බිංදුවෙන් ඔබ්බට
බිංදුව
ගැන මා විසින් ලියන
ලද තවත් ලිපි දෙකක් මෙහි පළ කරන්නේ හෙට
(8) වැනි දා සුම් මගින්
පැවැත්වෙන දේශනයට
පූර්විකාවක් ලෙස. මට අපට නැති
වුණු බිංදුව ගැන ඇත්තේ කණගාටුවක්. අප හල් කිරීම
සකස් කර ගන්න ඇත්තේ
දෙවැනි හා හතරවැනි සියවස්
අතර බවයි මගේ නිගමනය.
මේ ලිපිවල මහාචාර්ය ඇක්සෙල් ගැන සඳහන් වෙනවා. ඔහුට යම් හැඟීමක් තිබී තියෙනවා ශූන්‍යය සඳහා සංකේතයක් සකස් කරන්නට බෞද්ධ හින්දු අදහස් බලපාන්න ඇති කියා.
ආර්යභට්ට
ශූන්‍යය ඛ යන්නෙන් දක්වනවා.
එහි ඛ කියන්නෙ බටහිරයන්
කියන හුදු සංකේතයක් නො වෙයි. ඛ කියන්නෙ හිස්
බව. දුඃඛ යන්නෙහි ඛ යන්නෙන් කියන්නෙත්
හිස් බව. ආර්යභට්ටට ශූන්‍යය යනුවෙන් ඉලක්කමක් (සංඛ්‍යාකයක්) තිබුණේ නැහැ.
---------------------------------------------------------------------
බෞද්ධයන් නැත්තන් ශූන්‍යය නැහැ
පහුගිය මැයි මාසෙ අටවැනි දා ලිව්ව බෞද්ධයනට බිංදුවවත් නැහැ කියන ලිපිය කියවල මෙරට ඉංගිරිසියෙන් ලියන ජනමාධ්‍යවේදියකු මට දැන්වුව අමීර් ඩී ඇක්සල් (Aczel) නමැත්තකු ශූන්‍යය සොයා ගැනීම (Finding Zero) මැයෙන් ලියා ඇති පොතක් ගැන. මා ඒ පොත කියවා තිබුණේ නැහැ. එබැවින් එහි පිටපතක් ගෙන්වා ගෙන කියෙව්වා. එතෙර වසන මගේ මිතුරකු ඒ පොතෙහි පීඩීඑෆ් (PDF) පිටපතක් ද එවා තිබුණා.
ගණිතඥයකු වූ ඇක්සල් මැසචුසෙට්ස්හි බෘක්ලින්හි පදිංචි අයෙක්. ඔහූ ජෝන් සයිමන් ගගන්හයිම් අනුස්මරණ පදනමේ අධිසාමාජිකයෙක්. යුදෙව් වර්ගයට අයත් කෙනෙක්. ඔහු ෆර්මාට්ගේ අවසාන ප්‍රමේයය යන මැයෙන් ද ජාත්‍යන්තර ව හොඳ ම අලෙවිකරණයට ලක් වූ පොතක් ලියා තියෙනවා. ඔහුගේ ශූන්‍යය සොයා ගැනීම පොතෙහි සඳහන් වන්නේ පළමුවෙන් ම ලිඛිත ශූන්‍යය සංකේතය සොයා ගැනීමට, නිවැරදි ව නම් නැවත සොයා ගැනීමට කරන ලද උත්සාහය.
ශූන්‍යය වත්මන් බටහිර ගණිතයට ලැබුණේ කෙසේ ද කොහෙන් ද යන්න ගණිතඥයන්ගේ, ඉතිහාසඥයන්ගේ හා දාර්ශනිකයන්ගේ සාකච්ඡාවට බඳුන් වූ මාතෘකාවක්. ශූන්‍යය නැතිව ගණිතයක් නැහැ. ඉංගිරිසි ජාතිකයකු වූ ජී ආර් කේ (Kaye) විසිවැනි සියවස මුල කියා ඇත්තේ එය ඉන්දියාවෙන් ලැබුණු එකක් විය නොහැකි බවයි. ඔහුට අනුව ශූන්‍යය එක්කෝ බටහිර නැත්නම් අරාබි ලෝකයේ නිර්මාණයක්. ඔහු කියා ඇත්තේ ශූන්‍යය බටහිරින් හරි අරාබියෙන් හරි ඉන්දියාවට ලැබුණු බවත් බටහිරින් ලැබුණේ නම් ඒ අරාබිය හරහා ලැබුණු බවත් ය.
