Main Logo

Wednesday, 10 April 2019

ව්‍යවස්ථා සභාවට සම්බන්ධන් පත් කිරීම

ව්‍යවස්ථා සභාවට සම්බන්ධන් පත් කිරීම

විරුද්ධ පක්‍ෂයේ විවේචනයට පාත්‍ර වන ව්‍යවස්ථා සභාවට පසුගිය දා ආර් සම්බන්ධන් නැවතත් පත් කෙරුණා. ඒ පත් කිරීමට එතරම් අවධානයක් යොමු වුණේ නැහැ. විපක්‍ෂය ද ඒ ගැන නිසොල්මන් ව සිටියා. සම්බන්ධන් පත් කෙරුණේ ඉල්ලා අස් වුණු චමල් රාජපක්‍ෂ වෙනුවට. චමල් රාජපක්‍ෂ පත් කෙරී තිබුණේත් ඒ වෙනුවට සම්බන්ධන් පත් කෙරුණේත් විපක්‍ෂ නායකගේ නිර්දේශය (නාම යෝජනාව) මත යැයි කියැවෙන්නේ. එය තරමක ප්‍රශ්නයක්. කිහිප අතකින් ම ප්‍රශ්නයක්. පළමුවෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රශ්නයක්.

ව්‍යවස්ථා සභාවේ සංයුතිය ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 අ අනූව්‍යවස්ථාවේ සඳහන් වන්නේ මෙසේයි.

"41අ. (1) පහත දැක්වෙන සාමාජිකයන්ගෙන් සමන්විත වන, (මේ පරිච්ඡෙදයේ ”සභාව” යනුවෙන් සඳහන් කරනු ලබන) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවක් තිබිය යුත්තේ ය :-
(අ) අග‍්‍රාමාත්‍යවරයා,
(ආ) කථානායකවරයා,
(ඇ) පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකවරයා,
(ඈ) ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු එක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්,
(ඉ) අග‍්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා යන දෙදෙනාගේ ම නාමයෝජනා කිරීම මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු වූ ද, දෙදෙනෙක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් විය යුතු වූ ද, තැනැත්තන් පස් දෙනෙක්, සහ
(ඊ) අග‍්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා අයත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හෝ නොවන පාර්ලිමේන්තුවේ නියෝජනය ඇති අනෙකුත් දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන්ගේ බහුතරයේ එකාගත්වය මත නාම යෝජනා කොට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්.”


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නම් විපක්‍ෂ නායකයාට පමණක් කිසිවකුගේ නමක් ව්‍යවස්ථා සභාවට යෝජනා කරන්න බැහැ. ඉහත (ඉ) යටතේ අගමැති හා විපක්‍ෂ නායක දෙදෙනාගේ ම නාමයෝජනා මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළත් පස්දෙනකු පත් කෙරිය යුතුයි. එහෙත් එසේ වන බවක් පෙනෙන්නට නැහැ. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එලෙස ම අනුගමනය කරන ලියවිල්ලක් නො වෙයි. ජනාධිපති ද අගමැති ද විපක්‍ෂ නායක ද ඇතුලු සියල්ලන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිපැදීමට බැඳී තිබෙනවා. එහෙත් එය එසේ වන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍ය ඇමතිලා ඉන්න බැහැ. එහෙත් ජනාධිපති රාජ්‍ය ඇමතීන් පත් කරනවා. එය සිරිසේනගේ පමණක් වැඩක් නො වෙයි. මහින්දත් රාජ්‍ය ඇමතින් පත් කළා. 

අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන අය ලෙස ව්‍යවස්ථා සභාවේ ඉන්නේ ජයන්ත ධනපාල, නාගනාදන් සෙල්වකුමාරන් (උපකුලපති ජී එල් පමණක් නොවෙයි විද්‍යා පීඨයේ පී ඩබ් ඈපාසිංහ මියගිය වී කේ සමරනායක ආදීන් ද නීති පීඨයේ ඔහු ගැන දැන සිටියා) හා ජාවුඩ් යුසූෆ්. මේ තිදෙනා අගමැතිගේ පමණක් යෝජිතයන් බවයි සඳහන් වන්නේ. ඔවුන් ඒ නිසා ද කොහෙද තවමත් ඉන්නවා. ඔවුන් අගමැතිගේ යෝජිතයන්ගේ වන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයක්. 

ඔවුන් අතර එකදු සිංහල බෞද්ධයකු නැහැ. ඉංගිරිසින් 1833 දී එකල ව්‍යවස්ථා සභාවට නිල නොලත් සාමාජිකයන් තුන්දෙනකු පත් කිරීමේදීත් එකදු සිංහල බෞද්යකු පත් කෙළේ නැහැ. අවුරුදු එකසිය අසූහයකට පස්සෙ සිදුවෙලා තියෙන වෙනස!

චමල් රාජපක්‍ෂ විපක්‍ෂ නායකගේ පමණක් යෝජිතයකු ලෙසයි කටයුතු කර ඇත්තේ. එයත් වෙන්න බැහැ. විපක්‍ෂ නායකට පමණක් නාම යෝජනා කරන්න බැහැ. එහෙත් එසේ කළ බවයි කියැවෙන්නේ. අද චමල් අස් වෙලා. ඒ වෙනුවට විපක්‍ෂ නායක මහින්ද සම්බන්ධන් පත් කරලා. එයත් වෙන්න බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙන්නෙ අපට පමණ ද? මා මේ කියන කිසිවක් නීතිඥයන් ගණන් ගන්නේ නැහැ. නීතිඥයන් කටයුතු කරන ආකාරය වෙනස් වෙන්න ඇති. එකල මා වෙනුවෙන් නොමිළයේ පෙනී සිටි එස් එල් ගුණසේකර මට නිතර කී කතාවක් වූයේ ගණිතඥයන්ට වඩා නීතිිඥයන් ඉඩක් ලබා දෙන බවයි!

ඒ කොහොම වුණත් මහින්ද චමල් ඉල්ලා අස්කරවා ගෙන (එසේ වෙන්න ඕන) සම්බන්ධන් යෝජනා කෙළේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. ව්‍යවස්ථා සභාව පිළිබඳ විවේචන එල්ල වුණේ විනිසුරුවන් පත් කිරීමේ දී හා ඊනියා ස්වාධීන කොමිසන් සභා සාමාජිකයන් පත් කිරීමේ දී. අද ව්‍යවස්ථා සභාවේ සිංහල බෞද්ධයන් කී දෙනකු ඉන්නවා ද? ඔවුන් අතරත් සිංහල බෞද්ධ විරෝධීන් කී දෙනකු ඉන්නවා ද? සිංහල බෞද්ධ සංස්කෘතියේ යැයි කිව හැකි කී දෙනකු ඉන්නවා ද? ඒ ඔබට ම ගණන් කර ගැනීමට මා ව්‍යවස්ථා සභාවේ අද ඉන්න සාමාජිකයන් දහදෙනාගේ නම් සඳහන් කරනවා. වරහන් ඇතුලෙ තියෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔවුන් පත් වෙලා තියෙන වර්ගය. 

කරුණාරත්න ජයසූරිය (ආ), රනිල් වික්‍රමසිංහ (අ) , මහින්ද රාජපක්‍ෂ (ඇ), මහින්ද සමරසිංහ (ඈ), බිමල් රත්නායක (ඊ), තලතා අතුකෝරාළ (ඉ), ආර් සම්බන්ධන්(ඉ), ධනපාල, සෙල්වරත්නම් හා යූසුෆ් (ඉ). සිංහල බෞද්ධ සංස්කෘතියෙ කියල අමාරුවෙන් හරි මට නම් කියන්න පුළුවන් තුන්දෙනයි.