Main Logo

Sunday 19 March 2023

ඇතැමුන්ට සුසුමක් අබිං වූ මාක්ස්වාදය

 ඇතැමුන්ට සුසුමක් අබිං වූ මාක්ස්වාදය

 

එක් අතකින් බලන විට විවිධ සිංහල බෞද්ධ විරෝධීන් බටහිර රටවල සුවසේ නිදන්නේ කාගේ පිහිටෙන් යන ප්‍රශ්නය ඇසීම වැරදියි. ඔවුන් ලංකාවේ දී සුවසේ නිදා ගන්න පුළුවන්කම තිබූ  අය. ඔවුන්ට ප්‍රශ්නය වෙලා තිබුණෙ ඔවුන් කියන සිංහල බෞද්ධ ආධිපත්‍යය ඔවුන්ට නිදාගන්න දුන්නෙ නැති එක වෙන්න ඇති.

 

දැනට අවුරුදු පනස්පහකට පමණ උඩ දි ලන්ඩනයට ගිය මට අමුත්තක් දැනුනෙ නැහැ. එහි උස ගොඩනැගිලි  අනගි පාරවල් උමං දුම්රිය ආදිය දැකීම අලුත් අත්දැකීමක් වුණත් ඉන්ද්‍රිය ගෝචර පමණයි. මානසික සියල්ල හුරු වුණා. සියල්ල ගැන දැන සිටියා. ලැබූ අධ්‍යාපනය අනුව අප ඉන්දියාවට වඩා එංගලන්තය ගැන දැන සිටියා.

 

ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් මැන්චෙස්ටර් ලන්ඩන් විශ්වවිිද්‍යාල අපට මනසින් හුරු වුණා. අටවැනි හෙන්රි රජු ගැන අප දැන හිටියා. එංගලන්තයේ ක්‍රිස්තියානි ආගම ඇති කෙළේ ඔහු. කතෝලික ආගමට හා පාප් වහන්සේට විරුද්ධ ඔහු කැරැල්ලක් ගසා වෙන්වුණා. නැහැ අරගලයක් කළේ නැහැ. අරගල කරන අය වෙන්වන්නේ නැහැ. රනිල්ගෙන් අහන්න. අපට පාසලේ ඉංගිරිසි ඉතිහාසය ඉගැන්නුවා පමණක් නොව මට අදාළ කණිෂ්ඨ ත්‍යාගය ලැබුණා. හේස්ටිංග්ස් යුද්ධය ඉංගිරිසි ඉතිහාසයේ මුල බව අප දැන සිටියා. අවශ්‍ය වී තිබුණේ දැක බලා ගැනීම පමණයි. මා බව පවසන්නේ පුරසාරමකට  නො වෙයි. බොහොමයක් දැන සිටීම නිසා මට අරගල කර කර ඉන්න වුණේ නැහැ.

 

මා හිතන්නේ නැහැ සෑම පාසලක ඉංගිරිසි ඉතිහාසය ඉගැන්නුවා කියා.  එහෙත් හැම පාසලක ඉගැන්නුවේ ඉංගිරිසි දැනුම. පාසල්වල බෞද්ධයන්ට ක්‍රිස්තියානි ආගම උගන්වන්නේ නැහැ. එහෙත් ඉංගිරිසි බුද්ධාගමක් උගන්නනවා. පාසල්වල උගන්වන්නෙ තනිකර ඉංගිරිසින් හිතන විධියට ලෝකෙ දිහා බලන්න. මාක්ස්වාදීන් පමණක් ටිකක් වෙනස් වෙලා තරමක යුරෝපීය විධියකට, ඉංගිරිසින් කියන ආකාරයෙන් මහාද්වීපික හිතනවා කියා හිතුවා. ඔවුන් හිතුවේ තමන් හිතනවා යන්න පමණයි. එංගලන්තයත් අයිති වෙන්නෙ යුරෝපා මහාද්වීපයට. එහෙත් ඔවුන් තමන්ගෙ වෙනසක් දැක්කා. බ්‍රෙක්සිට් නැත්නම් යුරෝපයෙන් පිටවීමට මුල් වන්නෙත් හැඟීම.

 

මාක්ස්වාදීන් සිහින බලන්න පුරුදු වුණා. බටහිර විිද්‍යාවෙ කරන්නෙත් හරියනවා කියල කරල බලන එක. යම් අදහසක් වැඩ කරනවා කියල කරල බලනවා. අදහස් හැමෝට එන්නෙ නැහැ. අදහස් වැඩ කරනවා කියල බලන්න තමයි ඔය පර්යේෂණ කරන්නෙ. සමහර වෙලාවට පර්යේෂණ හා තාරකා විද්‍යාවෙ නම් නිරීක්‍ෂණ කරන විට කලින් නොදැකපු දේ (සංසිද්ධි) දකින්න ලැබෙනවා. එවිට ඒවා තේරුම් කරන්නත් අලුත් අදහස් ඕන වෙනවා. අදහස් වැඩ කරනවා කියලත් බලන්න වෙනවා.