ඇක්සල්ට අනුව ප්‍රංශ යුදෙව්වකු වූ සෙඩෙස් නමැත්තාට 1929 දී කාම්බෝජයේ නොම් පෙන් නුවරින් කිලෝ මීටර් 300ක් පමණ දුරින් වූ බෞද්ධ පන්සලක ශක වර්ෂ 605 දී ලියූ ශිලා ලේඛනයක් හමු වී තිබෙනවා. ඒ ක්‍රිස්තු වර්ෂයෙන් නම් 683 දී. 605 යනු සටහන් වී ඇත්තේ වෘත්තාකාර බින්දුව වෙනුවට තිත යෙදීමෙන්. ක්‍රිස්තු වර්ෂ 683 යනු අරාබින් ඉන්දියාවට හා ඉන් නැගෙනහිරට යෑමට පෙර වර්ෂයක්. එයින් පැහැදිලි වන්නේ කාම්බෝජය වැනි ඉන්දියාවෙන් ඈත පිහිටි රටකත් ශූන්‍ය හැඳින්වීමට අරාබින් පැමිණීමට පෙර සංකේතයක් තිබූ බවයි. ක්‍රි ව 684 දී එකල බෞද්ධ ඉන්දුනීසියාවේ ශූන්‍ය යන්න වෘත්තාකාර බිංදුව ලෙසත් ලියා තියෙනවා. එහෙත් බෞද්ධ කාම්බෝජයේ ශූන්‍යය අඩු තරමෙන් එයට අවුරුද්දක් පැරණියි.
සෙඩෙස්ට හමු වූ 605 සටහන් ශිලා ලේඛනය පොල් පොට්ගේ ඊනියා විප්ලවවාදීන් විසින් විතැන් කර තිබුණා. ඇක්සල්ට අවශ්‍ය වී ඇත්තේ ඒ ශිලා ලේඛනය නැවත සොයා ගැනීමයි. ඔහුගේ ශූන්‍යය සොයා ගැනීම පොතෙහි සඳහන් වන්නේ ඒ විස්තරයයි. එහි දී ඔහු චතුස්කෝටිකය ගැන දැන ගැනීමට භික්‍ෂූන් වහන්සේ මුණ ගැසීමට තවත් ථෙරවාදී බෞද්ධ රටක් වූ ලාඕසයට ගොස් තිබෙනවා. ඔහුට අනුව ශූන්‍යය නාගර්ජූනපාදයන්ගේ මාධ්‍යමිකවාදයේ ශූන්‍යතාව හා චතුස්කෝටිකය සමග සම්බන්ධයි.
ඇක්සල් අදාළ ශිලා ලේඛනය කාම්බෝජයේ ජාතික කෞතුකාගාරයේ තිබී සොයා ගෙන ඇත්තේ 2013 දී. ඔහුගේ පොත පළ වී ඇත්තේ 2015 දී. එයට බොහෝ කලකට පෙර මා ශූන්‍යය හා චතුස්කෝටිකය ගැන ලියා තියෙනවා. සමහරවිට ඒ අවුරුදු තිහකට පමණ පෙර විය හැකියි. මට ඒ සඳහා කිසිම මූලාශ්‍රයක් තිබුණේ නැහැ. එහෙත් මගේ කතාවට අනුව ශූන්‍යය ශූන්‍යතාව සමගත් චතුස්කෝටිකය සමගත් සම්බන්ධ වෙන්න ඕන. මා ලියූ ලිපිවලත් එකල පැවැත් වූ දේශනවලත් ඒ ගැන සඳහන් කර ඇති. එහෙත් ඒ පිළිබඳ තොරතුරු දැන් මා සතුව නැහැ.
