Main Logo

Monday 24 April 2023

පාස්කු හිරු සඳු හිතළු හිතිවිලි

 

පාස්කු හිරු සඳු හිතළු හිතිවිලි

 

හිතළුවක් කියන්නෙ නිරීක්‍ෂණයකින් පරීක්‍ෂණයකින් තොරතුරු එකතුවකින් හරි වෙන යම් ක්‍රමයකින් හරි ලැබෙන දත්ත එකක් හරි වැඩි ගණනක් හරි විස්තර කරන්න (අවශ්‍ය නම් තේරුම් ගන්න, තේරුම් ගන්නවා කියන එක තේරෙන්න නැති වුණත්) සකස් කර ගන්න කතාවක්. එයට ඉංගිරිසියෙන්  hypothesis  කියනවා. සිංහලෙන් කල්පිතය උපන්‍යාසය යන වචන යොදා ගන්නවා. මා හිතළුව කියනවා. හිතළුව කියන එකේ බර අඩු බව මා දන්නවා. මගෙත් බර අඩුයි. කිලෝ ග්‍රෑම්වලින් හරි රාත්තල්වලින් හරි නොවෙයි. ඒකකය කුඩා වෙන්න වෙන්න බර වැඩි වෙනවා. පඬි නැට්ටකු කියන්න පුළුවන් ඒකක මොකක් වුණත් තියෙන්නෙ එක බරක් කියල. මොකක් වුණත් හිතළුව වැඩ කරනව නම් හොඳයි. නැතත් බොහෝ විට  බොහෝ දෙනාට ප්‍රශ්නයක් නො වෙයි.

 

මා පාස්කු ප්‍රහාරය ගැන මෙන්   පාස්කුව ගැනත් හිතළු කියනවා. පාස්කු ප්‍රහාරය ගැන මා හිතළු කියන්නෙ එය අපේ රටේ එකක් හැටියට අරගෙන නො වෙයි. ඇතැමුනට එය එකල තිබූ ඉන්දීය මැතිවරණය නිසා හින්දු ජනයාගේ ඡන්දය ගැනීමට භාරතීය ජනතා පක්‍ෂය කරපු වැඩක්. ඒත් ලංකාවෙ කතෝලික පල්ලිවලට ගැහුව කියල ඉන්දියාවෙ හින්දුන්ට දැනෙන්නෙ නැහැ. මගේ හිතළුව නම් මෙය ලෝකය පුරා ඇති ආගමික ගැටුමක් හරිහමන් ආණ්ඩුවක් නැති කාලෙක ලංකාවෙ කෙරුණු ආකාරය.

 

පාස්කුව උදා වීම ගැනත් මගේ හිතළුවක් තිබුණා. එය බක්මහ පසළොස්වකින් පසු එළඹෙන පළමුවැනි ඉරිදා කියන එක. එය වැඩ කරන්නෙ නැති බව මගේ මිතුරකු වූ උදය ගම්මන්පිල පෙන්නලා දුන්නා. 2021 පාස්කු ඉරිදා උදාවෙලා තියෙන්නෙ අප්‍රේල් 4 වැනි දා කියන්නෙ  මැදින් පසළොස්වකින් පසු එළඹි පළමුවැනි ඉරිදා. මා අතින් වරදක් සිදු වී තියෙනවා.  එහෙත් ඔහුට තවත් හිතළුවක් ලැබිල තියෙනවා. පාස්කුව මාර්තු 21වැනි දිනට පසුව එළඹෙන පසළොස්වකට පසු පළමුවැනි ඉරිදා කියා. එයත් දත්ත ටිකක් සලකා බැලීමෙන් ඉදිරිපත් කර ඇති හිතළුවක් බව පැහැදිලියි. එය බටහිරයකු අතින් ඉදිරිපත් වෙන්න ඇති. මාර්තු 21 තමයි අර ශක වර්ෂ ක්‍රමය ආරම්භ වෙච්ච කාලෙ සූර්යයා මීනයෙන් මේෂයට ගිය දිනය.

 

එ හිතළුවත් වැරදි වෙන්න පුළුවන්. යුදෙවුවන්ටත් තිබුණෙ චන්ද්‍ර වර්ෂ ක්‍රමයක්. ඔවුන් පාස්කුව පවත්වන්නෙ ඔවුන්ගෙ පළමුවැනි මාසෙ ලබල උදාවෙන පළමුවැනි පසළොස්වකින් පස්සෙ එළඹෙන පළමුවැනි ඉරිදා දිනයේ. මෙවර ඔවුන්ගෙ පළමුවැනි මාසය ලැබුවෙ  2023 මාර්තු 21 හරි 22 හරි.  අපේ බක්මහ අමාවකත් සමග. 2023 පාස්කුව මගේ හිතළුවට එකඟයි. 2022ත් එකඟයි. 2021 එකඟ නැහැ.

 

එසේ වන්නේ මොකද කියා මා හොයා බැලුවා. ඔවුන්ගෙ පළමු මාසයට කියන්නෙ නිසන් කියල. එය ලබන්නෙත් අමාවක සමග. නිසන් අපේ බක් මාසය සමග බොහෝ විට සමපාත වෙනවා. එහෙම වුණා මගේ හිතළුව හරි. එහෙත් 2021 වගේ අවුරුද්දක එහෙම වෙන්නෙ නැහැ. එයට හේතුව අපි දෙගොල්ල අධික මාසය එකතු කරන විධියෙ වෙනස.

