Main Logo

Sunday 28 April 2019

පඬියෝ හා සෝම හාමුදුරුවෝ

පඬියෝ හා සෝම හාමුදුරුවෝ

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ව සිංහල බෞද්ධ සංස්කෘතියට හා සිංහල බෞද්ධයනට වරද පැටවීමට මහත් උත්සාහයක් ගෙන අසාර්ථක ව පැන යන හීනමානයෙන් පෙළෙන හිස් පඬියන්, පඬි පෝතකයන් හා පඬි නැට්ටන් දැන් සෝම හාමුදුරුවන් අල්ලා ගන්න ලැහැස්ති වෙනවා.  මා සෝම හාමුදුරුවන්ගේ දේශනා ක්‍රියාකාරකම් සියල්ල සමග එකඟ වන්නේ නැහැ. උන්වහන්සේත් එක්තරා ආකාරයකට නූතනත්වයෙන් නොමග ගියා. උන්වහන්සේ සිංහල බෞද්ධ සංස්කෘතිය, සිංහල බුද්ධාගම වෙනුවට බුදුදහමක් ගැන දේශනා කළා. 


අසරණ වී සිටි සිංහල බෞද්ධයනට උන්වහන්සේ රැකවරණයක් වුණා. චම්පක රණවක හා ඔහු වටා සිටි පිරිස් උන්වහන්සේගේ ජනප්‍රිය බව ගසා කෑමට කටයුතු කළා. උන්වහන්සේගේ දේශනා ඇසූ ගිහි බෞද්ධයන් උන්වහන්සේ වටා දහස් ගණනින් රොක් වූ නමුත් උන්වහන්සේ අනුගමනය කළේ නැහැ. කිසිවකු පන්සල්වල දේවරූප ගඟට විසි කෙළේ නැහැ. සෝම හාමුදුරුවන් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කෙළේ නැහැ. සිංහල බෞද්ධයන් උන්වහන්සේ වටා රොක් වූයේ තමන් වෙනුවෙන් කතා කිරීමට වෙනත් කිසිවකු නැත යන අදහසින් මිස උන්වහන්සේගෙන් දේශපාලන ව්‍යාපාරයක් බලාපොරොත්තුවෙන් නො වෙයි. චම්පක හා පිරිස ඒ ජනතාවගේ ඡන්දය බලාපෙරොත්තු වුණා. එහෙත් කොළඹ අවට ඊනියා උගත් මධ්‍යම පංතිකයන් පිරිසක් හැරෙන්න අන් අය ජාතික හෙළ උරුමයට එකතු වූයේ නැහැ.  

සෝම හාමුදුරුවන් දේශනා කෙළේ මූලික වශයෙන් ම දෙමළ කතාකරන හා මුස්ලිම් ක්‍රියාකාරීන් නිසා සිංහල බෞද්ධයනට වී ඇති පීඩාවයි. සිංහල බෞද්ධයන් 1505 සිට තවමත් මෙරට වඩාත් ම පීඩාවට ලක් වූ කොටසයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය වඩාත් ම පීඩාවට ලක් කරන්නේ සිංහල බෞද්ධයන්. සිංහල බෞද්ධයනට නැති වූ සිංහල බෞද්ධ රාජ්‍යය නැවත ඇති කිරීම මගින් පමණයි සිංහල බෞද්ධනට පමණක් නොව සිංහල කිතුණු කතෝලික බැතිමතුන්ටත් හින්දුන්ටත් මුස්ලිමුන්ටත් අනාගාමික යැයි කියන රොත්තටත් නිදහස ලැබෙන්නේ. ඒ රොත්තට සිංහල බෞද්ධ රෙද්දක් ගැන කියවමිනුත් නිදහසේ ඉන්නට ලැබී ඇත්තේ සිංහල බෞද්ධයන් සහනශීලි නිසයි. නරක ද නිකමටවත් වෙනත් රෙද්දක් ගැන කතා කිරීම. වෙන එහෙකට නොවෙයි රෙද්දේ දිග පළල දැන ගැනීමට. 

සිංහල බෞද්ධ රාජ්‍යය නැවත ඇති කිරීම යනු අර කසිකබල් සමාජවාදී රාජ්‍යය හරි කොමියුනිස්ට් සමාජයක් ඇති කිරීමක් වගේ එකක් නො වෙයි. කසිකබල් මාක්ස්වාදය අද වැටී තිබෙන තත්වය මෙරට විවිධ මාක්ස්වාදීන් පශ්චාත්තාපවූවන් පමණක් නොව බටහිර එවැන්නන් ද ක්‍රියා කරන ආකාරයෙන් පැහැදිලි වෙනවා. ඔවුන්ට සමාජවාදී රාජ්‍යය මාක්ස්ගේ ඊනියා විද්‍යාත්මක  සොයාගැනීමක්. ඊනියා විද්‍යාත්මක අනාවැකියක්. ඉටු නොවුණු අනාවැකියක්. එය හරි නොගිය හිතළුවක්. 