ඇක්සල් චතුස්කෝටිකය ගැන දැන ගැනීමට 2013 දී ලාඕසයට යෑම පිළිබඳ මට තරමක පුදුමයක් මෙන් ම කණගාටුවක් ද ඇති වුණා. ඔහු සඳහන් කරන පරිදි ලාඕසයේ ලුආන් ප්‍රභාන් නගරයට ගුවනින් ගොස් තියෙනවා. ලුආන් යන්නෙහි තේරුම අගනුවර යන්න. ප්‍රභාන් යනු ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ ලංකාවේ වැසියන් විසින් ලාඕසයේ රජුට ප්‍රදානය කර ඇති බුදු පිළිම වහන්සේගේ නම. ප්‍රභාන් යන්නෙහි නිරුක්තිය ප්‍රභාව හා සම්බන්ධ ද නැත්නම් ප්‍රධාන් (ප්‍රධාන) හා සම්බන්ධ ද යන්න මා දන්නේ නැහැ. එහෙත් එය සිංහල හුරුවක් ඇති වචනයක් බවට මට ඉවක් තියෙනවා. ඒ ගැන වැඩි දුර සොයා බැලීම භාෂා විශාරදයකුගේ කාර්යයක්.
ඇක්සල් ලංකාව ගැන දැන සිටියත් ඔහු චතුස්කෝටිකය ගැන සෙවීමට ලංකාවට පැමිණ නැහැ. අප ලංකාව ථෙරවාදයේ ප්‍රධාන රට ලෙස සලකනවා. ලාඕසයත් කාම්බෝජයත් ථෙරවාද රටවල්. ලංකාවේ භික්‍ෂූන් වහන්සේ චතුස්කෝටිකය ගැන නොදන්නේ යැයි ඔහු සිතුවේ ද? මා වෙනත් සත්භාවවේදයක ක්වොන්ට්ම් භෞතිකය යනුවෙන් (Quantum Physics in a Different Ontology) 2010 දී ඊනියා ජාත්‍යන්තර සඟරාවක පළ කළ ලිපියක චතුස්කෝටිකය ගැන ලියා තිබුණා. එහි වුයේ ක්වොන්ටම් අංශුවක් එක් විට දෙතැනක පිහිටීම ගැන චතුස්කෝටිකය ආධාරයෙන් කළ පැහැදිලි කිරීමක්. ඇක්සල් එය කියවා නොතිබෙන්න ඇති. ප්‍රධාන ධාරාවේ නොවන පත්‍රිකාවලට බටහිර රටවල අවධානයක් ලැබෙන්නේ නැහැ. බටහිර රටවල තබා ලංකාවේවත් අවධානයක් ලැබෙන්නේ නැහැ. ලංකාවේ ලැබෙන්නේ අවධානය නොව අවමානය. විදුසර පුවත්පතට ලියූ එක් ඊනියා උගතකු කියා තිබුණේ අංශුවක් එක්විට දෙතැනක පිහිටීම මගේ සිහි කල්පනාවේ ප්‍රශ්නයක් බවයි.
කෙසේ වෙතත් ශූන්‍ය යන සංකල්පය ගොඩනැගීමට මට හිතෙන ලෙස නාගර්ජුනපාදයන්ගේ ශූන්‍යතාව මෙන් ම චතුස්කෝටික න්‍යාය ද තිබිය යුතුයි. බුදුන් වහන්සේ අනිච්ච දුක්ක අනත්ත ශූන්‍ය ගැන දේශනා කර තිබුණත් නාම පදයක් ලෙස ශූන්‍යතාවක් ගැන දේශනා කර තිබුණේ නැහැ. ශූන්‍යතාව යනුවෙන් නාම පදයක් එකතු කිරීම වැරදි බව මගේ හැඟීමයි. එහෙත් ඒ වරද ශූන්‍යයට පාර කපා තියෙනවා.