 

මාක්ස්වාදීන්ට සාමාන්‍යයෙන් එහෙම කරන්න බැහැ. එහෙම කරන්න හදපු ලෙනින් හා පිරිස අර පත්‍රිකාවල ලියන වගේ Lenin et al., අසාර්ථක වුණා. ඒත් තවමත් ටික දෙනකු ඉන්නවා මක්ස්ගෙ අදහස පොඩි පොඩි සංශෝධන සහිත පිළිගන්න. අදහස්වලටත් ආරම්භයක් තියෙනවා රේඛීය න්‍යායක් තියෙනවා. අර අපෝහකය රේඛීය තමයි. පුළුවන් නම් අපෝහකයේ රූපිකය හොයා ගෙන කියවල තේරුම් ගන්න බලන්න. මාක්ස්ගේ අදහස් වැඩ කරන්නෙ නැති වුණත් ටික දෙනකු විශ්වාස කරනවා. මාක්ස් ආගම ගැන කී දේ මාක්ස්වාදය ගැනත් ටිකක් වෙනස් කරල කියන්න පුළුවන්. මාක්ස්වාදය  සමාජයේ අසාධාරණයක් දකින ඇතැමුන්ගේ  බලාපොරොත්තුවේ  සුසුම වෙලා, ඔවුන්ගේ අබිං වෙලා. 

 

බටහිර දැනුමෙ මුල ඇත්තෙ දෙවියන් වහන්සේ. බටහිර බොහෝ විද්වතුන් කියන එකක් නැහැ ඔවුන්ට දෙවියන් වහන්සේ අවශ්‍ය කියා. එහෙත් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය පදනම් වෙන්නෙ වියුක්ත දෙවියන් වහන්සේ සහ ඇරිස්ටෝටල්ගෙ ආරම්භයක් සහිත රේඛීය න්‍යාය මත. එයට අමතර ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය තියෙනවා. සිංහල බෞද්ධයන්ටත් වෙනත් ථෙරවාද බෞද්ධයන්ටත් දෙකෙන් එකක්වත් නැහැ. වත්මන් ලෝකයේ ජීවත්වීම ථෙරවාදීන්ට ප්‍රශ්නයක්.

 

සිංහල බෞද්ධ විරෝධීන්ට පමණක් නොවෙයි ඇතැම් ජාතිකවාදීන්ටත් ඉංගිරිසි දැනුමත් මාක්ස්ගෙ මහාද්වීපික දැනුමත් තවත් ආගම් වෙලා.  ජාතිකවාදීන් මූලික වශයෙන් සිංහල බෞද්ධ විරෝධීන් නොවෙයි. ඇතැම් ජාතිකවාදීන්ට ඉංගිරිසි දැනුම මාක්ස්වාදය බුද්ධාගම එකට තියාගන්න පුළුවන්. එහෙත්  සිංහල බෞද්ධ විරෝධීන්ට එහෙම බැහැ. ඔවුන් ඉංගිරිසි දැනුම හරි මාක්ස්වාදය හරි දෙක හරි විශ්වාස කරනවා. අනුව ඔවුන් සිංහල බෞද්ධ අධිපතිවාදයක් දකිනවා.

 

එහෙත් ඔවුන්ගේ ප්‍රශ්නය තමන් සිංහල බෞද්ධ අධිපතිවාදයක් දකින්නේ අර ඉංගිරිසි දැනුම හරි මහාද්වීපික දැනුම හරි ආධාර කරමින් බව නො දැකීම. ඔවුන් තමන් ඊනියා සිංහල බෞද්ධ අධිපතිවාදයක් දකින්නේ ඉංගිරිසි දැනුම් ආධිපත්‍යයට යට වී බව නො පිළිගැනීම. ඔවුන්ට ඉංගිරිසි දැනුම් ආධිපත්‍යයට යට වී මාක්ස්වාදය සමග හරි නැතුව හරි ජීවත්වීම ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන්ට ඉංගිරිසි දැනුම් ආධිපත්‍යය යටතේ  සුවසේ නින්ද යනවා. ඔවුන්ගේ ප්‍රශ්නය ඊනියා සිංහල බෞද්ධ ආධිපත්‍යය පිළිබඳ හීනෙන් දැකලා හීනෙන් කැගහලා නැගිටල කෑගැහිල්ල දිගට කර ගෙන යෑම. ඔවුන්ට බටහිර රටකට ගියා අර හීනෙ පේන්නෙ නැහැ. ඔවුන් ඉංගිරිසි දැනුම් ආධිපත්‍යය යටතේ ගොරව ගොරවා තද නින්දේ.