Main Logo

Saturday 1 April 2023

සුජිත් සමග සීගිරි (සිවගිරි) යමු

 සුජිත් සමග සීගිරි (සිවගිරි) යමු

 

මට අවශ්‍ය ශූන්‍යයට සංකේතයක් සකස්කිරීමට යක්‍ෂයන් (අපි ඔවුන්ට යක්‍ෂ සිංහලයන් කියමු) සමත් වූයේ කෙසේ දැයි තේරුම් ගැනීමටයි. එහි දී මට ශුන්‍යතාව සීගිරියේ ඉතිහාසය බුදුදහම අවශ්‍ය වෙනවා. සියල්ල නැතුව මට අවශ්‍ය දේ කර ගැනීමට නො හැකියි. මේ ලිපි කියවන අයට වැදගත් වන්නේ කොටස් නිසා ඉතා කෙටියෙන් ඇතැම් දේ කියන්නේ මා තවත් නිරවුල් වීමටයි.  

 

ඇතැමුනට ප්‍රශ්නයක් ගණිතය හැදෑරූ මා ඔවුන්ට ඉතිහාසය ඉගැන්වීම. එහෙත් දෙක වැරදියි. මා ගණිතය හදාරා නැහැ. මට කිසිම විශ්වවිද්‍යාලයකින් ගණිතයට ආචාරය උපාධියක් ලැබී නැහැ. මා ගණිතය සම්බන්ධයෙන් ලියා ඇත්තේ එක් පර්යේෂණ පත්‍රිකාවක් පමණයි. මා දන්නා ගණිතයක් නැහැ. මා කිසිවකුට කිසිවක් ඉගැන්වීම සඳහා ලිපි ලියන්නේ නැහැ. මා කරන්නේ මගේ නිරවුල් වීම සඳහා ලිවීමයි.

 

මා විවිධ විෂය ගැන උනන්දුවක් දක්වනවා. මට එයට කරන්න දෙයක් නැහැ. මා ලැබූ අධ්‍යාපනයත් එයට එක් හේතුවක්. අපට පාසලේ සාමාන්‍ය පෙළ පළමු වසරේ සිංහල බුද්ධාගම ඉංගිරිසි විෂයට අමතරව ශුද්ධ ගණිතය භෞතික විද්‍යාව රසායන විද්‍යාව ඉතිහාසය පාලි ලතින් හැදෑරීමට තිබුණා. දෙවැනි වසරේ ඉතිහාසය පාලි ලතින් විෂය වෙනුවට ව්‍යවහාරික ගණිතය උසස් ගණිතය ප්‍රජාචාරය හැදෑරීමට තිබුණා. පළමු වසරේ ඉතිහාසය තෑග්ග ලෑබූ මා දෙවැනි වසරේ ව්‍යවහාරික ගණිතය තෑග්ග ලැබුවා. මා බව කියන්නේ මා එක් අතකින් ලැබූ අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් කියා. මා තවමත් බොහෝ දේ ගැන උනන්දුවක් දක්වනවා. වගේ විවිධ දේ අතර සම්බන්ධකම් දකිනවා.

 

අනිච්ච දුක්ඛ අනත්ත යන්නෙන් කියැවෙන්නේ ත්‍රිලක්‍ෂණ. මගේ තර්කය වන්නේ අනිච්ච අනත්ත ලක්‍ෂණ වුවත් දුක කියන එක එක් ලක්‍ෂණයක් නොවන බවයි. අප දුකට හේතුව තණ්හාව කියනවා. ත්‍රිලක්‍ෂණයෙහි කියැවෙන්නේ තණ්හාවට හේතු වෙන දුක නොවෙයි. ත්‍රිලක්‍ෂණයෙහි කියැවෙන දුක්ඛ තවත් ලක්‍ෂණයක් වෙන්න ඕන. ත්‍රිලක්‍ෂණයෙහි දුක්ඛ කියන්නේ අයහපත් (දු) හිස් බව (). තාරකා විද්‍යාවේ ඛගෝලය කියා සංකල්පයක් තියෙනවා. එයින් කියැවෙන්නේ හිස් ගෝලය කියන එක. ත්‍රිලක්‍ෂණ අනවබෝධය නිසා තමයි නැති මමක් හදා ගෙන (ඊනියා ආත්මයක්) සසරේ දුක් විඳින්නේ.

 

බුදුදහමත් දෘශ්ටියක්. අප එයට සම්‍යක් දෘශ්ටිය කියනවා. එයින් කියන්නේ සියළු දෘශ්ටි අත්හරින්නේ කෙසේ කියා. ඔව් අවසානයේ දී සම්‍යක් දෘශ්ටියත් එක්ක. අවශ්‍ය නම් අර පහුරේ උපමාව ගන්න පුළුවන්. එහෙත් උපමා ගැනීමේ දී අපි පරෙස්සම් වෙන්න ඕන. ගඟ තරණය කළාට පසු පහුර විසිකරනවා. එහෙත් තරණය කළ තැනැත්තා ඉන්නවා. සම්‍යක් දෘශ්ටිය අත්හැරීමෙන් පසු ඊනියා ආත්මයත් නැහැ. සසරෙන් එතෙර වන්නේ නැහැ. සසර කෙළවර කරනවා. කවුද කරන්නේ. අර අවිද්‍යාවෙන් සසර සැරි සෑරූ මා. මා නැති බව දැන ගත් මා.

