Main Logo

Saturday 13 April 2019

අසාන්ජ් අත්අඩංගුවට ගැනීම

අසාන්ජ් අත්අඩංගුවට ගැනීම

ජුලියන් අසාන්ජ් ලන්ඩනයේ එක්වදෝර් තානාපති කාර්යාලයෙ ඉන්දැද්දිමයි එංගලන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙනු ලැබ ඇත්තෙ.  තානාපති කාර්යාල ඒ පිහිටි රටෙන් බාහිර ස්වෛරී ප්‍රදේශ ලෙසයි සලකන්නෙ. අසාන්ජ් අවුරුදු හතක් එක්වදෝර් තානාපති වරප්‍රසාදය ලබාගත්තා. එක්වදෝරයත් ඔහුට ඒ වරප්‍රසාදය ලබා දුන්න. බොහෝ විට අසාන්ජ් දිගට ම තානාපති කාර්යාලයට සීමා වෙලා ඉන්න ඇති. ඒත් එංගලන්තය එක්වදෝරයේත් අනුමැතිය ඇතිව අසාන්ජ් අත්අඩංගුවට ගත් බවක් පේනවා.


අසාන්ජ්  රාජ්‍ය ලේඛන රාශියක් අනවසරයෙන් ලබා ගෙන විකිලීක්ස් නමින් පළ කළා. ඔහු ලංකාව සම්බන්ධයෙන් ද රාජ්‍ය රහස් යැයි කිව හැකි ලේඛන පළ කරල තියෙනවා. විශේෂයෙන් කොටි ත්‍රස්තවාදය සම්බන්ධ ලියැවිලි. ඒ සමහර ලියැවිලිවලින් බටහිරයන් ක්‍රියා කර ඇති ආකාරයත් පෙනී ගියා. අප සිතා ගෙන සිටි දේ, එහෙමත් නැත්නම් කොටි ත්‍රස්තවාදය ගැන අප ගොතල  තිබුණ කතාව එමගිනුත් තහවුරු වුණා.

රාජ්‍ය රහස් කියන ඒව හරි බරපතල කරුණු. ලෝකයේ කිසිම රාජ්‍යයක් සම්පූර්ණයෙන් ම පාරදෘශ්‍ය කියල හිතන්න බැහැ. රාජ්‍යයක ප්‍රධාන ම කාර්යය තමයි රාජ්‍යය ආරක්‍ෂා කිරීම. රනිල්ගෙ ආණ්ඩුව එසේ නොකළත් ලංකාවෙත් එහෙම තමයි වෙන්න ඕන.  මෙරට තොරතුරු දැන ගැනීමේ පනතක් සම්මත වෙලා තිබුණත් රාජ්‍ය රහස් හැටියට වර්ගීකරණය කරන තොරතුරු ලබා ගන්න බැහැ. අපේ රටට එන විදේශීය නියෝජිතයන් ජනාධිපති අගමැති ආදීන් හමුවෙලා මොනව කතා කරනවා ද මොන සම්මුතිවලට එනව ද කියන්න අපි දන්නෙ නැහැ. ඔවුන් සාකච්ඡා අවසානයේ නිකුත් කරන ඒකාබද්ධ ප්‍රකාශ එතරම් ගණන් ගන්න බැහැ. එයින් කියන දේට වඩා නොකියන දේ වැඩියි. 

පහුගිය දවස්වල ඇවිල්ල ගිය ඉන්දීය විදේශ ඇමති ජනාධිපති අගමැති ආදීන් සමග කතා කෙළේ මොනවා ද කියල අපට හිතාගන්න තමයි තියෙන්නෙ. අපි කොච්චර කාලෙකට පස්සෙ ද දැනගත්තෙ 2008-2009 කාලයෙ දෙරට අතර ට්‍රොයිකා සාකච්ඡාවල මොකද වුණේ කියලා. 

රාජ්‍යයක පරම යුතුකම හා කාර්යභාරය රාජ්‍යය ආරක්‍ෂා කිරීම නම් රාජ්‍ය රහස් ආරක්‍ෂා කරන එකත් රාජ්‍යයක කාර්ය භාරයක්. එහෙත් ප්‍රශ්නයක් එනවා. මේ රාජ්‍ය රහස් මොන තරම් දුරට රටට හිතකර ද අහිතකර ද යන්න. අර ට්‍රොයිකා ගිවිසුම හරි එකඟතාව හරි රට පාවාදීමක් වුණා. මේ ඊනියා රාජ්‍ය රහස් ලබා ගන්න පුළුවන් නම් හොඳයි. රාජ්‍යයක් මුළුමනින් ම පාරදෘශ්‍ය නම් මේ ප්‍රශ්න පැන නගින්නෙ නැහැ. අනෙක් අතට රාජ්‍ය රහස් කියල තීරණය කරන්නෙ කවුද? ඒක ඒ එ ආණ්ඩුවේ කටයුත්තක් වෙනවා. 

