Main Logo

Friday 31 March 2023

සීගිරි කතා

 සීගිරි කතා

 

ශූන්‍යය ගැන කතාව දිගට යනවා. ඒක හොඳයි. නාගර්ජූනපාදයන්ගේ ශූන්‍යතාව පටිච්චසමුප්පදාය මහායානය ථෙරවාදය නිවන ආදිය කතාබහට ලක් වෙනවා.  මා මූලික වශයෙන් ථෙරවාදී බෞද්ධයෙක්. එහෙත් මා පොතපතේ කියා තිබූ පමණින් යමක් පිළිගන්නේ නැහැ. යුදෙවුවන් දෙවියන් වහන්සේ පිළිගන්නවා. එහෙත් ඔවුන් නිතර දෙවියන් වහන්සේ තේරුම් ගැනීමට උත්සාහ කරනවා. ප්‍රශ්න කරනවා. මූලික ප්‍රශ්න කිරීම අපේ සංස්කෘතියේ නැහැ. අපේ මූලික ප්‍රශ්නය එයයි.

 

මා හිතනවා මගේ ලෝකයේ දෙවැනි කොටස ලිවීමට කාල එළඹෙමින් පවතිනවා කියා. එහෙත් එය ලිවීමට මට හිත් දෙන්නේ නැහැ. ලිවුවත් පොතක් හැටියට පළ කරනවා යන්න ප්‍රශ්නයක්. මගේ ලෝකයෙන් වැඩක් වෙලා නැහැ කියන එකයි මගේ හැඟීම. හාමුදුරුවරුන් ගිහි උගතුන් එය නොසලකා හැරියා. ගැන ලියැවුණේ එක් විචාරයක් පමණයි. එය විචාරයකට වඩා තම මතය කියා පෑමක්.

 

මෙලොව ඇත්තේ දෘශ්ටිවාද පමණයි. ඇතැමුන් අනෙක් අයට ඇත්තේ දෘශ්ටිවාද කියා කියනවා. එහෙත් ඔවුනටත් ඇත්තේ දෘශ්ටිවාදයක්. බුදුදහමත් දෘශ්ටිවාදයක්. එයට සම්‍යක්දෘශ්ටිය කියනවා. මා එය තේරුම් ගන්නේ දෘශ්ටිවාද අත්හැරීමට කියා දෙන දෘශ්ටිවාදය ලෙස. අවසානයේ දී අප සියලු දැනුම් අත් හරින්න ඕන. ඒත් එතකන් දැනුම් ගොතන්න වෙනවා.

 

ඊනියා විද්‍යාවත් දෘශ්ටිවාදයක්. එයත් දෘශ්ටිවාද අත්හැරීමට කියා නොදෙන දෘශ්ටිවාදයක්. එය පට්ටපල් බොරුවක් බව කීමට විද්‍යාව දැනගෙන ඉන්න ඕන නැහැ. මාත් දන්නා විද්‍යාවක් නැහැ. ටිකක් කට ගාගෙන තියෙනවා. මා බුදුදහමත් එතරම් කියවලා නැහැ. මා කටයුතු කරන්නේ මට තේරෙන බුදුදහම අනුව. නිවන කියන්නේ සියලු දෘශ්ටිවාද අත්හැරීම. එය ක්‍රියාවක්. නිවන කියා තැනක් නැහැ. අප සියල්ල මවා ගෙන ඉන්නවා. මේ සියල්ල අපේ සංස්කාර. අපට අනිච්ච දුක්ඛ අනත්ත තේරෙන්නේ නැහැ. මෙහි දුක්ඛ කියන්නේ දුක කියා මා හිතන්නේ නැහැ. අනිච්ච අනත්ත අතරට දුකක් රිංග වන්නේ අහවල් දේකට ? මෙහි දුක්ඛ කියන්නේ අයහපත් හිස් බව. කියන්නේ හිස් බව.

