පාස්කු ප්‍රහාරය මෛත්‍රිපාල එලවීමට ද?
දින පනස් දෙකේ ආණ්ඩුව බිඳ වැටීමෙන් පසු යහපාලන ආණ්ඩුව රනිල් අගමැති ලෙස පත් වී නැවත ක්‍රියාත්මක වුණා. එහෙත් එය අක්‍රීය වුණා කීම නිවැරදි කියා හිතනවා. අගමැති හා ජනාධිපති හිටියේ විරුද්ධ මතවල. ආරක්‍ෂක මණ්ඩල රැස්වීම් අගමැති නැතුව පැවැත්වුණා. බුද්ධි අංශ ක්‍රියාත්මක වුණෙ කාගෙ විධාන යටතේ ද කියන්න බැහැ. සමහරවිට එතරම් කාර්යක්‍ෂම ව ක්‍රියාත්මක නොවන්නත් ඇති. දින පනස් දෙකේ ආණ්ඩුව දිගට ම පවත්වාගෙන යෑමට නොහැකිවීමත් අද පවතින ආර්ථික අර්බුදයට වඩා දේශපාලන අර්බුදයට හේතුවක්.
2005න් පසු මෙරට නැවත වරක් ජාතිකත්වයේ වර්ධනයක් දකින්න පුළුවන් වුණා. නන්දිකඩාල් ජයග්‍රහණයටත් එය ප්‍රධාන හේතුවක් වුණා. ඒ දැක වැඩියෙන් ම ක්‍රියාත්මක වූයේ සිංහල බෞද්ධ විරෝධීන්. බටහිරයන් හා ඉන්දියාව ද ඒ ගණයට අයත්. 2010 ජනාධිපතිවරණයේ දී ඔවුන්ට මහින්ද පැරදවීමේ අවශ්‍යතාව තිබුණා. ඔවුන් ඒ සඳහා තම අපේක්‍ෂකයා ලෙස තෝරා ගත්තේ රනිල්වත් වෙනත් සාම්ප්‍රදායික බටහිර ගැත්තකු හරි හිතවතකු හරි නොව සරත් ෆොන්සේකා.
පසු
කලෙක මෛත්‍රිපාල නැති කරගත්තා මෙන් රාජපක්‍ෂලා සරත් ෆොන්සේකා ද නැති කරගත්තා. ඒ නන්දිකඩාල් ජයග්‍රහණයේ ගෞරවය බෙදා ගන්න බැරුව. සරත් ෆොන්සේකා ජාතිකත්වයට නැති වීම විශාල පාඩුවක්. බටහිරයන් ඔහු අල්ලා ගත්තා. මට මතක හැටියට ඇමරිකාවේ ප්‍රාන්තයක ඔහුට විරුද්ධ ව තිබූ ඊනියා මානව අයිතිවාසිකම් කඩ කිරීමේ නඩුවක් ද අස්කර ගත්තා. අදත් විවිධ රණවිරුවන්ට බටහිර රටවල් විවිධ තහංචි පනවද්දී එකල හමුදාපති සරත් ෆොන්සේකාට එවැනි බාධා ඇති කරන්නේ නැහැ. අද ගෝඨාභයටත් ඉන්දියාවටවත් වීසා නොදෙන බව අමතක කරන්න එපා. තහංචි සම්බන්ධයෙනුත් ඊනියා වාස්තවික යථාරථවාදී නිර්ණායක නැහැ.
ඇතැමුන් හිතනවාට වඩා අප රටේ දේශපාලනයට බටහිර හා ඉන්දියාවේ බලපෑම වැඩියි. එය ඩී එස් සේනානායක කාලයේ සිට නොව එයටත් පෙර සිට එන්නක්. අද ඒ බලපෑම හොඳට ම වැඩිවෙලා. මේ බලපෑම යම් පමණකට හරි සමනය කර ගැනීමට හැකි වූයේ ජාතිකත්වයට. එබැවින් ම එදා සිට ම බටහිරයන් හා ඉන්දියාව ජාතිකත්වයටව විරුද්ධයි. එසේ
තිබියදීත් ලබාගත් නන්දිකඩාල් ජයග්‍රහණය අපි අභිමානයෙන් සිහිපත් කරන්න ඕන. එහෙත් එසේ කරන්නන් නැහැ.
