ඉතිහාසයේ ප්‍රශ්නයට පසුවදනක්
ඉතිහාසයේ ප්‍රශ්නය ඇතැමුනට වැටහී නැහැ. බොහෝ ක්‍ෂෙත්‍රවල අධ්‍යයනය කරන්නේ එදිනෙදා එහෙම නැත්නම් තත්කාලීන ව නිරීක්‍ෂණය කළ හැකි දේ. ගස් ගල් වැටීම, පැල වැඩීම, සත්ව ජීවිත, සමාජය, ආර්ථිකය ආදී විෂය පදනම් වන්නේ අද නිරීක්‍ෂණය කරන දේ මත. එහෙත් විකාශයක් ගැන වෙන ම ක්‍රමයකට හදාරන්න වෙන්නෙ. සත්ව විකාශය වුණත් වර්තමානයෙහිි නිරීක්‍ෂණය කරන්න බැහැ. සත්ව විකාශයත් එක් අතකින් බැලූ විට ඉතිහාසයික විෂයයක්.
ඒ හැම තැනක දී ම කෙරෙන්නේ නිරීක්‍ෂණයට එහා යනවා නම් හිතළුවක් ඉදිරිපත් කර එය අනෙක් කතන්දර නිරීික්‍ෂණ සමග සංගත ද යන්න සලකා බැලීමයි. එහෙමත් නැත්නම් හිතළුව වැඩ කරනවා ද කියා බැලීමයි. කිසිම හිතළුවක් සියයට සියයක් වැඩ කරන්නේ නැහැ. සීමිත වපසරියක තමයි වැඩ කරන්නේ. ඉතිහාසයික විෂයවලත් කෙරෙන්නේ හිතළු ඉදිරිපත් කිරීම. ඩාවින්ගේ පරිණාමවාදයත් එවැනි හිතළුවක්. එයත් සියයට සියයක් වැඩ කරන්නේ නැහැ. රටක ඉතිහාසය ගැනත් ඇත්තේ යම් වපසරියක වැඩ කරන හිතළු.
වර්තමානයේ නිරීක්‍ෂණය කෙරෙන ක්‍ෂෙත්‍රවල කතන්දර ගෙතීමට වඩා අතීතය ගැන කතන්දර ගෙතීම අමාරුයි. ඉතිහාසය අමාරූ ම විෂයය වන්නේ සිත් පිත් ඇති මිනිසුන්ගේ සමාජ විකාශයක් හදාරණ නිසා. එය ජීව විකාශය හදාරණවාටත් වඩා අමාරුයි. ගණිතය පහසුම විෂයය වන්නේ ලෝකය ගැන කිසිම තැකීමක් නැතුව කටයුතු කළ හැකි නිසයි. ඉතිහාසයේ දී විවිධ කතා ගොතන්න පුළුවන්. ඒ ඒ කාලවල දී ලියැවුණු සෙල්ලිපිවලටත් අද විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. සෑම විෂයයක ම විවිධ හිතළු ඉදිරිපත් වෙනවා, ඉතිහාසයේ ඒ විවිධත්වය වැඩි වෙනවා. ඉතිහාසයේ ප්‍රශ්නය එයයි. ඒ හිතළු අතරින් වඩා සංගත කතා තෝරා ගන්න වෙනවා. එහි දී ද එක් එක් අයගේ රාමුව බලපානවා.
මෙරට
ඉතිහාසය දළ වශයෙන් තුන් ආකාරයකට බලන්න එහෙම නැත්නම් හදාරන්න පුළුවන්. එකක් උත්තර භාරතීය රාමුව. අනෙක බටහිර රාමුව. තුන්වැනුව මා දේශීය යැයි හඳුන්වන රාමුව. ඒ තුන්වැනි රාමුවේ ඉතිහාසයක් සමහර විට තවම ලියැවී නැතුවා වෙන්න පුළුවන්.
බටහිර
රාමුව ඊනියා මධ්‍යස්ථ වාස්තවික රාමුවක් ලෙසයි අපට පෙන්වන්නේ. එහෙත් එහි ඇති වාස්තවිකත්වයක්
නැත්තේ කිසිවකුට තම රාමුවෙන් පිටතට යෑමට නොහැකි නිසයි. බටහිර රාමුව නූතනත්ව ක්‍රිස්තියානි රාමුවක්. එහි ලෝකය බලන්නේ ක්‍රිස්තියානි ඇසකින්. පඬි නැට්ටකු අහන්න පුළුවන් ක්‍රිස්තියානි ඇස් බෞද්ධ ඇස් ආදී වශයෙන් ඇස් තියෙනවා ද කියා. ඒකට කමක් නැහැ. මෙරට විශ්වවිිද්‍යාලවල ඇත්තේ බටහිර නූතනත්ව ක්‍රිස්තියානි රාමුව.
