Main Logo

Monday 29 April 2019

රනිල්, පඬියෝ හා හම්බන්තොට

රනිල්, පඬියෝ හා හම්බන්තොට 



අද නැවතත් භාරකාර ආණ්ඩුවක් ගැන කතා කෙරෙනවා. එය හොඳයි. එහෙත් කරුණු දෙකක් කියන්න ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව භාරකාර ආණ්ඩුවක් කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ඊළඟ අගමැති පත්වෙන තෙක් පවතින ආණ්ඩුවකට. අද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රනිල් එකඟ වන එකක් නැහැ. එබැවින් පිහිටුවා ගන්න සිදුවන්නේ භාරකාර සම ආණ්ඩුවක්. එහි රනිල්, මලික් ආදීන් ඉන්න බැහැ. ඒ ඔවුන් වැඩ කරන්නේ බටහිර න්‍යාය පත්‍රයට අනුව නිසා.


දෙවැනි කරුණ භාරකාර සම ආණ්ඩුවක් පහුගිය ඔක්තෝම්බර් 26 වැනි දා පිහිටුවා ගත්තා. එය රැක ගත්තා නම් පාස්කු දා විපත්තිය වළක්ව ගන්න තිබුණා. එහෙත් එදා එයට බොහෝ දෙනා විරුද්ධ වුණා. මා නම් ගම් කියන්න කැමති නැහැ. එහෙත් භාරකාර සම ආණ්ඩුවක් පිහිටුවීමට කතා කිරීමේ ඊනියා වරදට මා සිරිජාතිකවාදියකු ලෙස නම් කෙරුණා. රිෂාඩ් බද්‍යුද්දීන්ගේ පක්‍ෂය ආරක්‍ෂා කිරීම එදා භාරකාර සම ආණ්ඩුව ආරක්‍ෂා කිරීමට වඩා වැදගත් වුණා. අද රිෂාඩ්ට විරුද්ධ ව චෝදනා තිබෙනවා. මුස්ලිම් ඡන්දවලට ලෝබ කමින් මුස්ලිම් අන්තවාදයකට ගොදුරුවන්න සිදු වුණා. 

ඒ අතර මා සමග තිබූ පෞද්ගලික වෛර නිසාත් ඇතැමුන් භාරාකාර සම ආණ්ඩුවට විරුද්ධ වුණා. ඇතැමුන් මෛත්‍රිපාල සමග තිබූ වෛරය නිසා භාරකාර සම ආණ්ඩුවට විරුද්ධ වුණා. අද එවැනි එක අයකු මහා දාර්ශනිකයකු මහා මූසිලයකු මහා කුහකයකු පෞද්ගලික ප්‍රශ්න ජාතික ව්‍යාපාරයට අවැඩය කියා කියනවා. සිරිසේන ගැන අප කරන විවේචන ඔහුට මදිවෙලා ද කොහෙද සිරිසේන ගැන පරෙස්සමෙන් කතා කරන්නන් යැයි කියමින් ඔහු අප විවේචනය කරනවා. 

සිරිසේන ආරක්‍ෂක ලේකම් පත් කිරීමෙන් වරදක් කර තිබෙනවා. එහෙත් ඔහුට ශක්තියක් නැහැ. එයට එක් හේතුවක් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය. එයට ඡන්දය දුන්නේ කවුදැයි කතා කිරීම දැන් වැඩක් නැහැ. අද සිරිසේනට පොලිස්පති අස්කර ගන්න බැහැ. විධායක ජනාධිපති ධුරයක තිබිය යුතු බලතල නැති කළ විට විදේශීය ආක්‍රමණවලට මුහුණ දුන් විට රටට ඇති වන ප්‍රශ්න දැන් පැහැදිලියි. දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදයත් ක්‍රියාත්මක වුණේ විදේශීය අනුග්‍රහයෙන්.

රනිල්ට අවශ්‍ය බටහිරයන්ට අනුව රට පාලනය කරන්න. ඔහු බොරු තර්ක ගේනවා. විදේශීය ත්‍රස්තවාදී සංවිධානවල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට ලංකාවේ නීති නැතිලු. අප කියන්නේ නැහැ අයිසිස් සංවිධානයේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට කියා. ඊනියා ජාතික තව්හිද් ජමාද් සංවිධානය සහ තවත් ත්‍රස්තවාදී සංවිධාන ක්‍රියාත්මක වන්නේ ලංකාවේ. ලංකාවේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට අමුතු නීති අවශ්‍ය නැහැ. රනිල් ඒ ගමන ප්‍රති ත්‍රස්තවාදී පනත සම්මත කර ගැනීමට මේ විදේශීය ත්‍රස්තවාදී කතාව යොදා ගන්න ලැහැස්ති වෙනවා. ඒ පනත සම්පූර්ණයෙන් ම විසිකරන්න ඕන. රනිල් රැවුල පත්තු වෙන අතර සුරුට්ටු පත්තු කරන්න හදනවා. 

