Main Logo

Saturday 6 April 2019

බල්ලට දාන සංස්කෘතිය

බල්ලට දාන සංස්කෘතිය



අවුරුදු විසි හතකට අටකට උඩ දි කොළඹ විශ්වවිද්‍යාලෙ වුණා කියන සිද්ධියක් මට පහුගිය දිනෙක අහන්න ලැබුණා.,එක්තරා රැස්වීමක දී විද්‍යා පීඨයේ කවුද ශිෂ්‍යයෙක් කියල සංස්කෘතිය බල්ලට දාපන් කියලා. ඒ ගැන මහා ගාලගෝට්ටියක් ඇති වුණාලු. මට මේ බව කිව්වෙ සමගි කණ්ඩායමේ හිටපු ශිෂ්‍යයෙක්. එකල කොළඹ විශ්වවිද්‍යාලයෙ විද්‍යා පීඨයෙ එක්සත් කණ්ඩායම හා සමගි කණ්ඩායම කියල කණ්ඩායම් දෙකක් තිබුණා. එක්සත් කණ්ඩායමේ හිටියෙ පොදුවෙ ගත් කල ජාතික චින්තනය පිළිගත් අය. ඔවුන්ට ජාතික චින්තන කණ්ඩායම කියලත් නමක් තිබුණ. මේ කණ්ඩායමේ හිටි සියල්ලන් ජාතික චින්තනයක් ගැන කතා කරපු අය නො වෙයි. බොහෝ දෙනා කණ්ඩායම්වලට බෙදුනෙ තම පාසල් හා වෙනත් මිතුරන් අනුව. අද එක්සත් කණ්ඩායමේ හිටිය අයත් සමගි අයත් ජීවිතේ සම්මත අර්ථයෙන් සාර්ථක කරගෙන. ඔවුන් දේශපාලන වශයෙන් එක එක තැන්වල.


සමහරු කිව්වෙ මා ජාතික චින්තන කණ්ඩායම මගේ වුවමනාවන් වෙනුවෙන් කඩේ යවනව කියලා. උපකුලපති ජී එල් පීරිස් හිතුවෙත් එහෙමයි. ඔහු මගෙන් දවසක් ඇහුව ජාතික චින්තනය උගන්වන්නෙ මොක ද කියලා. මා ඔහුට කිව්වෙ අනෙක් අය විජාතික චින්තනයක් උගන්වන කොට මා ජාතික චින්තනය උගන්වන එකේ වැරුද්ද මොක ද කියලා. එහෙම කියලා වැඩි කල් යන්න ඉස්සර මගේ වැඩ තහනම් කෙරුණා. කොහොමටත් මතයක් පැතිරිලා තිබුණ මා ගණිතය උගන්වන්නෙ නැත ඒ වෙනුවට ජාතික චින්තනය උගන්වනවා කියලා. මට ජී එල්ට කරුණු කියන්න ඕන වුණෙ නැහැ. ජී එල් පීරිස් දන්න චින්තනයක් නැහැ. ඔහුට ඒ ගැන කියා දීම කාලය නාස්ති කිරීමක්. මා කොළඹ දි බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියල නම් කිව්වෙ නැහැ. මා ඒ අදහස් ගොනු කර ගත්තෙ කොළඹින් මා අස් කළාට පස්සෙ. 

දැන් අර ශිෂ්‍යයා සංස්කෘතිය බල්ලට දාන්න කිවුවෙ ඕන ම සංස්කෘතියක් නො වෙයි. ඔහු නොකියා කිව්වෙ සිංහල සංස්කෘතිය, සිංහල බෞද්ධ සංස්කෘතිය බල්ලට දාන්න කියල. සමගි කණ්ඩායමට අනුව ඒ දවස්වල මගේ පුතාල ඉගෙන ගෙන තියෙන්නෙ පිටරට. පස්සෙ තමයි මාත් ඒ බව දැන ගත්තෙ. දැන් නම් දුව පිටරට ඉගෙන ගන්නවා. ඒ බව නම් මා දන්නවා. ඒ පශ්චාත් උපාධියකට. මා කියන්න යන්නෙ නැහැ අපේ ගෙදර (මගේ, භාර්යාවගේ හා දරුවන්ගෙ) උපාධි ගැන. ඒ ඔක්කොම බටහිර ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි. මටත් තියෙන්නෙ බටහිර උපාධි. ලංකාවෙ කිසිම විශ්වවිද්‍යාලයක ලංකාවෙ උපාධියක් දෙන්නෙ නැහැ. ඉස්සර පිරිවෙන්වල නම් දුන්නා. 

