Main Logo

Wednesday 19 April 2023

ජැක්සන් ඇන්තනි

 

ජැක්සන් ඇන්තනි

 

මේ ලිපිය ජැක්සන් ඇන්තනි ගැන නො වෙයි. ඔහු සමග මගේ ඇති ඇයි හොඳයි කමකුත් නැහැ. මා ඔහු හඳුනන්නේ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂ උපාධි අපේක්‍ෂකයකු සිටි කාලයේ සිට. මා හිතන්නේ ඔහු මා දරණ අදහස් සමග එකඟ නොවන බවයි. ඔහු පමණක් නොව උගත් කලාකරුවන් බහුතරය මගේ අදහස් සමග එකඟ වන්නේ නැහැ. ඔහු කලක් සේවය කළ, මට මතක හැටියට ගුවන් විදුලි සේවයක සාකච්ඡාවකට කැඳවා තම මිතුරකු ලවා මගේ අදහස් වැරදි යැයි කීමට උත්සාහ කළා. හැරෙන්න ඔහු සමග මා සම්බන්ධ වී නැහැ. 

 

මා මුහුණු පොතේ ඔහු ගැන ලියා ඇති හැම සටහනක් කියවා නැහැ. මා දැක්කා ඇතැම් වෙබ් අඩවියක රවි කුමුදේශ් ඔහු ගැන සඳහන් කර තිබුණා. මා කුමුදේශ් මෙන් වෛද්‍ය විශේෂඥයකු නො වෙයි. අතර සෝමරත්න දිසානායක අදහස් ප්‍රකාශ කර ඇති බවක් කියනවා. මා කුමුදේශ් දැක නැහැ. සෝමරත්න දිසානායක සමග වචන සීයක් කතා කර නැහැ. ඔහු සමග මගේ ඇයි හොඳයි කමක් නැහැ.

 

මට ජැක්සන් ඇන්තනිගේ සෞඛ්‍ය තත්වය ගැන කිසිවක් කීමට බැහැ. මා වැඩි දෙයක් දන්නේ නැහැ.  ඔහු අනතුරකට භාජනය වී මාස ගණනක් රෝහලේ යන්ත්‍ර ආධාරයෙන් ජීවත් වන බව පමණයි මා දන්නේ. ඔහු සුවපත් වේ නැද්ද කියා දන්නේත් නැහැ. එහෙත් ඔහු සුවපත් කිරීමට හැකි සෑම උත්සාහයක් ගත යුතු බව නම් මා දන්නවා.

 

මා එසේ දැන ගන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියෙන්. මා හැදී වැඩී තියෙන ආකාරයෙන්. බොහෝ උගතුන් කලාකරුවන් විිද්‍යාඥයන් ගණිතඥයන් දාර්ශනිකයන් මානව ශාස්ත්‍රවේදීන් දන්නේ මගේ කේන්තිය ගැන හා මිථ්‍යා විශ්වාස ගැන. ඊයේත් රාත්‍රී එක් බුද්ධිමතකු මට කතා කර විකාර ප්‍රශ්න ඇසුවා. ථෙරවාදය ගැන ඒකාන්ත පිළිතුරක් ඔහුට අවශ්‍ය වුණා. මා මූලික වශයෙන් සිංහල ථෙරවාදී බෞද්ධයෙක්. එහෙත් ථෙරවාදය  කියන දැනුම් පද්ධතියේ මා දන්නා කොටස්වල  එකඟ නොවන කොටසුත් තියෙනවා. ථෙරවාදයේ හැම විට   ඒකාන්ත පිළිතුරු  දෙන්නේ නැති බවවත් විද්වතාට හැඟීමක් නැහැ. ඔහුගේ ප්‍රශ්නවලට මට කේන්ති යෑම පුදුමයක් නො වෙයි. මා සියල්ල තබා තවම බොහෝ දේ අත්හැර නැහැ. කේන්ති යෑමත් අත්හැර නැහැ. මා බුද්ධිමතකුවත් උගතකුවත් නො වෙයි.

 

ජැක්සන් ගැන කෙරී ගෙන යන සාකච්ඡාවෙනුත් මට කේන්ති යනවා. මේ උගතුන් විද්වතුන් බුද්ධිමතුන් ඇරිස්ටෝටල්ගේ කසිකබල් අන්ත දෙකක් හා අගය දෙකක් පමණක් ඇති න්‍යායේ එල්බ ගෙන තර්ක කරනවා. න්‍යායේ තමයි අර ඒකාන්ත පිළිතුරු බලාපොරොත්තු වෙන්නෙ. එක්කො ඒක නැත්නම් ඒකෙ විරුද්ධය (නිෂේධය).  අපට ඊනියා බුද්ධියක් (මට නම් නැහැ) විතරක් නොවෙයි තියෙන්නෙ. හිතක් පපුවක් කියා එකකුත් අපේ සංස්කෘතියට අනුව නම් තියෙනවා. ඔය බුද්ධිය අර ඇරිස්ටෝටල්ගෙ න්‍යාය හරහා එන තර්ක බුද්ධිය.

 

අපේ සංස්කෘතියෙ න්‍යාය චතුස්කෝටික න්‍යාය. ඒකෙත් ඇත්තෙ අගය දෙකයි. නමුත් කෝටික නැත්නම් අන්ත හතරක් තියෙනවා. එය  හිතට පපුවට කිට්ටු කියා මා හිතනවා. අපට ඉතිහාසයේ එක් වකවානුවක  ශුන්‍යයට අගයක් දී එයට ඉලක්කමක් (සංකේතයක් හල් අකුර) විතරක් නොවෙයි සංඛ්‍යාත්මක අගයක් හා ස්ථානීය අගයක් දීමට හැකි වුණේ අන්ත දෙකකට වැඩි න්‍යාය උපයෝගි කරගෙන. බටහිරයන්ට බැරි වුණත් අපට බිංදුව බිංදුවෙන් බෙදන්නත් පුළුවන්.

 

අද මේ උගතුන් හදන්නෙ අර ඇරිස්ටෝටල් න්‍යාය අනුව තර්ක කරල ජැක්සන්ට තමන් හිතන විධියට බිංදුව හිමි කර දීමට. බිංදුවත් බිංදුවක් වෙන්නෙ නැහැ. සසරක් තියෙන නිසා. අපට ඕන සසරට තිත තියන්න. බිංදුව තියන්න නො වෙයි.

 

පින් සිද්ධ වෙයි. ඔය තර්ක කිරිල්ල පැත්තකින් තියන්න. සිංහලයන් තම බුද්ධිය පෙන්නන්න හැදුවත් හරියට ඇරිස්ටෝටල්ගෙ න්‍යායට අනුව තර්ක කරන්න දන්නෙත් නැහැ. සංස්කෘතියෙ තියෙන්නෙ වෙන න්‍යායයක් නිසා. ඒත් තම බොරු උගත්කම පෙන්නමින් තර්ක කරනවා.

 

අපි කියන්නෙ කුරා කුඹියකුටවත් ඔවැනි දෙයක් වෙන්න එපා කියලා. ඒකෙ තියෙන තර්කය මොකක් ? කළ හැකි දෙයක් ජැක්සන් වෙනුවෙන් කරමු. ඔව් බෝධි පූජාත් පවත්වමු.  හිතක් පපුවක් තියෙන මිනිසුන් ලෙස වැඩ කරමු.

 

මේ ලිපිය ඇරිිස්ටෝටල් සඳහාත් විවෘතයි.