Main Logo

Tuesday 2 April 2019

මෛත්‍රිපාල නැති කර ගන්නවා ද?




මෛත්‍රිපාල නැති කර ගන්නවා ද?



පළමුවෙන් ම ඊයේ ලිපියේ තිබූ වරදක් නිවැරදි කළ යුතුයි. එහි මෙසේ සඳහන් වී තිබුණා. "ඒ ඒ ඉතිහාසය ඒ ඒ අය විසින් ලියැවෙන්නේ. ඒ අනාගතයක් ගැනත් බලාපොරොත්තුවෙන් ලියැවෙන දේ. මහානාම හිමියන්ගේ ඉතිහාසයත් එබඳුයි. ඒ ඉතිහාසය එදා සිට පෘතුගීසීන් පැමිණි දා දක්වා ම අප ආරක්‍ෂා කිරීමට අසමත් වුණා." එහි අවසාන වාක්‍යය මෙසේ නිවැරදි විය යුතුයි.  "ඒ ඉතිහාසය එදා සිට පෘතුගීසීන් පැමිණි දා දක්වා ම අප ආරක්‍ෂා කිරීමට සමත් වුණා."  




එතැනින් පසුව ඒ සම්බන්ධයෙන් කළ යුතු දේ අපි ඉඩ ලැබෙන පරිදි කතා කරමු. අර කතාවක් තියෙනවා යුද්ධය ජෙනරාල්වරුන්ට පමණක් භාර නොදිය යුතු ය කියා. ලංකාවෙත් කොටින්ට විරුද්ධව හමුදා මෙහෙයුම් (ඒ යුද්ධයක් නො වෙයි) ජෙනරාල්වරුන්ට පමණක් භාර දී තිබුණ නම් දෙමළ ජාතිවාදීන්ට සංහිඳියා හරහා ඊළමක් පිහිටුවා ගන්න තිබුණා.



ඉතිහාසයත් ඊනියා ඉතිහාසඥයන්ට පමණක් භාර දී තිබුණා නම් ඔවුන් ද ලෙස්ලි ගුණවර්ධන වැනි ඊනියා ඉතිහාසඥයන් අනුගමනය කරමින් රට බෙදීමට දෙමළ ජාතිවාදීන්ට උපකාර කරන්න තිබුණා. එහෙත් විමල විජයසූරිය, කේ එන් ඕ ධර්මදාස ආදී සිංහල සංස්කෘතිය දත් අය ඊනියා ඉතිහාසඥයන්ට පමණක් ඉතිහාසය භාර කළේ නැහැ. අද ජාතිකවාදීන් ලෙස පෙනී සිටිමින් ඇතැමුන් බටහිර සංකල්ප කටගා ගෙන සිංහලයන්ට විජයට පෙර තිබූ අයිතිය නැති කරන්න හදනවා. මහානාම හාමුදුරුවන්ගෙ ව්‍යාපෘතිය ඒ පැත්තෙනුත් සංශෝධනය වෙන්න ඕන. 



එහෙත් අද නැවතත් වත්මන් දේශපාලනය ගැන කතා කරන්න ඕන. තවමත් විපක්‍ෂයේ ඇතැමුන් කටයුතු කරන්නෙ ඊනියා කුඩා පක්‍ෂ පමණක් නොව මෛත්‍රිපාලත් ඉවතට තල්ලු කරන්න. ඔවුන් කරන ප්‍රකාශ ගෝඨාභය රාජපක්‍ෂට කොහෙත් ම හිතකර නැහැ. ඔවුන් හිතන්නෙ මොන පසුබිමක් යටතෙ වුණත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණයෙන් උඩින් ම දිනයි කියල. ඒ අදහස ඔවුන්ට ඇති කරල තියෙන්නෙ පොහොට්ටුවෙ  ඇතැම් උදවිය. එ ජා පක්‍ෂයෙ සමහරුනුත් එයට පොහොර දානවා.



පාර්ලිමේන්තු මැතිවරණයකට කලින් ජනාධිපතිවරණය පැවැත්වීමට තියෙන ඉඩකඩ ඉතා වැඩියි. යම්කිසි අයුරකින් අයවැය තුන්වැනි වර කියවීමෙන් ආණ්ඩුව පැරදුණත් පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න බැහැ. ඒත් ජනාධිපතිවරණය අද වුණත් කැඳවන්න පුළුවන්. මෛත්‍රිපාල ජනාධිපති වෙලා දැන් අවුරුදු හතරකට වැඩියි. ඔහුට වුවමනා නම් අද තමා ද අපේක්‍ෂකයකු වී ජනාධිපතිවරණයක් කැඳවන්න පුළුවන්. එහෙම වුණොත් විපක්‍ෂය මොකද කරන්නෙ. ඒ නැතත් මේ වසර අවසානයේ දී ජනාධිපතිවරණයක් පවත්වන්න ඕන.



