Main Logo

Thursday 20 April 2023

කඩේ යම් දෝ නොයම් දෝ

 

කඩේ යම් දෝ නොයම් දෝ

 

ජැක්සන් ඇන්තනි ගැන ලියූ ලිපියට ප්‍රතිචාර රාශියක් ලැබී තිබුණා. ප්‍රතිචාර හා වෙනත් ප්‍රතිචාර ගැන ප්‍රතිප්‍රතිචාර දැක්වීමට බලාපොරාත්තු වෙනවා. එහෙත් එයට පෙර අර සිය දිවි නසාගත් තරුණයා ගැන යමක් කියන්න ඕන. ඔහු ගැනත් මා කණගාටුවෙනවා. විශේෂයෙන් ඔහුගේ දෙමවුපියන් ගැන මට ඇත්තේ කණගාටුවක්. දෙමවුපියන්ට දරුවන් තරම් වටින කිසිවක් ලෝකයේ නැහැ. අපේ බැඳීම් වැඩියෙන් ඇත්තේ දරුමුණුබුරන් සමග. සිදුහත් කුමරු බව ඉතා හොඳින් දැන සිටියා.

 

අප කවුරුත් දන්නා කතාව අනුව රාහුල කුමරු උපන් දින සිදුහත් කුමරු කාමරයට පැමිණ දොර රෙද්ද මෑත් කර බලා ආපසු ගියා. කාමරයට ගියේ නැහැ. මට හිතෙනවා සිදුහත් කුමරුට හිතෙන්න ඇති කාමරයට ඇතුල් වුණා නම් දරුවාගේ මුහුණ දැක්කා නම් ගිහිගෙය අත්හැර යෑම බොරු කියලා. ඒක මගේ තවත් හිතළුවක් පමණයි. කතාවේ එහෙම දෙයක් කියන්නේ නැහැ. කතාවත් ඇත්ත කියල පඬි නැට්ටකු අහන්න පුළුවන්.

 

කතාව ඉතිහාසයට අයිති නැද්ද කියන්න මා දන්නේ නැහැ. මා ඉතිහාසය දර්ශනය බුදුදහම ආදිය ගැන ලියූ පමණින් මානව ශාස්ත්‍ර හදාරා ඇති උගතුන් බූමිතෙල් ඇඟ වැටුණු ගැරඬින් මෙන් හැසිරෙනවා. මගෙන් අහන්න එපා බූමිතෙල් මිල දන්නවා කියා. මා එහෙම කියන්නේ බොහෝ ප්‍රතිචාරවල අච්චුවේ ප්‍රශ්න අහන නිසා. කොහොම වෙතත් ඉතිහාසයේ මා කියා ඇති ප්‍රශ්නවලට අමතර තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතිහාසය හදාරන්න වන්නෙ වර්තමානයෙ තියෙන දැනුමෙන්. අපට ඉතිහාසයට ගිහින් ඉතිහාසය හදාරන්න බැහැ. ඉතිහාසය අමාරු විෂය කියා මා හිතන්නේ සියලු කරුණු නිසා.

 

අර සිය දිවි නසාගත් තරුණයා කුමක් විශ්වාස කළත් නොකළත් මගේ පැත්තේ සිට ඔහුගේ සසර ගමන ඉක්මණින් කෙළවර වේවා කියා පතනවා. එහෙත් ඔහු සිය දිවි නසා ගැනීම ආයු සංස්කරණයට සම කරන්න හැදීම නම් ගැලපෙන කතාවක් නො වෙයි. ආයු සංස්කරණය කියන්නෙ සිය දිවි නසා ගැනීමක් නො වෙයි. කිසිවකු ඉල්ලා නොසිටියොත් අදාළ කාලයේ පිරිනිවන් පෑමයි එතැන දි වෙන්නෙ. සිය දිවි නසා ගැනීම අයිතියක් වගේ කතාවක් තරුණයා කියන බවයි මට හැඟී ගියේ. සම්මතය අනුව අපට ගෙවල් දොරවල් ඉඩ කඩම් යාන වාහන අයිති වෙනවා වෙන්න පුළුවන්. එත් කිසිවකුගේ ජීවිතය කිසිවකුට අයිති වෙන්නෙ නැහැ. සිය දිවි කියන එක වැරදි ව්‍යවහාරයක් ලෙසයි මට වැටහෙන්නේ. එය ආත්මවාදයෙන් පැන නගින එකක් වෙන්න ඕන. මොන තරම් අනාත්ම කතා කීවත් අපේ රටේ වැඩිපුර ඉන්නෙ ආත්මවාදීන්.

 

ජැක්සන් ඇන්තනි ලිපියට දැක් වූ ප්‍රතිචාරවලින් මා සමාජවාදය කියන්නෙ මොකක් කියල ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක් කියල පමණක් නොව මා ලිපිය ලිවුවෙ මොකද කියලත් දැන ගත්තා. සමසමාජ පක්‍ෂයෙ හා නව සමසමාජ පක්‍ෂයෙ ඉඳලත් දැන ගන්න බැරි වුණු දේ මෙටාවෙන් දැන ගන්න පුළුවන්.  

