ඩොලර්
කන මධ්‍යම පංතිය
මෙරට මධ්‍යම පංතිය තම පැවැත්ම උදෙසා දිළින්දන් අඩු ආදායම් ලාභීන් බිල්ලට දෙන බව පැහැදිලියි. මා කියන්නේ ඉහළ මධ්‍යම පංතිය ගැන මෙන් ම පහළ මධ්‍යම පංතිය ගැනත්. වැඩියෙන් ම වාම ඊනියා ප්‍රගතිශීලි අදහස් ඇත්තේ වැටුප් ලබන ඊනියා උගත් මධ්‍යම පංතියටයි. නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ මධ්‍යම පංතියටයි.
අප
ආනයනය කරන භාණ්ඩ හා ඒවා පාවිච්චි කරන අය අතර විධිමත් සමීක්‍ෂණයක් කිසිවකු විසින් කෙරී ඇත්දැයි මා දන්නේ නැහැ. සමස්ත ආනයනවලින් කිනම් ප්‍රතිශතයක් මධ්‍යම පංතිය වෙනුවෙන් ද? අද
ඇඳුම් පැලඳුම් අත් ඔරලෝසු දුර කථන ආදිය බොහෝ විට මධ්‍යම පංතිය වෙනුවෙන් ආනයනය කෙරෙනවා. දැන් මෝටර් රථ ආනයනය සීමා කර ඇති. එහෙත් ඒ ආනයනය වැඩි පුර ම කෙරුණේ මධ්‍යම පංතිය වෙනුවෙන්. මාත් අවුරුදු හතළිහක් පමණ කුඩා මෝටර් රථයක් පාවිච්චි කළා. එය ඕස්ත්‍රේලියාවේ
සිටිය දී උපයාගත් මුදලින් මිල දී ගත් එකක්. ඒත් එ දිනවල එය කතා බහට ලක් වුණේ මා බරකරත්තයෙන් ගමන් නොකරන්නේ ඇයි ද යන ප්‍රශ්නයත් සමග. ඒ වමාලා හා සෙස්සන් එකල ජාතික චින්තනය තේරුම් ගත් ආකාරය. අද කියා වෙනසක් නැහැ. පුදුමය එවැනි ප්‍රශ්න වෙනත් ජාතිකවාදීන්ගෙන්
නොඇසීමයි.
මෙරට
මධ්‍යම පංතිය කන්නේ ඩොලර්. එයින් මා අදහස් කරන්නේ කෑම බීම ගැන ම නො වෙයි. මධ්‍යම පංතියේ ජීවන රටාව සඳහා ඩොලර් අවශ්‍යයි. මධ්‍යම පංතියේ අවශ්‍යතා තීරණය කෙරෙන්නේ බටහිරින්. ඒ අවශ්‍යතා සපයන්නේත් බටහිරයන්. මධ්‍යම පංතියට කන්න ඩොලර් උපයනනේ දිළින්දන්. එහෙත් මධ්‍යම පංතිය දිළින්දන් ගැන දක්වන අනුකම්පාව කුමක් ද? සුපර් මාර්කට් ගොස් මිල නියම කර ඇති භාණ්ඩ ඒ මිලට ම ගන්නා මධ්‍යම පාංතිකයන් පොළට ගොස් කන්කුන් මිටියක් ගැනීමේ දී හෙට්ටු කරනවා. සුපිරි හෝටලයක කන්කුන් සමග කෑම වේලකට දහස් ගණනක් ගෙවනවා.
ව්‍යාපාරකයන් හරි ව්‍යවසායකයන් හරි කියන අය යම් ධනයක් උපයනවා. එහෙත් ඔවුන් ද වැඩියෙන් කරන්නේ සේවා සැපයීමයි. මෙරට නිෂ්පාදන ආර්ථිකයක් නැති තරම්. ඒ කෙසේ වෙතත් අද අපට ඩොලර් උපයන්නේ කවුද? අර ව්‍යවසායකයන් කිහිප දෙනා යටතේ වැඩ කරන සේවක සේවිකාවන්. ඒ හැරුණු විට රැකියා සඳහා අරාබිකරයට කොරියාව වැනි රටවලට යන්නන්. ඔවුන් රැකියා සඳහා පමණක් යන නිසා අපට ඩොලර් ටිකක් ලැබෙනවා. බැරිවෙලාවත් ඔවුන් පදිංචියට ගියොත් ඒ ඩොලර් නැති වෙනවා. එවිට ඔවුන්ට දරුවන්ගේ කටයුතුවල නිරත වෙමින් පවුල් ජීවිතයක් ගත කරන්න වෙනවා.