මා හැමදාමත් කිියන්නෙ ජනාධිපතිවරණයෙ තුන්කොන් සටනක් වුණොත් කිසිවකුටවත් ඡන්දවලින් සියයට පනහක් හා තව එකක් ලැබෙන්නෙ නැහැ. එහි දී රනිල් පළමුවැන්නා වීම තමයි සිදු වන්නෙ. අප අමතක නොකළ යුත්තක් තමයි 2015 ජනවාරියෙ දි මහින්ද පැරදුණෙ තුන්කොන් සටනක් නිසා නොවන බවත් බැසිල් ජනාධිපතිවරණයෙ ප්‍රධාන සංවිධායක ව නොසිටිය දී නොවන බවත්. එදා සිට අද දක්වා විපක්‍ෂයෙ ඡන්ද කොපමණ ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා ද?



2018 පෙබරවාරි පළාත් පාලන ආයතන මැතිවරණයෙ දි පොහොට්ටුවට ලැබුණෙ මහින්දට ලැබුණු ඡන්ද ප්‍රතිශතයට අඩු ප්‍රතිශතයක්. දැන් පඬියකු කියන්න පුළුවන් මිනිසුන් පළාත් පාලන මැතිවරණවල දී ඡන්දෙ දෙන විධියට නො වෙයි ජනාධිපතිවරණයක දි ඡන්දෙ දෙන්නෙ කියලා. ඒකෙ පොඩි ඇත්තක් තියෙනවා. ඒත් ලොකු ඇත්තක් නො වෙයි. අනෙක් අතට අද වන විට මෛත්‍රිපාල 2018 පෙබරවාරියට වඩා ජනප්‍රියයි.



එහෙත් විපක්‍ෂයෙ ඇතැමුන් හදන්නෙ මෛත්‍රිපාල ඈත් කරල පුළුවන් නම් රනිල් ළඟට හරි සජිත් ළඟට හරි යවන්න. මෛත්‍රිපාල දැන් ඉන්නෙ මහින්දත් එක්ක. 2014 නොවැම්බරයෙ පමණ සිට 2018 ඔක්තෝම්බර් දක්වා ආ ගමන ආපසු හරවන්න පොහොට්ටුවෙ ඇතැමුනට අවශ්‍යයි. ඔවුන්ට තවමත් මෛත්‍රිපාල වෛරය තියෙනවා. ඒ වගේ ම ඇතැමුනට සංධානයක් ඇති කළහොත් ආසන සංවිධායකකම් නැති වේය යන ප්‍රශ්නයත් තියෙනවා. තවත් අයට තවත් ප්‍රශ්න ඇති. ඒත් ඒ එක ප්‍රශ්නයක්වත් රට මූලික කරගත් ප්‍රශ්න නො වෙයි.



අපට ඇති ප්‍රධාන ප්‍රශ්නය තුන්කොන් සටනක් ඇති වීම වැළැක්වීමයි. එහෙත් ඇතැමුන් ක්‍රියා කරන්නෙ කෙසේ නමුත් තුන්කොන් සටනක් ඇති කරවන්න. වෛරය නිසා මෛත්‍රිපාල ඉවත් කිරීම තමයි ඔවුන්ගෙ ප්‍රධාන අරමුණ. මෛත්‍රිපාල කඳවුරේ ම තබාගෙන ජනාධිපතිවරණයෙන් ගෞරවනීය ව ඉවත් කර ගන්නෙ කෙසේ ද යන ප්‍රශ්නයටයි අප පිළිතුරු සෙවිය යුත්තෙ.



විපක්‍ෂයේ, විශේෂයෙන් ම පොහොට්ටුවෙ ඇතැමුන් මොන උද්ධච්ඡකම් ඇතිව ජීවත් වුවත්, කතා කළත් මහින්ද තවමත් ප්‍රායෝගික දේශපාලනයක යෙදෙන්නකු  ලෙස දන්නවා  මෛත්‍රිපාලගෙ වටිනාකම. මෛත්‍රිපාලගෙන් වඩාත් ම පහර වැදුණෙ ඔය ආසන සංවිධායකකම් බලාගෙන ඉන්න අයට නොව මහින්දට. එහෙත් මහින්ද දන්නවා තමන්ට ජනාධිපතිකම නැති කළ මෛත්‍රිපාලට දිනන්න බැරි වුණත් දිනවන්න පුළුවන් කියන එක. මෛත්‍රිපාල ගැන මහින්දට නැති වෛරයක් පළිගැනීමක් පොහොට්ටුවේ ඇතැමුනට තියෙන්නෙ කොහොම ද? දැන් පඬියකු අහන්න බැරි නැහැ මහින්දට වෛරයක් නැති බව මා දන්නෙ කොහොම ද කියලා. මහින්දට විශ්ලේෂණයක් ප්‍රවාදයක් සංකල්පයක් නැති වුවත් ප්‍රායෝගික දේශපාලනය ගැන පසුගිය අවුරුදු හැත්තෑවෙ ම සිටි කිසිම දේශපාලනඥයකුට වඩා ඉවක් තියෙනවා.