Main Logo

Monday 6 March 2023

මධ්‍යම පංතියේ උගතුන්ගේ මොණර නැටුම්

 මධ්‍යම පංතියේ උගතුන්ගේ මොණර නැටුම්

 

අප ලියමින් සිටින්නේ මේ ආර්ථික අර්බුදයට වග කිවයුත්තන් ගැනයි. පරගලය මෙහෙයවූවන් එය ගෝඨාභයට හා හොරකමට ඌනනය කරනවා. ඊනියා උගත් මධ්‍යම පංතිය තම නූගත්කම ප්‍රදර්ශනය කරමින් එය වමාරනවා. පරගලයන්ගේ තර්කය ඉතා සරලයි. ආර්ථික අර්බුදය ඇතිවුණේ ගෝඨාභයගෙ කාලෙ. ඔහු එයට වග කියන්න ඕනෙ. රාජපක්‍ෂලා හොරකම් කිරීම නිසයි අපට ඩොලර් නැති වුණෙ. හොරකම් කරපු ඩොලර් ගේන්න කිසිවකු කටයුතු කරන බවක් පේන්නත් නැහැ.

 

අප කියන්නේ ආර්ථික අර්බුදය අවුරුදු හැත්තෑවක පමණ කාලයක් ණයට කෑමේ ප්‍රතිඵලයක් බවයි. අප කර ඇත්තේ පිටරටින් ණය ගෙන භාණ්ඩ ආනයනය කිරීමත් මෙරට මුදල් අච්චු ගසා රජයේ වියදම් කිරීමත්. අපනයන ගැන නිෂ්පාදනයක් ගැන අප කර ඇත්තේ කුමක් ? තේ පොල් රබර් භෝග ද්‍රව්‍ය වගා කිරීමෙන් පසු අප ඇඟලුම් අපනයනය කළා. ප්‍රේමදාසගේ කාලයේ. එහෙත් කර්මාන්තය සඳහා අපට මූලද්‍රව්‍ය ආනයනය කරන්න වුණා. සඳහා විශාල මුදලක් වැය වුණා. අනෙක් අතට අපට අපනයනවලින් ලැබිය යුතු තිබූ ඩොලර් විශාල ප්‍රමාණයක් පිටරට නැවතුණා.

 

මෙරට අඩු ආදායම්ලාභීන් අරාබිකරයේ රැකියාවලට ගියා. පසුව කොරියාව වැනි රටවලටත් ගියා. ඔවුන්ගේ ප්‍රේෂණ අපට ඩොලර් සැපයුවා. එහෙත් පසුව ඔවුන් උන්ඩියල් ක්‍රමයට මුදල් එවුවා. උන්ඩියල් පාලනය කරන්නන් හා අර අපනයන මුදල් එතෙර රඳවන අය අතර සම්බන්ධයක් ඇතැයි කියනවා. කෙසේ නමුත්  ප්‍රේෂණවලින් ලැබෙන ඩොලර් අඩු වුණා. අතර කොවිඩ් සමග සියල්ල වෙනස් වුණා. හොඳ අතට නො වෙයි. විදේශීය සංචාරකයන් පැමීණීම නැවතුණා. කොවිඩ් පාලනයටත් විශාල මුදලක් ගෙවන්න සිදු වුණා. අර ණයට කෑම නිසා හටගත් ප්‍රශ්නය ඔඩු දුවන්න වුණා.

 

මේ ණයට කෑවේ විශේෂයෙන් මෙරට මධ්‍යම පංතියේ වුවමනා එපාකම් නිසා. ඔවුන්ගේ අවශ්‍යතා ආකල්ප නිසා. ඔවුන්ගේ අධිපරිභෝජනය බොරු ෂෝක් බොරු උගත්කම් එහි මුල තියෙන්නෙ. මේ මධ්‍යම පංතිය බිහි වුණෙ ප්‍රධාන වශයෙන් නිදහස් අධ්‍යාපනය නිසා. නිදහස් අධ්‍යාපනය මා කලින් සඳහන් කර ඇති ආකාරයට සිංහල හා දෙමළ මාධ්‍යවලින් ඉගැන් වූ පාසල්වල ආරම්භයේ සිට තිබුණා. අද නිදහස් අධ්‍යාපනය කියන්නේ හතළිස් ගණන්වල රජයේ ඉංගිරිසි මාධ්‍ය පාසල්වල නොමිලේ ඉගැන්වීමට.

 

මධ්‍යම පංතිය සර්වජන ඡන්දයත් සමග දේශපාලනඥයන් සමග ගණුදෙනුවක් ආරම්භ කළා. අපි ඡන්දෙ දෙන්නම් අපේ අවශ්‍යතා ඉටු කරන්න. අවශ්‍යතා අර මධ්‍යම පාංතික ආකල්ප මත පදනම් වූ අවශ්‍යතා. 1956, 2005, 2019 එයට පිටින් සිදු වූ ඡන්ද ව්‍යාපාර. අතර බොරු වාම කතාත් තිබුණා. වාම කතා හා මධ්‍යම පාංතික අවශ්‍යතා අතර තිබුණේ එක්තරා පරස්පරයක්. මධ්‍යම පංතිය බලාපොරොත්තු වුණේ එංගලන්තයේ හා පසුව ඇමරිකාවේ මෙන් දියුණුවක් අත්කර ගන්න. එහෙත් ඔවුන්ට ඊනියා සමාජවාදයකුත් අවශ්‍ය වුණා.