රනිල් වැඩ කරන ආකාරය අනුව සැකයක් හිතෙනවා අයිසිස් හා බටහිරයන් තවමත් එකට වැඩ කරනවාද කියා. අයිසිස් ඇති කෙළෙ බටහිරයන්. ඔවුන් අතර ඇත්තේ ව්‍යාජ අසමගියක් ද? අයිසිස් ත්‍රස්තවාදය ලංකාවේ ක්‍රියාත්මක වන  විට බටහිරයන්ගේ සේවය ලබා ගැනීම නිසා ලංකාව පොරපිටියක් බවට පත් වෙනවා. සමහරවිට ව්‍යාජ යුද්ධයක පොරපිටියක් වීමටත් බැරි නැහැ. 

බටහිරයන්ට අවශ්‍ය විධියට වැඩ කරන කොටස් දෙකක් ලංකාවේ ඉන්නවා. එක් කොටසක් රනිල් ප්‍රධාන පිරිස. අනෙක් කොටස පඬියන්. රනිල් අඩු තරමෙන් බටහිර න්‍යාය පත්‍රය අනුව රටට යහපතක් වෙනවා කියා හිතනවා වෙන්න පුළුවන්. පළමුවැනි දොන් ජුවන් ධර්මපාල සිතුවේත් එහෙමයි. දෙවැන්නා ද එසේ සිතනවා වෙන්න පුළුවන්. 

බටහිරයන්ට අවශ්‍ය ආකාරයට වැඩ කරන දෙවැනි කොටස පඬියන්. ඔවුන්ට නම් සිංහල බෞද්ධයන් සහ රට ගැන ඇත්තේ වෛරයක්. ඔවුන් හීනමානයෙන් හා වෛරයෙන් පෙළෙන පිරිසක්. රනිල්ට හීනමානයක් නැහැ. පඬියන්ට දරුණු හීනමානයක් තියෙනවා. ඔවුන්ට අද ඇති ප්‍රශ්නය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිංහල බෞද්ධයන්ට චෝදනාවක් එල්ල කිරීමට නොහැකි වීම. 

අප කියා ඇත්තේ මෙරට මුස්ලිම් ජාතිවාදය අෂ්රොෆ් සමයේ සිට එන එකක්. මුස්ලිමුන්ට මරක්කල කියන්නේ අපහාසයකට නො වෙයි. සමහරු එයට රජු (මා) රැක්ක ලේ යනුවෙනුත් අර්ථකථන දී තිබෙනවා. හම්බ යන්නත් එසේයි. අපි ඊනියා ජාතික සංහිඳියාව සඳහා හම්බන්තොට නමත් වෙනස් කර පඬිතොට කියා කියමු ද? මේ හීනමානයෙන් පිරි අය බටහිර  පොත් කියවීම ටිකකට හරි කල් දමා තම පියවරුන්ගෙන් සිංහල නිරුක්ති ඉගෙන ගන්නවා නම් හොඳයි. එහෙත් හීනමානික්කලාට පියා ම ප්‍රශ්නය වූ විට කුමක් කරන්න ද? 

අර ඕස්ට්රේලියාවේ දී අයිසිස් සංවිධානයට වැඳුණු ත්‍රස්තවාදියාට සිංහල බෞද්ධයන්ගෙන් තිබුණු ප්‍රශ්නය කුමක් ද? ඔහු පශ්චාත් උපාධිය සඳහා ඉගෙනගත් ඕස්ට්රේලියානු විශ්වවිද්‍යාලයේ අවුරුදු හතළිස්පහකට පමණ පෙර මා අවුරුදු දෙකක් පමණ උගන්වා තියෙනවා. ඒ මගේ භාර්යාව ඕස්ට්රේලියාවේ විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියකට ඉගෙන ගන්න කාලයේ. මා ඒ ත්‍රස්තවාදියාට ප්‍රශ්නයක් වූවා යැයි හිතන්න බැහැ. භාර්යාවගේ පශ්චාත් උපාධියෙන් පසු ලංකාවට මා පැමිණියේ ස්ථිර රැකියාවකින් අස් වී. එහෙත් ආපසු පැමිණි මා නැවත පේරාදෙණියට බඳවා ගත්තේ නැහැ. එවරත් අවුරුදු දෙකක් පමණ මට රැකියාවක් නැතිවුණා. ඒ විශ්වවිද්‍යලයීය ත්‍රස්තවාදය නිසා.  

කෙසේ වෙතත් මට දැන් හිතෙනවා කතෝලික ජනතාව සිංහල බෞද්ධයන් වෙනුවෙන් ජීවිත පූජා කළා කියලා. මේ ප්‍රහාරය බටහිරයන්ගේ අවශ්‍යතාවට අයිසිස් සංවිධානය කළ එකක් ද යන්නත් සිතා බලන්න ඕන. අපට උඩින් පේන දේ යට තවත් දේ තියෙනවා. අපි ටිකෙන් ටික ඒ ගැන සොයා බලමු.