 

අප කරන්නේ කතන්දර ගෙතීම හා අනෙක් අය ගොතන කතන්දර එකතු කර ගැනීම. බුදු හාමුදුරුවන් දේශනා කෙළේ මේ සියල්ල මායාවන් කියා. බොරු කියා. අපට ඇත්තේ සංයුක්ත බොරු. බටහිර විද්‍යාවේ තියෙන්නේ වියුක්ත (abstract) බොරු. වියුක්ත කියන්නේ වෙන්වීම නොවෙයි. එයට අමූර්ත කියාත් කියනවා. වියුක්ත සංකල්ප ගැන හිතන්න පුළුවන්. එහෙත් හිතෙන් මවා ගන්නවත් බැහැ. යුදෙවුවන්ගේ දෙවියන් වහන්සේ හොඳ උදාහරණය. මවා ගන්න බැරි නිසා පිළිම නෙළන්න බැහැ. සරල රේඛාවත් (සංකීර්ණ නොවන)  වියුක්ත සංකල්පයක්. යම් කිසිවකු සරල රේඛා හිතෙන් මවා ගන්නවා නම් අඳිනවා නම් ඔහු සරල රේඛාවක් කියන්නෙ මොකක් කියා දන්නේ නැහැ. දිගක් පමණක් ඇති පළලක් ඝනකමක් නැති රේඛාවක් හිතෙන් මවා ගන්න හැකි අයකුටත් මා තෑගි මල්ලක් දෙනවා. මා වියුක්ත සංකල්පවලට ප්‍රවාදවලට පට්ටපල් බොරු කියනවා. සමහර බොරු වැඩ කරනවා.

  

මා කතන්දර එකතු කරන්නකුට වඩා කතන්දර ගොතන්නෙක්. මට අවශ්‍ය ශූන්‍යය සංකේතය ගැන සීගිරිය ගැන වැඩ කරන කතන්දරයක් ගෙතීමට. සීගිරියේ ඇත්තේ ශුන්‍ය සංකේතයක්. ඇතැමුනට ශූන්‍යයේ හා ශූන්‍ය සංකේතයේ වෙනස තේරෙන්නේ නැහැ. ශුන්‍ය සංකල්පය තිබුණත් සමහර විට සංකේතයක් නොතිබෙන්න පුළුවන්. දඹදිව ආර්යභට්ට වැන්නන් ශූන්‍යය ගැන දැන ගෙන ඉන්න ඇති. එහෙත් ආර්යභට්ටට ශූන්‍ය සංකේතයක් තිබුණේ නැහැ. ඔහු ජීවත් වුණේ කිතු වසින් 476 හා 550 අතර. ඔහු වැඩි වශයෙන් හිටියා කියන්නෙ  පාඨලීපුත්‍ර නගරයේ. ඒත් ඔහුට සීගිරි ශූන්‍ය සංකේතය ලැබිලා නැහැ. කෙසේ වුණත් සංකේතය තිත ලෙසින් ක්‍රිස්තු වර්ෂ 678 වන විට කාම්බෝජයට ගිහින් තියෙනවා.

 

ලංකාවේ ශූන්‍ය සංකේතය වැදගත් වන්නේ ස්ථානීය අගය සලකා තියෙන නිසා. සීගිරි සංඛ්‍යා සටහන් රූපයක් මා සතුව නැහැ. ඉතිහාසඥයන්ට එහි ගොස් බලා අපටත් දැක ගන්න ඡායාරූප පළ කරන්න කියා මා ඉල්ලා සිටිනවා. මා දන්නා ඉතිහාසයක් නැති වෙන්න පුළුවන්. එහෙත් වත්මන් සමහර ඉතිහාස කතා වැඩ කරන්නේ නැති බව නම් මට තේරෙනවා. සීගිරිය තැනුවේ කවුද? මහාවංසය ගැන කියන්නේ කුමක් ? සීගිරිය කාශ්‍යප රජුගේ නිර්මාණයක් වන්න බැහැ. එය නිම කිරීමට කල් යන්න ඇති. කාශ්‍යප රජු ඕන නම් පොඩි පොඩි වෙනස්කම් කරන්න ඇති. එසේ නම් සීගිරියේ වැඩ පටන් ගත්තේ කවුද? මහාවංසය ගැන කියන්නේ නැත්නම් අප කළ යුත්තේ කුමක් ? සම්බන්ධයෙන් විවිධ අය විවිධ මත ඉදිරිපත් කරලා තියෙනවා.

 

අපට ඕන බනිස්වලට කෙහෙල්ගෙඩි කීවාක් මෙන් විවිධ සංසිද්ධි සඳහා විවිධ කතා ගෙතීම නො වෙයි. මේ සියල්ල එකතු කරන තරමක ලොකු කතාවක් නිරීක්‍ෂණ සමග සංගත කතාවක් ගෙතීමයි. මහාවංසය ඇතැම් අවස්ථාවල සම්බන්ධයෙන් අසමත් වෙනවා.  අපි අසමත්කම නැති කරමු.