බොහෝ සංස්කෘතීන්වල අය ගෙඩි පහකින් ගෙඩි පහක් ගත්තොත් කිසිවක් ඉතිරි නොවන බව දැන සිටින්න ඇති. ලංකාවේ පඬි නැට්ටන්ට වුණත් එය තේරෙන්න ඕන. ඒකට ඔවුන් කොහොමටත් නොදන්නා කැන්ටර්ගේ කුලකවාදයවත් ප්‍රවර්ගවාදයවත් දැන ගන්න අවශ්‍ය නැහැ. එහෙත් ගෙඩි පහකින් ගෙඩි පහක් ගත් පසු ඉතිරි නොවන බව කීමට සංකේතයක් (තිතක්, බිංදුවක්) තිබිය හැකි බව හැමෝට ම මුලින් දැන ගන්න බැහැ. කිසිවක් නැති විට කිසිවක් (ශූන්‍යතාවක්) තියෙන්නේ කෙසේ ද? මේ ප්‍රශ්නයට ද්විකෝටික න්‍යායෙහි පිළිතුරක් නැහැ. චතුස්කෝටිකයෙහි එයට පිළිතුරක් තියෙනවා. කිසිවක් තිබේ ද යන ප්‍රශ්නයට එක්වර ඇත මෙන් ම නැත යන්නත් එහි දී කියන්න පුළුවන්. 1986 දී පළ වූ මගේ ලෝකයෙහි චතුස්කෝටිකය ගැන කියා ඇති. එහෙත් එයටවත් මිහිඳු හිමියන්ගේ ප්‍රශ්න කුලකවාදයෙන් පිට ඇති බව මා ලියු ලිපිවත් මෙරට අවධානයට ලක් වුණේ නැහැ. එහෙත් මේ පොසොන් පොහොයටත් ඒ ප්‍රශ්න ගැන දේශනා කරාවි.
ලංකාවේත් ශූන්‍ය සඳහා සංකේතයක් තියෙන්න ඕන.
බොහෝ විට එය අභයගිරි ය ආශ්‍රිත ව තියෙන්න පුළුවන්.
මෙරට තරුණ පුරාවිද්‍යාඥයන්ට ඒ පිළිබඳ ගවේෂණයක් කරන්න පුළුවන්.
හත්වැනි සියවසට පෙර ලංකාවේ ශූන්‍යය ලියැවී ඇත්නම් එය වැදගත්.
ලංකාවේ කටපයාදි යනුවෙන් අංක ලියන ක්‍රමයක් තිබුණා.
ඒ වගේ ම අපේ පදනම වූයේ දොළහ.
අදත් ලංකාවෙන් ගිය සිංහල බෞද්ධයන් මුස්ලිමුන් වී වෙසෙන මාල දිවයිනෙහි දොළහ පදනම කරගත් සංඛ්‍යා තියෙනවා.
දොළහ පදනම් කරගෙනත් ශූන්‍ය ලියන්න පුළුවන්.
අපි හිතමු අද තිබෙන බෞද්ධ හින්දු පද්ධතිය අනුව වූ 1 සිට 11 දක්වා අ ආ ඇ
….. .. ඔ වශයෙන් ලිව්වා කියා.
එවිට දොළහ ලියන්නේ අං ලෙස.
පඬි නැට්ටකු කියාවි මට අං ඇවිත් කියා.
දහතුන ලියන්නෙ අඅ ලෙස.
මාලදවයිනේ කියන්නේ දොළොස් එක කියා.
විසිතුන ලියන්නේ අඔ ලෙස.
විසිහතර ලියන්නෙ ආං ලෙස.
අනූපහ ලියන්නෙ උඔ ලෙස.
පඬි නැට්ටකුට පුළුවන් ද දෙදහස් පන්සීය ලියන්න.
දෙදහස් පන්සීයෙ රෙද්ද නොවෙයි දෙදහස් පන්සීය. (2019
06 10)
ශූන්‍යයට අගයක් දුන්නේ සිංහලයන් ද?
ශූන්‍යය සඳහා පළමු වරට සංකේතයක් යොදා ගත්තේ සිංහලයන් බවට මට තවමත් නිගමනය කිරීමට බැහැ. එහෙත් එසේ වීමට ඇත්තේ විශාල ඉඩකඩක්. මේ සංකේත නිර්මාණය දෙවැනි සියවස හා හතරවැනි සියවස අතර සිදු වන්න ඇතැයි මා විශ්වාස කරනවා. මා කලින් ලිපිවලත් සඳහන් කර ඇති පරිදි ශූන්‍යය සඳහා සංකේතයක් නිර්මාණය කිරීමට අවශ්‍යතා තුනක් සපුරා ලන්න ඕන.