බටහිර ක්‍රිස්තියානි සංස්කෘතීන් එකක්වත් බල්ලට දාන්න කියල අර ශිෂ්‍යයා අවුරුදු විසිහතකට අටකට උඩදි කියන්නෙ නැති බව මට විශ්වාසයි. අදත් එහෙමයි. අද විවිධ පුද්ගලයන් සිංහල බෞද්ධ සංස්කෘතියට නිග්‍රහ කරනවා. සමහරු කතන්දර ලියනවා. තවත් සමහරු සම්මන්ත්‍රණ පවත්වනවා. පත්තරවලට ලියනවා. මේ අය එහෙම කරන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියක ඉඳගෙන නම් මට ප්‍රශ්නයක් නැහැ. එවිට ඔවුන්ට අවශ්‍ය සිංහල බෞද්ධ සංස්කෘතියෙ වැරදි අඩුපාඩුකම් හදාගන්න කියල හිතන්න පුළුවන්. සිංහල බෞද්ධ සංස්කෘතිය සර්ව සම්පූර්ණ නැහැ. එහි ඇති වැරදි හදාගන්න ඕන. හරි දේ තවත් වර්ධනය කරන්න ඕන. අඩුපාඩුකම් හදාගන්න ඕන. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වැරදි තීරණය කරන්නෙ මොන මිනුම් දණ්ඩෙන් ද? මුස්ලිම් සංස්කෘතිය අනුව ද?

සිංහල බෞද්ධ සංස්කෘතිය පෘතුගීසීන් ආවට පස්සෙ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතීන්හි ආධිපත්‍යයට යටත් වෙන්න පටන් ගත්ත. දැන් හොඳට ම යටත් වෙලා. පෘතුගීසීන් කතෝලික වුණත් ඔවුන් මෙහි ආවෙ නැගී එන (කතෝලික නොවන) ක්‍රිස්තියානි සභ්‍යත්වයක නියෝජිතයන් ලෙස. අද ක්‍රිස්තියානි සභ්‍යත්වය ලෝක ආධිපත්‍යයට පත් වෙලා. ක්‍රිස්තියානි සභ්‍යත්වය එසේ ආධිපත්‍යයට පත් වුණාට පස්සෙ පාප් වහන්සේටත් වැදගත් තැනක් නැහැ. එදා ලෝකය ස්පාඤ්ඤයන්ට භා පෘතුගීසීන්ට බෙදල දුන්න පාප් වහන්සෙ අද රෝමය ඇතුළෙ කුඩා වතිකානුවකට කොටු වෙලා. අද දේශපාලන බලය තියෙන්නෙ කැන්ටබරියෙ ආච්බිෂොප්ටවත් නො වෙයි. තෙරේසා මේට හා ඩොනල්ඩ් ට්‍රම්ප්ට. ඉස්සර අප කුඩා කල පිටර් මේ කියල එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙක් හිටියා. මේ මේ ඒ මේගෙ කවුරුවත් ද දන්නෙ නැහැ. ඒ කොහොම වුණත්  මේලා ට්‍රම්ප්ල තමයි ලෝක ආධිපත්‍යය දරණ බටහිර සභ්‍යත්වයෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය අර සංස්ථාපනය වෙනුවෙන් මෙහෙය වන බව පේන්නෙ.