රාජ්‍ය රහස් පුද්ගලයන් සම්බන්ධ දේ වෙන්නත් පුළුවන්. එවිට තමයි මානව අයිතිවාසිකම් කතාව එන්නෙ. එහෙත් යම් පුද්ගලයෙක් රාජ්‍යයට ද්‍රෝහි වෙනව නම් මොකක් ද කරන්නෙ කියන ප්‍රශ්නය එනවා. මා නම් හිතන්නෙ ඒ සියල්ල ප්‍රසිද්ධ කළ යුතු ය කියා.  විජේවීරල ප්‍රභාකරන්ල ගැන සියලු කරුණු හෙළිදරවු කළ යුතුව තිබුණා. එහෙත් සියලු කරුණු කියන කොට ඔවුන් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී කරන කියන දෙය කලින් කීම අයත් වන්නේ නැහැ. එහෙත් පසුව කියන්න ඕන. එකම දේ රටේ නීතිය අනුව ඒ දේ සිද්ධ විය යුතුය කියන එක පමණයි. විජේවීර අත්අඩංගුවට ගත්තට පස්සෙ වෙච්ච දේ තවමත් හරියට කියන්නෙ නැහැ. ජ වි පෙරමුණටත් ඒ දැන ගන්න වුවමනාවක් නැතිව වගෙයි. 

අසාන්ජ් එංගලන්තයෙදි අත්අඩංගුවට ගැනීම වරදක්. ඔහු එංගලන්ත විසා නීති කඩ කරා කියල කියන්න බැහැ. ඔහු සිටියෙ එංගලන්තෙ නො වෙයි. එක්වදෝර තානාපති කාර්යාලෙ. ඒ අත්අඩංගුවට ගැනීමට විරුද්ධ ව ලංකාවෙත් පෙළපාලි යනව ද? ඒ පෙළපාලි සංවිධානය කරන්නෙ කවුද? ඒවට සල්ලි දෙන්නෙ කවුද? සිවල් සමාජ ඒ වැඩේ කරාවි ද? සිවල් සමාජවලට වෙනද ඒවගේ දේට ආධාර කෙළෙ බටහිර රටවල්. අසාන්ජ් අත්අඩංගුවට ගැනීමට විරුද්ධව පෙළපාලි යෑමට බටහිර රටවල් ආධාර කරාවි ද. කරන්නෙ නැත්නම් මුහුණු පොතේ අතාත්වික  (virtual) පෙළපාලියක් සංවිධාය කරාවි ද? මුහුණු පොතේ කයිවාරු ගැහුවට ඒකත් ප්‍රශ්නයක්. 

සිවල් සමාජයට බටහිර ආධාර ඇතිව ලංකාණ්ඩුවට විරුද්ධ ව පෙළපාලි යනව වගේ නොවෙයි බටහිර රටවලට විරුද්ධව පෙළපාලි යෑම. ඒ දවස්වල නම් පෙළපාලි ගියේ බටහිර රටවලට විරුද්ධව. වියට්නාමයට අත නොතබනූ යන්න අවුරුදු පනහකට පමණ ඉහත සටන් පාඨයක් වුණා. ඒත් දැන් ඒ තත්වය වෙනස් වෙලා. ඒක ඊනියා පශ්චාත් නූතනත්වයක්, ලියෝතාර්ද්ගෙ පශ්චාත් නූතන කොන්දේසියක් ලක්‍ෂණයක් නො වෙයි. 

ඒ නූතනත්වයේ තහවුරුවීමක්. නූතනත්වය යටතේ සමහර කරුණු අතින් ජාත්‍යන්තර සුපිරිව්‍යුහ සංස්ථාපනය ශක්තිමත් වෙලා. අසාන්ජ් සම්බන්ධයෙන් සංස්ථාපනයට පුළුවන් වෙලා තියෙනවා එක්වදෝරය දණ ගස්සවන්න. ලන්ඩනයෙ එක්වදෝර තානාපති එංගලන්ත පොලිසීයට තානාපති කාර්යාලය ඇතුළට එන්න ආරාධනය කරා වගේ තමයි පේන්න තියෙන්න. එහෙත් සිදුවන්න ඇත්තෙ සුපිරිව්‍යුහ සංස්ථාපනය එක්වදෝරයට බලපෑම් දමා එංගලන්තයට ඕන ටික කරවා ගැනීමක් කියල හිතන්න පුළුවන්. මේ අතර එක්වදෝරයේ නව ජනාධිපති ලෙනින් මොරෙනො කියන්නෙ අසාන්ජ්ගෙ හැසිරීම ඉතාමත් අශෝභන හා හිතුවක්කාර වූ නිසා ඔහු පිටමං කරන්න සිද්ධ වුණා කියලා.  

අසාන්ජ් රාජ්‍ය රහස් ලබා ගත්ත ද ආදී ප්‍රශ්නවලට වඩා වැදහත් වෙන්නෙ අසාන්ජ්ගෙ මානව අයිතිවාසිකම් ප්‍රශ්නය. ඒ වගේ ම එක්වදෝරයෙ නව ජනාධිපති මොනවා කිව්වත් ඒ රටේ රාජ්‍ය අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය. එංගලන්තය රටක ස්වෛරීභාවය කෙළසලා.  අසාන්ජ්  තානාපති කාර්යාලයක ඉන්න විට ඔහු අත්අඩංගුවට ගැනීම වරදක්. ඔහුට අයිතියක් තිබුණ තානාපති කාර්යාලයෙ රැඳී ඉන්න. එංගලන්තය ඒ අයිතිය නැති කරලා. ඔහු එක්සත් රාජ්‍යවලට උදර්පනය කරනවද ආදියට වඩා ප්‍රශ්නය වන්නෙ මේ අත්අඩංගුවට ගැනීම. සිවල් සාමාජිකයන් මුහුණු පොතේ අතාත්වික පෙළපාලි යාවි. ඒක ඔවුන්ගෙ අයිතිවාසිකමක්. එහෙත් ලෝකයේ අනෙක් රාජ්‍ය මේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ කරන්නේ කුමක් ද?