ඉස්සර ඉලක්කම් (සංඛ්‍යාංක) ලිව්වෙත් අකුරෙන්. ඉලක්කම් සඳහා වෙන ම සංකේත නිර්මාණය කර ගෙන තියෙන්නෙ පස්සෙ කාලෙක. ඒ සංකේත අර පැරණි අකුරු සංකේතවල ම විකාශයක් වන්න ඕන කියලයි මට හිතෙන්නෙ. මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක ආයතනයේ හර්ෂ විජේවර්ධන සඳහන් කර තියෙනවා අද යොදා ගන්නා 7 සංකේතය උ යන්නෙහි විකාශයක් විය හැකි බව. එකල සිංහලයන් උ අක්‍ෂරය යොදා ගෙන තියෙන්නෙත් 7 සඳහා.
රෝම ඉලක්කම් සම්පූර්ණයෙන් ම අකුරු. එහි ස්ථානගත අගය කියා දෙයක් නැහැ. විවිධ අකුරු විවිධ සංඛ්‍යා සඳහා යොදා ගෙන තියෙනවා. X යන්න 10 සඳහා යොදා ගෙන තියෙනවා. C යන්න 100 සඳහා යොදා ගෙන තියෙනවා. අප රෝම ඉලක්කම් කීවාට ඒවා සංඛ්‍යා. සිංහලයෙහිත් එවැනි සංකේත යොදා ගෙන තියෙනවා. සිංහලයන් අතර සංඛ්‍යා ලිවීමේ ක්‍රම කිහිපයක් තිබී තියෙනවා. එක් ක්‍රමයක් රෝමයෙන් ගත් එකක් වෙන්න පුළුවන්. තවත් එකක් භාරතයෙන් ගත් එකක් වෙන්න පුළුවන්. ඒ අතර සිංහලයන්ට ම ආවේණික වූ ලිත් ඉලක්කම් තිබිල තියෙනවා.
දහහතරවැනි දා ලියූ සීගිරිය ද සිහිගිරිය ද ලිපියෙහි මේ ලිත් ඉලක්කම් දැක ගන්න පුළුවන්. හර්ෂ විජේවර්ධන කියන්නෙ මේ ලිත් ඉලක්කම් ලංකාවට ආවේණික වූවා කියා. ඒ ඉලක්කම් යොදා ගෙන ඕනෑම සංඛ්‍යාවක් ලියන්න පුළුවන්. අප ඉතා විශාල සංඛ්‍යා යොදා ගත්ත අය. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් යන්න පොඩි සංඛ්‍යාවක් නො වෙයි. සංසාරයේ අප එයටත් වඩා කල් ගත කර ඇති බව මතක් වෙන විට මොකද හිතෙන්නෙ. තව කොච්චර කල් ඉන්න වේවි ද?
කොහොමටත් ස්ථානගත අගයක් සහිත ව ඉලක්කම් මගින් සංඛ්‍යා ලිවීමට පළමුවෙන් තර්කානුසාරි භාෂාවක් තිබිය යුතුයි. දෙවැනුව චතුස්කෝටික න්‍යාය තිබිය යුතුයි. තුන්වැනුව ශූන්‍යතාව සංකල්පය දැන සිටිය යුතුයි. නාගර්ජුනපාදයන් ශූන්‍යතාව යන සංකල්පය හඳුන්වා දුන්නේ දෙවැනි සියවසෙහි. සිංහලයන් එය දැන සිටි බවට සැකයක් නැහැ. නාගර්ජුනපාදයන්ගේ ප්‍රධාන අනුගාමිකයා වී ඇත්තේ අරියදේව නම් සිංහල භික්‍ෂූන් වහන්සේ නමක්.