එයට
අමතර ව දැන් තොරතුරු තාක්‍ෂණ අංශයේ රැකියා කරන අය ඩොලර් ටිකක් උපයනවා. මධ්‍යම පංතිය අතින් උපයනු ලබන්නේ ඒ ඩෙලර් ටික පමණක් වෙන්න පුළුවන්. වෙනත් අංශයක් තිබුණත් විශාල මුදලක් උපයනවා කියා හිතන්න අමාරුයි. මධ්‍යම පංතිය ඩොලර් උපයනවා වෙනුවට කනවා. මේ මධ්‍යම පංතියෙන් විශාල පිරිසක් නිදහස් අධ්‍යාපනය නිසා බිහි වූ අය වීම කණගාටුවට කරුණක්.
මා
සංඛ්‍යාන ගැන එතරම් විශ්වාසයක් නැහැ. අර ඉංගිරිසි කියමනක් තියෙනවා බොරු පට්ටපල් බොරු හා සංඛ්‍යාන කියා. විශේෂයෙන් ම මහා බැංකුවේ සංඛ්‍යා ලේඛන ගැන විශ්වාස කරන්න අමාරුයි. එතැනත් වැඩ කරන්නේ නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ මධ්‍යම පාංතිකයන්. පහුගිය දින කිහිපයේ හදිසියේ රුපියල ශක්තිමත් වුණා. එය කොහොම වුණා ද කියා හරියට කියන්නෙ නැහැ. කියන්නේ නවත්තපු ආකාරයයි. මහා බැංකු අධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිතය හා භෞතික විද්‍යාවෙන් ප්‍රථම උපාධිය ලබා ගත් අයෙක්. නවත්තන්න කරපු දේ හොඳයි කියමු. එක සැරේට එහෙම රුපියලේ අගය ඉහළ පහළ යෑම හොඳ නැහැ කියනවා. අපට කියනවා ද එක සැරේට එහෙම වුණෙ මොකද කියලා. අඹ වැටුනෙ කොහොමද කියනවා ද? පොලු ගහල ද? මේකත් පොල්ලක් ද? ණය ගෙවන්නෙ නැති නිසා තෙල් පරිභෝජනය ටිකක් අඩු නිසා ඩොලර යම් ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඒත් මේ හදිසියේ පිට පිට තෙවරක් අඹ වැටුනේ කොහොම ද?
මධ්‍යම පංතියට තම තමන් අතර ගොඩනගාගත් සම්බන්ධකම් තියෙනවා. ඔවුන් සාමාන්‍යයෙන් එකිනෙකාගෙ පිට කසා ගන්නවා. ඔවුන්ට බලපෑම් කරන්න පුළුවන්. එමගින් තමන්ගෙ වැඩ කරගන්න පුළුවන්. අද
ඡන්ද දිනන්නෙ මධ්‍යම පංතියෙ බලපෑම මත. දේශපාලනඥයන් මධ්‍යම පංතිය සතුටු කරන්න ඕන. ඔවුන්ගෙ අවශ්‍යතා ඉටු කරන්න ඕන. මධ්‍යම පංතියට තම දරුවන්ගෙ අවශ්‍යතා ඉටු කරන්න ඕන. දරුවන්ගෙ අවශ්‍යතා සීමා කිරීමක් දැන් සිදුවෙන්නෙ නැහැ. ඩොලර්
කන එකට සීමා නැහැ.
ඒ අතර ඊනියා උගත් මධ්‍යම පංතිය තමන් දිළින්දන් ගසා කමින් ව්‍යාපාරිකයන්ගේ
ගසා කෑම ගැන ප්‍රගතිශීලි කතා කියනවා. උගත් මධ්‍යම පංතිය කියන්නෙ තමන් විභාග සමත් වීමට මහත් කැප කිරීමක් කළ බව. මහන්සි වී පාඩම් කළ බව. ඒක ගැන මා දන්නේ නැහැ. ඒ වුණත් දිළින්දන් ද ඒ සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් කැප කිරීම් කර තියෙනවා. නිදහස් අධ්‍යාපනය ඇතුළු රජයේ වියදම් කෙරෙන්නෙ බොහෝ විට වක්‍ර බදු කියන බදුවලින්. ඒ බදු අඩු ආදායම් ලාභීන්ට ගෙවන්න වෙන්නෙ ඉතා ඉහළ ප්‍රතිශතයකින්. රුපියල් ලක්‍ෂ දෙකක මාසික වැටුපක් ලබන්නාත් වැඩ තියෙන දාට කුලී වැඩ කරල කීයක් හරි හම්බ කරන්නාත් කන්නෙ එක ම පරිප්පු.