ සතර හොඳයි කියල. අපේ අධ්‍යාපනයෙ මුල් තැන නො වෙයි එක තැන දෙන්නෙ සතරට. ඒත් අපට බැරීමත් සතර. අපට සතරින් රංග ඩයස් කෙනකු බිහිකරන්න බැහැ. මට නම් සිප්සතර දෙකෙන් එකක්වත් බැහැ. මා හිතන් හිටියා මට සතර පුළුවන් කියලා. අවුරුදු පනස්හතරකට උඩ දි බැරි බව තේරුම් ගත්තා.

 

අපි අපට පුළුවන් දේ කරන්න බලමු. මොනව කළත් ආනයන සීමා කරන්න ඕන. නිෂ්පාදනය වැඩි කරන්න ඕන. නැත්නම් අපේ වාහනය උස්සන් යාවි.