ශූන්‍යය සඳහා සංකේතයක් දෙවැනි සියවසෙන් පසුව නිර්මාණය කරන්නට ඇතැයි මා සිතන්නේ මේ ශූන්‍යතාව දෙවැනි සියවසේ නිර්මාණය වූ එකක් නිසා. ශූන්‍යතාව බුදුන් වහන්සේගේ ශූන්‍ය නොවන බව අවධාරණය කරන්න ඕන. අද ඉන්න කසිකබල් සිංහලයන් මෙන් නොව පැරණි සිංහලයන් බුද්ධිමත් විචාරශීලි අය. අද ඉන්න අයට කිසිම නිර්මාණයක් කරන්න බැහැ. මා කියන්නේ කවියක් ගීතයක් චිත්‍රයක් නිර්මාණය කිරීම නොවෙයි. සංකල්ප ප්‍රවාද නිර්මාණය. කෝට්ටෙ කෝtte ලෙස ලියන එවුන්ට අනුකරණය හැරෙන්න වෙනත් දෙයක් කරන්න පුළුවන් ද?
එහෙත් මා හිතන්නේ ඊනියා උගතුන් ගැන නො වෙයි. සාමාන්‍ය සිංහල ජනයා ගැන. ඊනියා උගතුන් හැමදාමත් අනුකාරකයන්. එදා ඔවුන් භාරතය අනුකරණය කළා. අද බටහිරයන් අනුකරණය කරනවා. එදා සාමාන්‍ය ජනතාව බුද්ධිමත්. සීගිරි ගී ලියු සාමාන්‍ය ජනයා බුද්ධිමත්. අද කෝtte කියා ලියන අය නිවට අනුකාරකයන්, පුස්සන්, පරපුට්ටන්, සමහරු පරොත්තමවාදීන් ද වෙනවා. ඔවුන්ට ඉංගිරිසි අකුරු නැතිව කුණුහරුපයක්වත් ලියන්න බැහැ.
ශූන්‍යය සඳහා සංකේතයක් ලෙස හල් කිරීම ( ්) පළමු වරට යොදා ගෙන ඇත්තේ දැනට දන්නා ආකාරයෙන් සීගිරියෙහි. හර්ෂ විජේවර්ධන ඒ සංකේත දැක තියෙනවා. පුරාවිද්‍යාඥයන් මේ ගැනත් තම අවධානය යොමු කරන්නේ නම් හොඳයි. ශූන්‍යය සඳහා හල් කිරීම හතරවැනි සියවසට පෙර යොදා ගත්තේ යැයි මා විශ්වාස කරන්නේ හර්ෂගේ මේ සොයා ගැනීම නිසයි. හතරවැනි සියවසට පෙර ලියූ පුස්කොළ පොත්, විශේෂයෙන් ම ජ්‍යොතිෂය සම්බන්ධ පොත්, ඇත්නම් ඒවාහි ශූන්‍යය සඳහා හල් කිරීම යොදා ගෙන තියෙන්න ඕන.
චතුස්කෝටිකය බුදුන් වහන්සේටත් පෙර තිබුණා. බුදුන් වහන්සේත් ඒ යොදා ගත්තා, ලෝකය පවතිනවා ද පවතින්නේ නැත් ද යනුවෙන් වච්චගොත්ත (වච්ච ට්‍රයිබ් නොවෙයි. පඬියන්ට ඕනැම ගෝත්‍රයක් ට්‍රයිබ් එකක්. පඬියන් දන්නේ බටහිර සංකල්ප පමණයි. ඒකත් හරියට දන්නේ නැහැ) ඇසූ විට උන්වහන්සේ ඒ දෙකට ම නැතැයි කියා දේශනා කළා. දේවානම්පිය තිස්ස රජුත් චතුස්කෝටිකය දැන හිටියා. සාමාන්‍ය සිංහලයන් අදත් යන එන ගමන් ගෙවල්වලට ගොඩ වෙනවා. කවුරුන්වත් අහන්නෙ නැහැ යන ගමන් ද එන ගමන් ද කියලා. සිංහල දේශපාලනඥයන් එහෙන් මෙහෙන් රිංගලා යනවා. මා අතන මෙතන අහවල් හිමියන් ගැන කියන්න යන්නේ නැහැ.