 

චන්ද්‍ර මාසයකට තියෙන්නෙ දින 29.5ක් විතර. ඒක 12න් වැඩි කරා ලැබෙන්නෙ දින 354ක් විතර. 365. 25 හරි 365.24 හරි අඩුයි. අපි චන්ද්‍ර මාසවලින් වර්ෂ ගණන් කළත් සෘතු ලැබෙන්නෙ සූර්යයාගේ ගමන අනුව. කියන්නෙ 365.25 හරි 364. 25 හරි අනුව නිසා චන්ද්‍ර වර්ෂයකට මාස 32කට 33 කට විතර වරක් මාසයක් එකතු කරන්න වෙනවා. ඒකට අපි අධික මාසයක් කියනවා. ඔය අධික මාසය අපි දෙගොල්ලන් එකතු කරන්නෙ දෙවිධියකට.

 

යුදෙව්වන් ඒක කරන විධිය සරලයි. ඔවුන්ගෙ මාස නිසන් මාසයෙන් ආරම්භ වෙනව වගේ අවසන් වෙන්නෙ අදර් මාසයෙන්. ඔවුන් කරන්නෙ ඇතැම් වර්ෂයක අදර් මාස දෙකක් ගන්න එක. අප ඊට වඩා විධිමත් ඒක කරනවා. චන්ද්‍ර මාසයක් දින 29.5ක් පමණ වන නිසා ඇතැම් චන්ද්‍ර මාසයක සූර්ය සංක්‍රාන්තියක් සිදු නොවන්න පුළුවන්. සංක්‍රාන්තියක් කියා මෙහි දී කියන්නෙ සූර්යයා එක ලග්නයකින් තවත් ලග්නයකට යෑම. එවැනි සංක්‍රාන්ති නැති මාසයක් අධික චන්ද්‍ර මාසයක් ලෙස ගන්නවා. මාසයෙ පසළොස්වක දිනය අධි පෝයක් වෙනවා. මේ අවුරුද්දේ (2023)  අධික මාසයක් හා අධි පෝයක් තියෙනවා. අධික මාස අධි පෝය සම්බන්ධයෙන් අධ්‍යයනයක් කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිතමය භෞතික විද්‍යාව හැදෑරු රසංජලී රුපසිංහ තම අවසාන වසරේ නිබන්ධය සඳහා කළා. ඇය දැන් එංගලන්තයේ විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් සඳහා කටයුතු කරනවා. 

 

2020ත් බක් මාසයෙන් පස්සෙ අධික මාසයක් හා අධි පෝයක් තිබී තියෙනවා. එයට අනුරූප යුදෙවුවන් අධි අදර් මාසය එකතු කර තියෙන්නෙ 2022 දි. 2021 බක් මාසය අවුරුද්දෙ නිසන් මාසයස මග සමපාත වෙලා නැත්තෙ ඒකයි. 2021 දි අපේ බක් මාසය පස්සට ගිහින් යුදෙවුවන්ගෙ දෙවැනි මාසය එනම් අයියර් මාසය සමග සමපාත වෙලා.

 

මගේ කල්පනාව වුණෙ අපි දෙගොල්ලන් අධික මාසය එකතු කරන්නෙ එක විධියට කියල. ඒක හිතළුවක් නොවෙයි. වැරදි හිතිවිල්ලක්. මා හිතන් හිටියෙ එහෙමයි. වැරදීීම එතැනයි. එහෙම හිතිවිලිවල මා නම් අනන්තවත් ඇති. අපි මොන මොන දේ හිතන් ඉන්නවා ? නිරවුල් කර ගන්න තමයි මා වෙහෙසෙන්නෙ. මගේ මිතුරා නොවන්නට සමහර විට මා මිය යන තුරු වැරදි කල්පනාවෙ හිතිවිල්ලෙ ඉන්න තිබුණා. ඔහුට පින්!

 

තව එක කරුණක්  කියන්න ඕන.සූර්යයා මීනයෙන් මේෂයට අප්‍රේල් 18 19 දවස්වල සංක්‍රමණය වෙන්නෙ බටහිර තාරකා විද්‍යාව අනුව. බටහිර තාරකා විද්‍යාවෙ බලධාරියා ජත්‍යන්තර තාරකා විද්‍යා සංගමය. ඔවුන් තමයි දින නියම කරලා තියෙන්නෙ. එදාට සූර්යයා ඉන්දියාවෙ ජ්‍යොතිෂවේදීන් කියන විධියට මීනයෙන් මේෂයට යන්නෙ නැහැ.  ඔවුන්ට අනුව ඒ්ක වෙන්නෙ අප්‍රේල් 13 14 දවස්වල. ඔය වැරැද්දට නම් වග කියන්න ඕන ඉන්දියාව. එහෙමත් නැත්නම් අතීතයේ භාරතීය ජ්‍යොතිෂවේදීන්. ඔවුන් අපේ නැකැත් විසිහතයි බැබිලෝනියාවෙ ලග්න දොළහයි එකතු කරන්න ගිහින් වෙච්ච වැරැද්දක්. ඔවුන් අස්විද නැකතයි මේෂ ලග්නයයි එක තැනෙන් පටන් ගන්න විධියට අර ගෙන. එතැන තමයි වැරැද්ද. මොනව කරන්න අපි එක්කො කලාපීය බලවතාට යට වෙනවා. නැත්නම් ගෝලීය බලවතාට යටවෙනවා. එදා ගෝලීය බලවතෙක් හිටියෙ නැහැ.