 

සිංහයාගේ හා ගුරුළාගේ ප්‍රශ්නය ගමු. ගුරුළා මගේ කතාවක් නො වෙයි. එය කාගේ කතාවක් කියා මා දන්නේ නැහැ. එහෙත් කතාව මෙරට ජන සමාජයේ තියෙනවා. එතැන සත්වයකු අඹා තිබුණා යැයි සිතමු සතා කවුද? ප්‍රශ්නය එයයි. හිසක් කඳක් නැති සතාගෙ ඇඟිලි ගණන් කර බලන එක තමයි පළමු කාරිය. එහි ඇඟිලි ගණන සිංහයකුගේ ඇඟිලි ගණනට සමාන වන්නේ නැහැ. එයට විවිධ උත්තර දෙන්න පුළුවන්. ප්‍රතිසංස්කරණයක දී ඇඟිලි කැඩී යෑම, කලාකරුවකු කලාත්මක ඇසින් සිංහයකු අඹා තිබීම ආදිය එවැනි කතා. කතා එතරම් සාර්ථක කතා නො වෙයි. කලාකරුවන්ට තමන්ට ඕනෑ ආකාරයකට සිංහයාගේ ඇඟිලි නිර්මාණය කිරීමට ඉඩ දුන්නේ කවුද? විජයගෙන් පැවත එන්නේ යැයි කියන රජකු ? මා නම් දකින විධියට වඩා හොඳ කතාව අනන් මනන් නැතුව ගුරුළකුගේ හරි අවශ්‍ය නම් වෙනත් එවැනි පක්‍ෂියකුගේ හරි රූපයක් ලෙස ගැනීමයි.

 

එතකොට අර කුරුටු ගීවල ඇතැයි කියන සිංහ රූප කතාව? මා නම් එක කුරුටු ගීයක්වත් කියවලා නැහැ. මා දන්නේ ඔය එක් එක් අය උපුටා දක්වා ඇති ගී කිහිපයක් පමණයි. කුරුටු ගීවලින් කරුණු කිහිපයක් පැහැදිලි වෙනවා. එකලත් සිංහලයන් චාරිකා (ට්‍රිප්) ගිහින් තියෙන බව. සීගිරිය බලන්න විවිධ ප්‍රදේශවලින් ජනයා පැමිණිලා තියෙනවා. ඔවුන් සීගිරිය බලා කවි ලියා තියෙනවා. අද මෙන් අහවලා මෙහි ආවා කියා පමණක් ලියා නැහැ.

 

සීගිරි ළඳුන්ගේ සිතුවම් ගැන තමයි බොහෝ දෙනා ලියා ඇත්තේ. ගීවල විවිධ ජනවර්ගවල ලඳුන් ගැන කියැවෙනවා ? මා දන්නේ නැහැ. එහි ගොස් බලා ගැන විවරණයක් කරන අයකුට තෑගි මල්ලක් දීමට මා නැවතත් පොරොන්දු වෙනවා. ගීවල අර සිංහ දොරටුව ගැන නැත්නම් සිංහ කට ගැන කිසිවක් කියැවෙනවා ? ඔය එක් එක් අය උපුටා දක්වා ඇති ගීවල නම් මා සිංහ කටක් හරි සිංහ දොරටුවක් හරි දකින්නේ නැහැ. සිංහ රුව ගැන නම් කියනවා. කවුද සීගිරි ලඳුන් දෙස බලන්නෙ නැතුව සිංහ රුව දෙස බලන් හිටියා කියනවා. ඔහු සිංහ රුව දැක්කේ ලඳුන් අතර ? දොරටුවේ ? දොරටුවේ තිබුණේ රුපයක් ? නැත්නම් ඇඹීමක් ? එකල සිංහ රුවකුත් සිතුවම් කර තිබුණ ? කොහොමටත් අද ඉතිරි වී ඇති සිතුවම්වලට වඩා තවත් සිතුවම් තියෙන්න ඇති.

 

අපි හෙට සුජිත් අක්කරවත්ත සමග සිවගිරි යමු. අප තැත් කරන්නේ මූලාශ්‍රවල කියා නැති දේ දැනගැනීමටයි. මට දැන් පුද්ගලයාගේ නම මතක නැහැ. ඔහු කියා ඇත්තේ මහාවංසයේ කියා ඇති දේට වඩා ප්‍රශ්නය කියා නැති දේ කියා. අප  පඬි නැට්ටන් (බටහිර පඬි වලිග) වගේ මහාවංසය බටහිර ඇසකින් විවේචනය කරන්නෙ  නැහැ. අපට අවශ්‍ය අපේ පැත්තෙන් මහාවංසයේ ඌණ පුරණයක් කිරීමට.