සංසාරයත් නිවනත් දෙක ම එකක් අනෙක තුළ ඇතැයි කීමෙන් නාගර්ජුනපාදයන් චතුස්කෝටිකය වැරදියට යොදා ගෙන තියෙනවා. අනෙක් අතට මෙරට සිටි බෞද්ධ දර්ශනය ගැන ප්‍රමාණික උගතකු ලෙස සැලකෙන මහාචාර්ය කේ එන් ජයතිලක බටහිර නූතනත්වයට යට වී ලෝකය මෙහෙම නම් එක විධියක් මෙහෙම නොවේ නම් තවත් විධියක් වශයෙන් ගෙන චතුස්කෝටිකය ද්විකෝටිකයට ලඝු කර තියෙනව. ඒ කේම්බ්රිජ් විශ්වවිද්‍යාලයේ බලපෑම. මහාචාර්ය ජයතිලකට හුණු කෑල්ල දීමට බැරි ඇතැම් විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරුන්ට චතුස්කෝටිකය තේරෙන්නෙ කොහොම ද?
චතුස්කෝටිකය තමයි හල් කිරීම ශූන්‍ය සඳහා සංකේතයක් ලෙස යොදා ගැනීමට බලපා ඇත්තේ. ශූන්‍ය සංකේතය සිංහලයන්ගේ ද ලිපිය කියවන්න. හර්ෂ විජේවර්ධන කියන විධියට ලිත් ඉලක්කම් මෙරට යොදා ගෙන ඇත්තේ පන්සලෙන් පිටත කටයුතු සඳහා. විශේෂයෙන් ම ජ්‍යොතිෂයේ. ලිත හා ජ්‍යොතිෂය අතර සම්බන්ධය අමුතුවෙන් කියන්න ඕන නැහැ. අපේ ජ්‍යෙතිෂය නකත් හෙවත් නැකැත් මත පදනම් වූවක්. අපට රාශි ලැබුණෙ පස්සෙ. නැකැත් 27 තමයි අපේ පදනම. 27 ලිත් ඉලක්කම්වලින් ලියන්නෙ ණඋ ලෙස. මා මෙහි 2 වත්මන් ණ ලෙස ලියා තිබුණත් එය පැරණි මූර්ධජ ණ විය යුතුයි. සීගිරිය ද සිහිගිරිය ද ලිපිය බලන්න
හල් කිරීම සමහර ඉන්දු භාෂාවල තිත (.) යනුවෙන් ලියන්න ඇති. ඒ භාෂාවල ශූන්‍ය සඳහා හල් කිරීම වෙනුවට තිත ලියන්න ඇති. තිත පසුව අද ඇති 0 ලෙස විකාශය වන්න ඇති. ඇක්සල් කාම්බෝජයෙන් සොයා ගෙන ඇත්තේ තිතක්. කිසිවකු තායි ක්මර් ලාඕස් භාෂා ගැන අධ්‍යයනයක් කරනවා නම් හොඳයි. මේ ථෙරවාදී රටවලට සිංහල බෞද්ධ සංස්කෘතියේ බලපෑම තිබුණා. ඒ වගේ ම ඉන්දු භාෂා ගැනත් අධ්‍යයනයක් කරන්න ඕන. හල් කිරීම ( ් )
> තිත (.) > 0 ලෙස විකාශය වනවා මිස අනෙක් පැත්තට විකාශය වන්නේ නැහැ. සිංහලයන් වෙන භාෂාවකින් (.) ගත්තා නම් එය හල් කිරීම යනුවෙන් යොදා ගන්නේ නැහැ. හල් කිරීමට වඩා තිත පහසුයි.
පරොත්තමවාදීන් මේ අදහස්වලට ගරහන බව මා දන්නවා. එකල ලංකාවේ සාමාන්‍ය ජනයා අතර දක්‍ෂ ගණිතඥයන් සිටින්න ඇති. එහෙත් හතරවැනි සියවසෙන් පමණ පසු ගණිතය යන්න ජ්‍යොතිෂයට පමණක් පසුව සීමා කළ බවක් පේන්න තියෙනවා. එපමණක් නොව ගණිතයා යන්න යෙදා ගෙන තියෙන්නෙත් සම්මානිත අර්ථයකින් නො වෙයි. හතරවැනි සියවසෙන් පමණ පසුව නිල වශයෙන් සංඛ්‍යා ලියා ඇත්තේ අකුරෙන් පමණයි. ඉලක්කම් යොදා ගෙන ඇත්තේ ගණිතයන් ලෙස පරිභවයට ලක් වූ අය පමණක් වෙන්න ඕන. (2019 07 16)\