බටහිර විද්‍යාවේ හිතළු සිය ගණනකින් එකක් දෙකක් හරි යනවා. හරි යනවා කියන්නේ හරි බවක් නො වෙයි. මාක්ස්වාදය එහෙම හරි ගිය හිතළුවක්වත් නො වෙයි. එහෙත් එය අබිං ගුලියක්. ඒ ගිල්ල අය වැමෑරුවේ නැත්නම් සදා සිහින දකින්නන් බවට පත් වෙනවා. සිංහල බෞද්ධ රාජ්‍යය ඉතිහාසයේ තිබූ එකක්. අපට එය නැති වුණේ බටහිරයන් නිසා. අප බටහිරයන්ගෙන් නිදහස ලබා ගැනීමට කටයුතු කරනවා. ඒ නිදහස ලබා ගැනීම යනු සිංහල බෞද්ධ රාජ්‍යය නැවත ඇති කිරීමයි. 
     
සෝම හාමුදුරුවන් සිංහල බෞද්ධයන්ගේ අසරණ කම ගැන දේශනා කළා. එය ජාතිවාදයක් නො වෙයි. දෙමළ ජාතිවාදය ඇති වුණේ 1833 දී. මෙරට මුස්ලිම් ජාතිවාදය ඇති කෙළේ අෂ්රොෆ්. මා කලින් කියා ඇති අන්දමට අෂ්රොෆ් මුලින් දෙමළ ජාතිවාදයෙන් ආභාසය ලැබුවා. ඔහු 1976 වඩුකොඩෙයි දෙමළ ජාතිවාදී බෙදුම්වාදී සම්මේලනයටත් සහභාගි වුණා. ඔහුගේත් මුස්ලිම් ජාතිවාදයේත් බෙදුම්වාදී අදහස් පරාජය කෙරුණේ දෙමළ ජාතිවාදී නායකයන් විසින්මයි. සෝම හාමුදුරුවන් වැඩිම වුවහොත් අෂ්රොෆ් වැන්නන්ට ප්‍රතිචාර දැක්වූවා පමණයි. 

දෙමළ ජාතිවාදය මෙන් ම මුස්ලිම් ජාතිවාදයත් උගත් යමක් කමක් ඇති අයගේ නිර්මාණ. ඒ ඒ අයට විවිධ විදේශිකයන්ගෙන් ආධාර මෙන් ම ආභාසය ද ලැබුණා. දෙමළ ජාතිවාදය සාමාන්‍ය ජනයා අතරට ගෙන ගියේ ප්‍රභාකරන් හා අනෙක් ත්‍රස්තවාදීන්. ඔවුන් ආභාසය ලැබුවේ විජේවීරගෙන්. මුස්ලිම් ජාතිවාදය සාමාන්‍ය මුස්ලිම් ජනයා අතරට යෑම වැළැක්වීමත් අපේ එක් අරමුණක් විය යුතුයි. අපට සතුටු විය හැක්කේ සාමාන්‍ය මුස්ලිම් ජනයා හමුදාවට හා පොලීසියට ඔත්තු දීමට ඉදිරිපත් වීම ගැනයි. මේ සම්බන්ධය විශ්වාසය අප තවදුරටත් වර්ධනය කළ යුතුයි. 

අද වන විට පැහැදිලියි පහුගිය අවුරුදු දහය තුළ විවිධ මුස්ලිම් සංවිධාන බිහිවීමට ආණ්ඩු ක්‍රියා කර ඇති අන්දම. එහි දී සිංහල දේශපාලනඥයන් මුස්ලිම් ඡන්ද ලබා ගැනීම සඳහා ක්‍රියා කර ඇති ආකාරය අප හෙලා දකිනවා. මුස්ලිම් දේශපාලනඥයන් කළ දුටු කල වල ඉහගෙන තියෙනවා. අද මුස්ලිම් ජාතිවාදී සංවිධාන අයිසිස් වැනි සංවිධානවල දිගු ලෙසින් ක්‍රියා කරනවා. ඔවුන්ට මුස්ලිම් දේශපාලනඥයන්ගේ ආධාර හා අනුග්‍රහ ලැබී තිබෙන බව අත්අඩංගුවට ගැනීම්වලින් පැහැදිලියි. එහෙත් තවම මෝරුන් අත් අඩංගුවට ගෙන නැහැ.

හදිසි නීති මගින් හමුදාවට හා පොලිසියට බලතල දීමෙන් මේ මුස්ලිම් ජාතිවාදය පරාජය කරන්න පුළුවන්. එහි දී ඊනියා මානව අයිතිවාසිකම් නැති වීම ප්‍රශ්නයක් නො වෙයි. මුස්ලිම් ජාතිවාදී සංවිධාන තහනම් කළ යුතුයි. වඩා වටින්නේ ජාතියේ අයිතිවාසිකම්. පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට ඊනියා මානව අයිතිවාසිකම් වෙනුවෙන් හදිසි නීතියට විරුද්ධව 6% ටී ෂර්ට් ඇඳගෙන පෙළපාලි යන්න කියමු.