විශ්වවිිද්‍යාල මතක් වෙච්ච නිසා අර අඛණ්ඩ වැඩ වර්ජනය ගැනත් යමක් කියන්න ඕන. අද ආචාර්ය සමිති සම්මේලනය ඒ අඛණ්ඩ බව ඛණ්ඩනය කරලා. ආපහු වැඩට ගිහින්. ඔවුන් දැන් උසස් පෙළ පරීක්‍ෂණවලට සහභාගි වෙන්නෙ නැතැයි කියනවා. එය වැඩ වර්ජනයක් නො වෙයි. බොහෝ කලකට පෙර අපේ කාලයේ අප පෙනී සිටියේ විශ්වවිද්‍යාල ප්‍රවේෂ පරීක්‍ෂණයට. එය සම්පූර්ණයෙන් ම එකල තිබූ ලංකා විශ්වවිද්‍යාලයෙන්
කෙරුණක්. ප්‍රශ්න පත්‍ර සකස් කිරීම උත්තර පත්තර බැලීම විතරක් නොවෙයි පරීක්‍ෂණය පැවැත්වුණේ ද විශ්වවිද්‍යාලයෙන්. අවුරුදු හැටකට පමණ පෙර මා විශ්වවිද්‍යාල ප්‍රවේෂ පරීක්‍ෂණයේ සමහර ප්‍රශ්න පත්‍රවලට පෙනී සිටියේ කොළඹ ජෝර්ජ රාජ ශාලාව
ලෙස හැඳින්වෙන විභාග මධ්‍යස්ථානයේ. එදා ප්‍රවේෂ පරීක්‍ෂණයෙන් ඉහළින් සමත් වූ ශිෂ්‍යයන් කිහිප දෙනකුට උප කුලපති ප්‍රමුඛ පරීක්‍ෂක මණ්ඩලයකින් කෙරුණු සම්මුඛ පරීක්‍ෂණයකින් පසු විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණා.
ඒ ප්‍රවේෂ පරීක්‍ෂණය විශ්වවිිද්‍යාලයේ පළමු පරීක්‍ෂණය වුණා. මා හිතන්නේ වෛද්‍ය පීඨවල අදත් විශ්වවිද්‍යාලය
ඇතුළේ කෙරෙන පළමු පරීක්‍ෂණය හැඳින්වෙන්නේ අදාළ උපාධියේ දෙවැනි පරීක්‍ෂණය ලෙස (සෙකන්ඩ් එම් බී බී එස්). පළමු පරීක්‍ෂණය වූයේ ප්‍රවේෂ පරීක්‍ෂණයමයි. එහෙත් අද තත්වය සම්පූර්ණයෙන් ම වෙනස්. උසස් පෙළ පරීක්‍ෂණය පැවැත්වෙන්නේ විභාග දෙපාර්තමේන්තුව
මගින්. එහි ප්‍රතිඵල මත ප්‍රතිපාදන කොමිසම් සභාව මැදිහත් වී විවිධ විශ්වවිද්‍යාලවල විවිධ පීඨවලට සිසුන් ඇතුළත් කරනවා. අද
ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරෙන්නෙ නැහැ. පරීක්‍ෂණයේ දී විභාග දෙපාර්තමේන්තුව
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවය ප්‍රශ්න පත්‍ර සැකසීමේ දී හා උත්තර පත්තර බැලීමේ දී ලබා ගන්නවා. එයට වෙන ම දීමනාවක් ගෙවනවා. එපමණයි.
අද
ආචාර්යවරුන් තම සේවය කරන ස්ථානයේ වැඩ වර්ජනයක යෙදී නැහැ. සම්මේලනය කරන්නේ ඇතැම් ආචාර්යවරුන්ගේ සේවාවක් විභාග දෙපාර්තමේන්තුවට ලබා නො දීම පමණයි. එය වෘත්තීය කටයුත්තක් වර්ජනය කිරීමක් නො වෙයි. ආචාර්ය සමිති සම්මේලනයට එවැනි තීරණයක් ගන්න පුළුවන් ද කියල කාට හරි ප්‍රශ්න කරන්න පුළුවන්. තව කාට හරි කියන්න පුළුවන් මා ආණ්ඩුවට කඩේ යනවා කියලා.
විශ්වවිද්‍යාල මතක් වුණා ම මට නොයෙකුත් කතා හිතට එනවා. මට අද කියන්න ඕන වුණේ ඉතිහාසය ලිවීමේ විවිධ රාමු ගැන. කමක් නැහැ අපි එය පසු දවසකට කල් දාමු.