 

ඇඳන් දෙකක් පමණක් තියෙන විට රෝගීන් තුන්දෙනකුට ඇඳන් ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදය අනුව කෙරෙන්න ඕන. රජුගෙ හිතවත්කම අනුව එය කෙරෙන්න බැහැ. සමහර ප්‍රතිචාර අනුව මට දැනුණෙ ජැක්සන් ඇන්තනිට ඇඳක් (යන්ත්‍ර සූත්‍ර සහිත ) ලැබිල තියෙන්නෙ රාජපක්‍ෂලට කඩේ ගිය නිසා කියලා. ඇඳ හැරෙන්න තවත් ඇඳවල් තියෙනවා තවත් රෝගීන් ඉන්නවා කියා මා දන්නෙත් නැහැ. වෛද්‍ය විශේෂඥ රවි කුමුදේශ් දන්නෙත් නැහැ. ඖෂධ බෙදා හැරීම නම් දන්නවා ඇති. සමාජවාදය කියන්නෙ රෝගීන් තුන්දෙනකු ඉන්නවා නම් ඇඳන් හයක් තිබීම හා නොමිලේ ඇඳන් ලබා දීම. ලෝකයේ කොහෙවත් සමාජවාදය නැති නිසා  වැඩිපුර ඇඳන් හදන්නෙ නැහැ.

 

මා ලිපිය  ලියා ඇත්තේ මා රාජපක්‍ෂලාට කඩේ යන බැවින් රාජපක්‍ෂලාට කඩේ යන අනෙක් අය වෙනුවෙන් ලිවීම මගේ රාජකාරියක් නිසා. එයට අපි කඩේ යන්නන්ගේ තර්කය කියමු ? ඇර්ස්ටෝටල් මිය ගියෙ කාගෙ කරුමයට කියා හිතෙනවා. රාජපක්‍ෂලා මට තානාපතිකමක් විතරක් නොවෙයි වයස හැටපහෙන් පසු විශ්වවිද්‍යාලයෙ තවත් අවුරුදු තුනක් සේවය කිරීමට අවස්ථාවක් (නාථ දෙවියන්ගේ දේව මණ්ඩලයේ අවශ්‍යතාව පරිදි ආසනික් සම්බන්ධ පරීක්‍ෂණ පැවැත්වීමට) ලබා දී තියෙනවා. අවුරුදු තුනෙන් අවුරුදු දෙකයි මා හිටියේ. මදිවාට විශ්වවිිද්‍යාල ප්‍රතිපාදන කොමිසමටත් පත් කළා. කඩේ ගිහින් මට නරකක් වෙලා නැහැ. රාජපක්‍ෂලා මගෙන් උපදෙසක් අරන් නැහැ. ඒත් ප්‍රේමදාස නම් අරන් තියෙනවා. මා උපදෙස් දෙමින් සුචරිතයෙ මහ රෑ කෝපි බීලත් තියෙනවා. අපරාදෙ මා ප්‍රේමදාසට කඩේ ගියෙ නැත්තෙ කියා හිතනවා. රනිල්ට කඩේ යන විධියක් හොයා ගන්න ඕන. ඔහුත් මාත් පාසලේ සමකාලීනයො.

 

වත්මන් සමාජවාදය කියන්නෙ ඊර්ෂ්‍යාවත් එක්ක එන කතාවක් බව ප්‍රතිචාරවලින් පැහැදිලියි. ගමේ නන්දාවතීලා වෙනුවෙන් තමයි කතාව. සුමනදාසට ඇඳක් ලැබෙයි ? මාස දෙකෙන් ටිකට් (යන්ත්‍ර) කපයි ? ඒක තීරණය කරන්නෙ කවු ? මරණය නිර්වචන කරන්නෙ කොහොම ? කවුද? මොළය මරණයට පත්වීම (බ්‍රේන් ඩෙත්) කියන්නෙ මරණය ? කාදිනල්තුමාගෙ මහා මොළකරු හෙට අනිද්දා පාස්කුවේ යළි ඉපදෙයි ?

 

කොහොම වුණත් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයට නම් මරණය ළඟ බව මට දැනෙනවා. මට මරණය ගැනත් කණගාටුයි. සම්මේලනය ආරම්භයේ දී විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට යමින් ව්‍යවස්ථාව සම්පාදනය කරමින් මාත් වැඩවලට සහභාගි වුණා. අවුරුදු හතළිහකට පමණ පෙර. අද සම්මේලනය තමන්ට අයිති නැති කටයුතුවලට ඇඟිලි ගහන්න ගිහින් අමාරුවෙ වැටිල. උසස් පෙළ පරීක්‍ෂණවලට හවුල් වීම විශ්වවිද්‍යාල කටයුත්තක් නො වෙයි. එය ආචාර්යවරුන් ස්වෙච්ඡාවෙන් වෙනත් ආයතනයකට (විභාග දෙපාර්තමේන්තුවට) තම සේවය ලබා දීමක්. රනිල් බලන් ඉන්නෙ වගේ වර්ජනයක්. අනෙක් වෘත්තීය සමිති පාලනය කිරීමටත් ඔහුට අවස්ථාව ලැබිල.

 

යම් දෝ නොයම් දෝ කියලා හිතුනි මට. කොහේ  ? කඩේ මිසක් වෙන කොහේ ?