Main Logo

Tuesday 30 April 2019

සියළු ආගම්වලට ආරක්‍ෂාව ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියේ



මංගල සමරවීර ලංකාවට විරුද්ධ ව ජෙනීවාහි යෝජනා ගෙනා පුද්ගලයා, සිංහල බෞද්ධ විරෝධී දේශපාලනයක යෙදෙන්නෙක්. සිංහල බෞද්ධයන් හැඩ ගැසී ඇත්තේ ඉතාමත් සාමකාමී සංස්කෘතියක. ඔවුන් මුස්ලිමුන්ටත් දෙමළ හින්දූන්ටත් ක්‍රිස්තියානින්ටවත් වෛර කරන්නේ නැහැ. මංගල තමන් ධම්මපදයවත් අල් කුරානයවත් කියවා නැති බව ඔහු කරන ප්‍රකාශවලින් පැහැදිලි වෙනවා. සිංහල බෞද්ධයන් අනෙක් අයට වෛර නොකරන්නේ ඒ අයගේ ආගම් ගැන නොදැන නො වෙයි. ඒ ආගමික පොතපත නොකියවා වුවත් ඔවුන් අවුරුදු දහසකට වැඩි කාලයක් තිස්සේ මේ ආගම් ගැන අත්දැකීමෙන් දන්නවා. ