Main Logo

Sunday 21 April 2019

සජිත් රවි කරු සහ තවත් අය


සජිත් රවි කරු සහ තවත් අය

දැන් ඒ දවස්වල වගේ විදුලි පණිවුඩ යවන්නෙ නැති එක හොඳයි. නැත්නම් අර සදා ලෝක පූජිත කුමාර් සංගක්කාර ගමට විදුලි පණිවුඩයක් යවන්න සෑහෙන මුදලක් වියදම් වෙන්න තිබුණ. ඒ ගමේ නම කෙටියෙන් මුලකුරුවලින් ලිවුවෙත් සලෝපූකුස ගම වෙනවා. සංගක්කාර සදා ලෝක පූජිත ද කියන එක ප්‍රශ්නයක්. සදා කියන්නෙ හැමදා ලෝක කිවුවම මුළු ලෝකෙ ම. චීනෙ සංගක්කාර දන්න කීදෙනකු ඉන්නවා ද දන්නෙ නැහැ. චීනෙ තමයි වැඩියෙන් ම මිනිස්සු ඉන්නෙ. ඒකට කමක් නැහැ. අපේ රටේ ජත්‍යන්තර කීර්තියට පත්වෙච්ච අය කී දාහක් ඉන්නවා ද? 


සජිත් මේ හදන්නෙ ක්‍රිකට්වලට කැමති තරුණයන්ගේ ඡන්ද ලබා ගන්න බව ජාත්‍යන්තරය ම දන්නවා ඇති. ඒත් දැන් ක්‍රිකට් ගැන එච්චර උනන්දුවක් රටේ නැහැ. අර්ජුන රණතුංග නම් ක්‍රිකට්වලට උනන්දුවක් දක්වනවා. ඔහු ක්‍රිකට් පාලකයන්ට මොනව හරි කියනවා. ඒත් අර්ජුන රණතුංග සජිත් ප්‍රේමදාසට ඡන්දෙ දේවි ද? මා කියන්නෙ සජිත් ජනාධිපති තරගෙට ඉදිරිපත් වුණොත්.  අනෙක් අතට සජිත්ට ජනාධිපති තරගෙට නාම යෝජනා ලැබේවි ද?

සජිත් ද රවි ද කරු ද එහෙමත් නැත්නම් රනිල් ම ද? අද මහානායක හාමුදුරුවරුන් තරගෙට වගේ ගෞරව නාම දෙනවා. කරුණාරත්න ජයසූරියට දැන් උපාසක පට්ටම් කීයක් තියෙනවා ද? මා හිතන්නෙ කරූණාරත්නට අනෙක්ව දෙන්නාට වැඩිය උපාසක පට්ටම් තියෙනවා කියලයි. උපාසකයකු ලෙස ගත්තොත් කරුණාරත්න තමයි වඩා සුදුස්සා. ප්‍රජාතන්ත්‍රවාදය රැකලා තියෙන්නෙත් ඔහු. අපි දැක්ක නේ අර  මහින්දට විරුද්ධව පහුගිය ඔක්තෝම්බර් නොවැම්බර් කාලෙ කරපු දේ. කරුණාරත්න ජයසූරිය නැත්තන් ප්‍රජාතන්ත්‍රවාදෙවත් බුදුසසුනවත් රැකෙන්නෙ නැහැ. 

සජිත්ගෙ ප්‍රශ්නෙ ඊට වැඩිය වෙනස්. සජිත් දිවා රෑ නොබලා ගම් හදනවා. තාත්තගෙ වැඩ දිගට ම කරගෙන යනවා. තාත්තගෙ මොන වැඩ ද කියල අහන්න එපා. තාත්තගෙ වැඩ ජ වි පෙරමුණෙන් අහන්න ඕන. සජිත් එච්චර වැඩ කාරයෙක් නො වෙයි. 

සජිත් රවි ප්‍රශ්නය නම් ටිකක් උග්‍රයි. දෙන්න දෙන්නට බනිනවා. සජිත් පිළිගන්නව ආණ්ඩුව බැංකු කැඩුවයි කියලා. එහෙම නම් මොකක්ද කරන්නෙ. කරන්න දෙයක් නැහැ. රනිල්ටත් කරන්න දෙයක් නැහැ. අර්ජුන මහේන්ද්‍රන් එන්නෙත් නැහැ. තමන් කියන දෙයක් රවි සජිත් දෙන්නගෙන් කවුරුවත් අහන්නෙ නැහැ කියලයි රනිල් කියන්නෙ. ඒ කියන්නෙ රනිල්ගෙ බලය දැන් අඩු වෙලා. රනිල්ට ජේ ආර්ට වගේ බලයක් නැහැ. සජිත් රවි හටන කියන්නෙ ඊළඟ පරම්පරාවෙ ප්‍රේමදාස ලලිත් හටන. රවිත් දැන් පන්සල් යනවා. වැඩිකල් යන්න ඉස්සෙල්ල මේ ඔක්කො ම තිරුපති යයි. තිරුපති කෝවිල ලඟ ලංකාවෙ උප තානාපති කාර්යාලයක් පිහිටෙව්වොත් නරක ද? 

රවි සජිත් කරු සටන් අපට ප්‍රශ්නයක් නො වෙයි. අපට ප්‍රශ්නය වෙන්නෙ සජිත් මෛත්‍රිපාල සමග සංධානයක් ගොඩ නැගුවොත් මොකද වෙන්නෙ කියන එක. මෛත්‍රිපාල අපේ කඳවුරේ තියාගන්න පොහොට්ටුවෙ බලවතුන්ගෙ පමණක් නොවෙයි ඇටිකිච්චන්ගෙත් කිසිම වුවමනාවක් නැහැ. පුළුවන් නම් උත්සාහ කරල හරි ඒ අය මෛත්‍රිපාල සජිත් ළඟට තල්ලු කරයි. ඒ අය හිතන්නෙ මෛත්‍රිපාල බලවේගයක් නො වෙයි කියල. එහෙම හිතාගෙන ඉන්න අයට අවශ්‍ය රනිල් දිනවන්න. තුන්කොන් සටනක් පැවැත්වෙනව නම් සජිත් රවි කරූ පැත්තකට විසි වෙලා රනිල් තරගෙට එනවා. එවිට කිසිවකුට 50%ක ඡන්දයක් ලැබෙන්නෙ නැහැ. ඒ විතරක් නොවෙයි රනිල් පළමුවැනියා වෙනවා.

මේ අතර සමහරු උත්සාහ ගන්නවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරල මෛත්‍රිපාල නාමික ජනාධිපති කෙනකු කරන්න. අර අවුරුද්දෙන් පස්සෙ වෙනවයි කිව්ව දේශපාලන පෙරළිය තවමත් වෙලා නැහැ. අපට නොදැනීම වුණා ද දන්නෙත් නැහැ. පළාත් සභා ඇති කෙළේ විධායක ජනාධිපති ක්‍රමය ඇති කළාට පස්සෙ. ඒත් ඒකෙන් කියන්නෙ නැහැ පළාත් සභා ජනාධිපති විධායක ක්‍රමයෙන් ස්වායත්ත (නිදහස්) කියලා. සමහරු තර්ක කරන්නෙ විධායක ක්‍රමය අහෝසි කළාට පළාත් සභාවල වෙනසක් වෙන්නෙ නැහැ කියලා.

පළාත් සභා පස්සෙ ඇති කරපු එක ඇත්ත. අද අපට ඒකීය රාජ්‍යයක් නැහැ. මෙහි ඇත්තෙ සුළු වශයෙන් වුවත් සංධීය  රාජ්‍යයක්. ඒ සංධීය රාජ්‍යයක් වෙන්නෙ කොහොම ද කියන එක මා පැහැදිලි කරල ඇති. දැන් මේ සංධීය රාජ්‍යය සුළු සංධීය රාජ්‍යයක් වෙලා තියෙන්නෙ විධායක ජනාධිපති ක්‍රමය නිසා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළොත් සංධීය රාජ්‍යය බලවත් වෙනවා. අද ජ වි පෙරමුණටත් රනිල්ටත් අවශ්‍ය ඒක කරන්න. ජ වි පෙ රනිල් වෙනුවෙන් විස්ස ගෙනාවෙ ඒකට. 

බැරිවෙලාවත් මහින්දටත් එහෙම කරන්න ඕන ද? අපේ රටේ තියෙන ප්‍රධාන ම ප්‍රශ්නය හැම ප්‍රශ්නයක් ම පෞද්ගලිකව බලන එක. දේශපාලනඥයන් පමණක් නො වෙයි. පඬියන් ද එහෙමයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකතු වෙන්න බැරි නැහැ. ඒ හුදෙක් පෞද්ගලික ව බලලා. අපේ අරමුණ ඒකීය රාජ්‍යය විතරක් නොවෙයි සිංහල බෞද්ධ රාජ්‍යයත් නැවත ඇති කිරීම. මෙහි නැවත කියන වචනය පඬියන් අමතක කරනවා. පෘතුගීසීන් පැමිණි දා සිට සිංහලයන් නැවත සිංහල බෞද්ධ රාජ්‍යය ඇති කරගන්න උත්සාහ කළා. තවමත් එය සාර්ථක වී නැහැ. සිංහල බෞද්ධ රාජ්‍යය නැවත ඇති කරගන්න උත්සාහ කරන්නේ ප්‍රධාන වශයෙන් ම නිදහස් සටන අවසානයක් කරා ගෙන යන්න.  අපේ නිදහස් සටන අවසන් වී නැහැ.   

ඇතැමුන් මේ ලිපි තම මුහුණු පොත් පුවරුවල පළ කරන බව පැහැදිලියි. මා ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා ලිපිය තම පුවරුවේ පළ කරන අතර කාලය සබැඳියත් (link) දක්වන ලෙස. www1.kalaya.org