Main Logo

Wednesday 12 April 2023

කච්චතිවු ගැන රනිල්

 කච්චතිවු ගැන රනිල් 

 

රනිල් පහුගිය දා හොඳ කතාවක් කියල තිබුණා. දැන් පඬි නැට්ටන් කියන්න පුළුවන් ඔන්න නලින් සිල්වා (ඔවුන් යොදා ගන්නේ වෙන නම්) රනිල්ට කඩේ යන්න පටන් අරන්, එහෙමත් නැත්නම් රනිල් රාජපක්‍ෂ ආණ්ඩුවෙන් තානාපතිකමක් ගන්න බලනවා වගේ කතා. කොහොම වෙතත් රනිල් ඉන්දීය දේශපාලනඥයන් සමහර දෙනකුට හොඳ උත්තරයක් දීල තිබුණා.

 

කච්චතිවු කියන්නෙ ලංකාවට අයත් දුපතක්. බණ්ඩාරනායක මැතිණිය අගමෑතිණිය වෙලා හිටපු කාලෙ තමයි ලංකාව හා ඉන්දියාව අතර තියෙන දුපත ලංකාවට නැවත අයිති වුණෙ. ඉන්දියාව ඒක නිකම්ම ලංකාවට දුන්න නො වෙයි. දුපත ජනශූන්‍ය එකක්. එහි ශාන්ත අනතෝනි මුනිඳුන්ට කැප කළ දේවස්ථානයක් තියෙනවා. ඉන්දියාවෙන් මෙන් ලංකාවෙන් ධීවරයන් එහි වාර්ෂික පැවැත්වෙන පූජාවකට සහභාගි වෙනවා. ඔවුන් පූජාවෙන් පසු ආපහු යනවා.

 

හැත්තෑ ගණන්වල ඉඳලා දුපත ආරක්‍ෂා කිරීමට ලංකාවෙ නාවික හමුදාව යොදවල තියෙනවා. නාවිකයන් බොහෝ දෙනකු බෞද්ධයන්. එහි බෝධින් වහන්සේ නමක් වැඩ ඉන්නවා. එය රෝපණය කළෙ කවුද  කවද කියන්න බැහැ. සමහර විට නාවිකයන්  වෙන්න පුළුවන්. එයට කිසිවකු විරූද්ධ වුණු බවක් දැන ගන්න නැහැ.

 

එහෙත් පසුගිය දිනක එතැන බුදු පිළිම වහන්සේ නමක් තැන්පත කරල. එයට ඉන්දීය ධීවරයන් දේශපාලනඥයන් පූජකවරුන් විරෝධය පළ කරලා.  බුදු පිළිම වහන්සේ වහාම ඉවත් කරන ලෙසට ඔවුන් කියල. ඉන්දීය ලෝක් සභාවේ විඩුතලෙයි චිරුතයිගල් පක්‍ෂයෙ මන්ත්‍රී තිරුමාවලවන් පිළිබඳ අවධානය යොමු කරමින් යෝජනාවක් ගෙනැල්ල. ඒත් ඉන්දීය ආණ්ඩුව තවම කිසිවක් ප්‍රකාශ කර නැහැ.

 

පට්ටලී මක්කල් පක්‍ෂයේ නායක රාමදොස් කියල පිළිම වහන්සේ තැන්පත් කිරීම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් කියලා. තර්ජනය පිළිම වහන්සේගෙන් නාවික හමුදා භටයන් කිහිප දෙනාගෙන් කියල නැහැ. භාරතය එකල නම් බුදුහාමුදුරුවන් තම ආත්මවාදී දහමට තර්ජනයක් ලෙස සලකපු බව  පැහැදිලියි. අදත් ආත්මවාදීන්ට පුද්ගලවාදීන්ට යථාර්ථවාදීන්ට දේවවාදීන්ට හා තවත් නොයෙකුත් දෙනාට බුදුදහම තර්ජනයක්.

 

මෙරට දෙමළ ජාතික සංධානයත් නිකම් ඉඳලා නැහැ. ඔවුනුත් විරුද්ධ වෙලා, බුදු පිළිම වහන්සේ ඉවත් කර ගන්න ලෙස ඉල්ලලා. සමහර විට ඔවුන් පිළිගන්නවා ඇති දුපත ශාන්ත අන්තෝනි මුණිඳුන්ට පූජා කළ එකක් කියා. කවුරු පූජා කළා කියා දැන ගන්න නැහැ. පෘතුගීසීන් ?

 

මේ විරෝධතා ගැන රනිල්ට දැන්වූ විට ඔහු කියල ඉන්දියාවෙන් (භාරතයෙන්) බිහි කෙරුණු ශ්‍රෙෂ්ඨතමයාණන් වූ බුදුන්වහන්සේට ඉන්දියානුවන් විරුද්ධ වෙන්නෙ මොකට කියලා. මේ සම්බන්ධයෙන් දෙරට අතර නිල මට්ටමේ කිසි සාකචඡාවක් තවම සිදු වී නැහැ.

 

නාවික භටයන් තමන්ට වැඳ පුදා ගැනීම සඳහා බෝධීන් වහන්සේ නමක් රෝපනය කර පසුව පිළිම වහන්සේ නමක් තැන්පත් කර ඇති බවයි පෙනී යන්නෙ. එයට නාවික හමුදාපතිගෙන් අවසර ලැබෙන්න ඇති. ඉංගිරිසින්ගෙ 1892 ආඥ පනතට අනුව වුවත් බෞද්ධ සිද්ධස්ථානයක් ඉදි කිරීමට රජයෙන් අවසර ගන්න ඕන නැහැ. ඉන්දියවෙන් නම් අවසර ගන්න අවශ්‍ය නැහැ. කොහොමටත් ලංකා භූමිය බුදුන් වහන්සේට පූජා කළ භූමියක්.

 

1892 ආඥා පනතට අනුව වුවත් බෞද්ධ නොවන සිද්ධස්ථානයක් ඉදි කිරීමේ දී ආණ්ඩුකාරයාගේ (රජයේ) අවසර ගන්න ඕන. ඔය උතුරු නැගෙනහිර පළාත්වල බෞද්ධ නොවන සිද්ධස්ථාන අනවසරයෙන් ඉදි කරන අයට මතක් කර දෙන්න ඕන. 1892 ආඥා පනත කගේත් දැන ගැනීම පිණිස නැවත පළ කරනවා. එය තවමත් වලංගු බව අවධාරණය කරන්න ඕන.    

 

"As well the priest as all the ceremonies and processions of the Budhoo religion shall receive the rest which in former times was shown them; at the time it is in nowise to be understood that the protection of Government is to be denied to the peaceable exercise by all other persons of the religion which they respectively profess, or to the erection under due licence from His Excellency of places of worship in proper situations"