 

සෝවියට් දේශය බිඳ වැටී වසර තිහකට වැඩි කාලයක් ගත වී තිබුණත් ඔවුන්ගේ වාම අනුරාගය තවම සංසිඳී නැහැ. අද ලෙනින් නැහැ. ඉන්නේ පුටින්. ඔහු ජාතිකවාදියෙක්. ලෙනින්ටත් අර ආන්ද්‍රෙයෆ් කියනව වගේ ජාතික චින්තනයක් තිබුණා. රුසියාවේ මාක්ස්වාදී විප්ලවයක් සිදු වුණේ නැහැ. මාක්ස්වාදය අනුව  කම්කරු පංති විප්ලවය සිදු විය යුතුව තිබුණේ එංගලන්තයේ හා අනෙක් බටහිර යුරෝපීය රටවල. එය සිදු වූයේ නැහැ. අද නම් කම්කරු පංති විප්ලවය සිද්ධ වෙන්න ඕනෙ ඇමරිකාවෙ. ඒත් ඒක සිද්ධ වෙන පාටක් නැහැ. ඇමරිකා එක්සත් ජනපදය පෞද්ගලිකත්වය ඉහ වහා ගිය රටක්. අද මධ්‍යම පංතිය නොදන්න නොතේරෙන විප්ලවයක් ගැන කතා කරන්නෙ මාක්ස්වාදී අරුතකින් පංතිය කියන්නෙ මොකක් කියන එකවත් දන්නෙ නැතුව.

 

තමයි මධ්‍යම පංතියෙ බුද්ධිමය දරිද්‍රතාව. අපේ රටින් විශිෂ්ටයන් බිහි වෙලා නැහැ. ටිකක්වත් කල්පනා කරන්න පුළුවන් අයකුට හිටියෙ කුමාරතුංග මුනිදාසයන් පමණයි. එයට හේතුව වෙන කියන්න ඕනෙ. මේ මධ්‍යම පංතිය අද දන්නෙ බටහිරින් එන මොකක් හරි අදහසක් අරහෙන් මෙහෙන් අහුල ගෙන ඊනියා බුද්ධිමය සාකච්ඡා පවත්වන්න පමණයි.

 

මධ්‍යම පංතියට මාක්ස්වාදී පංතිය කියන සංකල්පය ගැනවත් වැටහීමක් නැහැ. මාක්ස්වාදයේ පංතිය කියන සංකල්පය අර්ථදක්වන්නෙ සමාජ නිෂ්පාදන ක්‍රියාවලිය පදනම් කරගෙන. එහි ධනපති පංතියක් ඉන්නවා. කම්කරු පංතියක් ඉන්නවා. වෙන පංති නැහැ. කම්කරු පංතිය කියා මෙරට පැරණි මාක්ස්වාදීන් පරිවර්තනය කෙළෙ රුසියන් ප්‍රොලිටේරියට් කියන පංතිය. විජේවීර වැන්නන් එය නිර්ධන පංතිය ලෙස පරිවර්තනය කළා. නිර්ධන පංතිය කියන වචනය වැරදියි. දැන් සමහරු ප්‍රභූ පංතියක් ගැන කියනවා. එවැනි පංති මාක්ස්වාදයේ නැහැ. ඒත් ඔය කම්කරු පංතිය තිබුණෙ මාක්ස්ගෙ ඔළුවෙ. කිසිම රටක එවැනි පංතියක් දකින්න නැහැ.

 

එහෙත් අප විවිධ අර්ථවලින් පංතිය කියන වචනය යොදා ගන්නවා. දුම්රියේත් පංති තියෙනවා. පාසලේත් පංති තියෙනවා. මදිවට උපකාරක පංතිත් තියෙනවා. එකක්වත් මාක්ස්වාදී පංති නො වෙයි.  අප කතා කරන මධ්‍යම පංතියත් මාක්ස්වාදී අරුතකින්  පංතියක් නො වෙයි. අප කතාකරන මධ්‍යම පංතියෙ ඉහළ හා පහළ කියා සමහරවිට කොටස් දෙකක් දකින්න පුළුවන්. එහි ඉහළ ව්‍යවසායකන් ඉන්නවා. ඔවුන් ධනපති පංතියට අයත් කියන්න පුළුවන්. අතර කම්කරුවන් ඉන්නවා. ලිපිකරුවන් ගුරුවරුන් පමණක් නොව පරිපාලන නිලධාරීන් හා විශ්වවිිද්‍යාල කථිකාචාර්යවරුන් එහි ඉන්නවා. මේ මධ්‍යම පංතිය ගැන මාර්ටින් වික්‍රමසිිංහ ලියා තියෙනවා. ඔහු බොහෝ විට සඳහන් කෙළේ මැද පංතිය ලෙස.

 

අපේ රටේ මේ මැද පංතිය නැත්නම් මධ්‍යම පංතිය ඉන්දියාවේ මධ්‍යම පංතියෙන් වෙනස්. අපේ මධ්‍යම පංතියෙ ආකල්ප ඉන්දියාවෙ මධ්‍යම පංතියෙ ආකල්පවලට වඩා වෙනස්. ඒ් වෙනස ඇතිවෙන්නෙ සංස්කෘතිය මත, ජාතිකත්වය මත. මාක්ස්වාදය ඇතුළු බටහිර දැනුම් කෑලි එහෙන් මෙහෙන් අහුල ගත්ත බුද්ධිමය දිළින්දන්ට මේ ගැන අවබෝධයක් නැති කම පුදුමයක් නො වෙයි. ඔවුන් පිල් විදහා පෙන්වන්නේ බුද්ධිමය නිරුවත් බව. බුද්ධිමය දරිද්‍රතාව නිසා කෙරෙන්නක්.