කොහොමටත් නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු සිංහල ජාතිකත්ව විරෝධීන් ජාතිකත්වය නැති කිරීමට සියලු වීර්ය යෙදුවා. ඔවුන් ආණ්ඩුව විසින් අත්හරිනු ලැබූ සරත් ෆොන්සේකා වැළඳ ගත්තා. ජාතිකත්වයට එරෙහි ව ජාතිකත්වය වෙනුවෙන් හමුදා මෙයෙවූ පුද්ගලයා ම ජනාධිපති අපේක්‍ෂකයා බවට තෝරා ගත්තේ හොඳින් හිතා බලා වෙන්න ඕන. ඒ අවස්ථාවේ රනිල් තෝරා ගත්තා නම් මහින්දගේ වැඩි ඡන්ද සංඛ්‍යාව තවත් වැඩි වෙනවා නොදනුමානයි.
2010
ජයග්‍රහණය මා කලින් සඳහන් කළ උද්ධච්ඡකම් නිසා රඳවා ගන්න බැරි වුණා. ජාතිකත්ව විරෝධීන් 2015 දීත් තෝරා ගත්තේ ජාතිකත්වයක් ඇති පුද්ගලයෙක්. ඒ ඔහුට ඇති ගෞරවයක් කැමැත්තක් නිසා නො වෙයි. මෛත්‍රිපාල සුදුසු අපේක්‍ෂකයා වුණා. 2010ත් 2015ත් මහින්ද සමග සටනට තෝරා ගනු ලැබුයේ රාජපක්‍ෂලා අත්හෑරි ජාතිකත්වයට සමීප පුද්ගලයන් දෙදෙනකු බව අප අමතක නොකළ යුතුයි. ඉනුත් පැහැදිලි වන්නේ ජාතිකත්වයේ ශක්තියයි. ඒ ශක්තිය ගැන පඬි නැට්ටන්ට වඩා වලිග කරකවන්නන් දන්නවා.
එබැවින් ම මෛත්‍රිපාල තෝරාගත් අය ම වැඩිකල් නොගොස් ඔහුට විරුද්ධ වුණා. යහපාලන ආණ්ඩුවේ මතභේද හටගත්තෙත් අවසානයේ දී ජාතිකවාදීන්ගේ මග පෙන්වීම යටතේ දින පනස් දෙකේ ආණ්ඩුව පිහිටුවා ගනු ලැබුයේත් ඒ මතභේද මධ්‍යයේ. එහෙත් බටහිර තානාපතිවරුන්ට හා වෙනත් අයට (ජාතිකවාදී කඳවුරේ ඇතැමුන්ටත්) පුළුවන් වුණා යටත්විජිතගේ මීටර් සීයත් සමග ආණ්ඩුව බිඳ දමන්න. කිසිම රටක නොවන විධියට දින පනස් දෙකේ ආණ්ඩුව වැටුණු විට තානාපතිවරුන් පාර්ලිමේන්තුවේ
ප්‍රීති ඝෝෂා පැවැත්වුවා. ඔවුන්ටත් ආණ්ඩුවටත් වියනා සම්මුතිය අමතක වෙන්න ඇති.
එහෙත් මෛත්‍රිපාල ඉවත කිරීමට බැරි වුණා. ඔහු අද රනිල් මෙන් නොව ඡන්දයෙන් පත්වුණු ජනාධිපති. ඔහුට විරුද්ධ ව දෝෂාභියෝගයක් ගෙනෙන එකත් ව්‍යවස්ථාව අනුව පහසු වැඩක් නො වෙයි. රාජ්‍ය අකර්මණ්‍ය වෙලා. පාස්කු ප්‍රහාරය මෛත්‍රිපාල ඉවත් කිරීම සඳහා ක්‍රියාත්මක වූවක් ද? එහි මහා මොළකරු කවුද? මා කාදිනල්තුමාගෙන් අහන්නේ නැහැ. කාදිනල්තුමා නම් නො වෙයි. එහෙත් ඇතැම් පිරිසක් පාස්කු ප්‍රහාරය ගැන කලින් ම දැන සිටියා. ඇතැමුන් එදා පල්ලි ගියේ නැහැ. අපි සිද්ධියෙන් සිද්ධියට යන්නෙ නැතුව සිද්ධි මාලාව හදාරමු. (මතු සම්බන්ධයි)