 

අද අපි සුජිත් අක්කරවත්ත සමග සිවගිරි යනවා. සුජිත් ඉස්සර චම්පක සමග හිටියේ. දැන් ඉන්නෙ රනිල් සමග. ඒක ප්‍රශ්නයක් නො වෙයි. මට ප්‍රශ්නයක් තියෙනවා. ශූන්‍ය සංකේතය සකස් කෙළේ කවුද? සංකේතය මුලින් දැක්කේ හර්ෂ විජේවර්ධන. ඔහුට සම්බන්ධ ගෞරවය හිමි වෙන්න ඕන. තව සිංහලයන්ට සංකේතයෙ වටිනාකම බිංදුවයි. සීගිරියේ සංකේතය තියෙන්නෙ කොහොම ? සීගිරියත් සංකේතයත් කාගෙ වැඩක් ?

 

මහාවංසයෙ මොකක් තිබුණත් අද කාටත් වැටහෙනවා කාශ්‍යප රජුට පෙර සීගිරිය තිබුණ බව.  සීගිරි චිත්‍ර නම් ඔහුගෙ වැඩක් වෙන්න ඕන. ඔහූ චිත්‍ර ඇන්ද කියන එක නො වෙයි එයින් කියන්නෙ. අර ළඳුන්  කාශ්‍යප රජුගෙ දූල ? මහා වංසයෙ නම් එහෙම කියන්නෙ නැහැ. මට මූලාශ්‍ර නැහැ. ඒත් රජුගෙ දුලගෙ නම්  බෝධි හා උප්පලවණ්නා. උප්පලවණ්නා නිල් පාටයි. බෝධි රන්වන් පාටයි. මා කියන්නෙ නැහැ පාණදුරේ අරියධම්ම හාමුදුරුවන්ට රන්වන් පාටින් දලු ලන බෝධිය කියා ලියන්න හිතුනෙ කුරුටු ගීයක් කියවල කියලා.

 

මොකක් වුණත් කාශ්‍යප රජු එක් දුවක් බෝධි කියා නම් කිරීමෙන් ඔහුගෙ බෞද්ධකම පෙනී යනවා. ඔහු ඉසුරුමුනිය තමාගෙ නමින් හා දුලගෙ නමින් නම් කෙරුව කියනවා. ධාතුසේන රජුත් තමන්ගෙ නමින් විහාර නම් කරල තියෙනවා. රුවන්වැලි සෑයත් නම් කරල තියෙන්නෙ රත්නවල්ලිගෙ නමින්. කවුද රත්නවල්ලි?  රුවන්වැලිය ස්වර්ණමාලි වුණෙ කොහොම ? ස්වර්ණමාලි සිංහලෙන් කියන්නෙ කොහොමද? රන්මලී කියල ? එවිට සෑය රන්මලිසෑය වෙන්න ඕන ?  කාශ්‍යප රජූ පේන විධියටත් මහාවංසයෙ (චූලවංසෙ කියමු) සඳහන් වෙන විධියටත් ආධාර කරල තියෙන්නෙ ඉසුරුමුනියටයි වෙස්සගිරියටයි. ඒකෙන් යමක් කියැවෙනවා ?

 

සීගිරි ගීවලින් පේන්නෙ බිතු සිතුවම්වල ලඳූන් හැරෙන්න සිංහ රූපයකුත් තිබුණු බවයි. අර චාරිකාවල අය ලඳුන් මෙන් සිංහයා බලල ගී ලියලා.  මොකක් වුණත් සීගිරිය හැදුවෙ කවුද? මහාවංසයෙ කියල තිබුණත් කාශ්‍යප රජු නොවෙයි නම් කවුද? විජය රජුගේ සිට ධාතුසේන රජු දක්වා කිසිම රජකු සීගිරිය නිර්මාණය කළෙ නැත්නම් කළේ කවුද? සුජිත් හිතන්නෙ සිව රජු කියලයි මගේ මතකය. ඔහු සිවගිරි කියන්නෙ ඒකයි කියල මා හිතන්නෙ.

 

දැන් මේ සිව තමයි සීගිරිය කෙළෙ කියල මා කියන්නෙ නැහැ. ඒත් සිව කොහොම වෙතත් විජයට පෙර සිටි තාරක බලි රාවණ ආදී රජවරූ ගැන කුමාරතුංගයන් කතා කර තියෙනවා. එතුමා තරු අකුරු වැල නිර්මාණය කළෙත් රජකුගේ නමින් කියලයි මා දන්නෙ. මා වැරදි වෙන්න පුළුවන්. කුමක් වුවත් මූලාශ්‍ර අනුව සීගිරිය කෙළෙ කවුද?    මුලාශ්‍ර අනුව සීගිරිය කළ අයකු නැත්නම් සීගිරිය කියා තැනක් නැද්ද? සීගිරිය අටවැනි ලෝක පුදුමය කියන්නෙ නිසා ?