ක්‍රිස්තියානි සංස්කෘතීන් ලෝක ආධිපත්‍යයට පත් වෙන කාලෙ කාටවත් දෙවියන් වහන්සෙවත් ක්‍රිස්තුස් වහන්සෙවත් විවේචනය කරන්න දුන්නෙ නැහැ. අප කුරුස යුද්ධ ගැන අහල තියෙනවා.  අප අද ලංකාවෙ ඊනියා තිස් අවුරුදු යුද්ධයක් ගැන කතා කරනවා. ඒත් 1618-1648 කතෝලික -ක්‍රිස්තියානි යුද්ධය බොහෝ දෙනකුට අමතක වෙලා. ඒකෙ අසූ ලක්‍ෂයක් විතර නැති වෙලා. මා මේවා සඳහන් කරන්නෙ මේ ඉතිහාසය ලියල තියෙන්නෙ බෞද්ධයන් හින්ද නො වෙයි. ක්‍රිස්තියානි සභ්‍යත්වයෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය ලෝක ආධිපත්‍යයට පැමිණියෙ ලූතර්ලගෙ කැල්වින්ලගෙ අනුගාමිකයන් ඊනියා නිදහස් චින්තනයකට ඉඩ දීපු හින්ද නො වෙයි කියන්න. පෘතුගීසීන් ලන්දේසීන් ඉංගිරිසින් මෙහෙ ඇවිත් කරපු දේ අපට මකල දාන්න බැහැ. එය කිසිසේත් ම මිහිඳු හාමුදුරුවන්ගෙ ධර්ම දේශනා වගේ නො වෙයි. ඒත් මන්නාරමේ සමූහ මිනී වළ පෘතුගීසීන්ගෙ වැඩක් ද කියල කියන්න හුදු යටත්විජිත විරෝධය පමණක් ප්‍රමාණවත් සාධකයක් නො වෙයි. 

අද පඬියන් කියන්න පුළුවන් ඕනෑම අයකුට පල්ලිය විවේචනය කරන්න පුළුවන්, දෙවියන් වහන්සෙ මැරිල කියන්න පුළුවන් කියල. ඒ අද එවැනි දේ කිව්වට ලෝක ක්‍රිස්තියානි ආධිපත්‍යයට දැනෙන්නවත් නැති නිසා. ක්‍රිස්තියානින් දන්නව ඕනවට වැඩිය ගියොත් මට්ටු කරන විධිය. ඔවුන්ට ඒ සඳහා යාන්ත්‍රණයක් තියෙනවා. ක්‍රිස්තියානි සභ්‍යත්වය දැනට වසර හැත්තෑපහකට පමණ පෙර යුදෙව්වන්ට සැලකූ විධිය කිසිවකුට අමතක කරන්න බැහැ. අදත් යුදෙව්වන් ඕනවට වැඩිය ආවොත් මට්ටු කරන විධිය ක්‍රිස්තියානි සභ්‍යත්වය දන්නවා. හන්ටින්ග්ටන් සභ්‍යත්ව ගැටුම ලිවුවෙ කඩදාසි අතිරික්තයක් තිබුණ නිසා නො වෙයි. 

අද සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව පුහු පඬියන් ඝෝෂා කරන්නෙ ක්‍රිස්තියානි සභ්‍යත්වයෙ සෙවණෙ ඉඳගෙන. ඔවුන්ට ආරක්‍ෂාව සහ අනුග්‍රහය ලැබෙන්නෙ බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වයෙ රටවලින්. අපේ ළමයි පෙරපාසලට ගිහිල්ල බා බා බ්ලැක්ෂීප් කිව්වත් කළු බැටළුවා කිව්වත් කළු බැටළුවන් කවුද? කළු බැටළුවන් කවුද කියල පාසලේ දි හා විශ්වවිද්‍යාලෙදි කියල දෙනවා. පඬියන් ඉගෙන ගන්නවා ලංකාවෙ නම් සිංහල බෞද්ධයන් තමයි කියල කළු බැටළුවන්. 

ඔවුන් ඒ අනුව ලංකාවෙ දි සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙනවා. ඒ බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වයෙ අවශ්‍යතාවට. ඔවුන්ට ඕන නම් ලන්ඩනයෙ හයිඩ් පාක්හි පකිස්පෙට්ටියක් උඩ නැගල ක්‍රිස්තියානියට බනින්නත් පුළුවන්. ඒත් කවුරුවත් ඒ බව දැනගන්න එකක් නැහැ. බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය ලෝකය පාලනය කරන්නෙ සිංහල බෞද්ධයන් පමණක් නොවෙයි මුස්ලිමුන් හා හින්දූන් ද තම ආධිපත්‍යය යටතට අරගෙන. ක්‍රිස්තියානි සභ්‍යත්වයෙ බටහිර විද්‍යාවෙ දැනුම් තම ආගම්වල තියෙනවා කියන්න මේ සියල්ලන් ම උනන්දු වන්නෙ ඇයි? ඔවුන් ම තම සංස්කෘතීන් බල්ලට දා ගෙන. ඒ බල්ලා මොන වර්ගයේ එකෙක් ද? රට බල්ලෙක් ද?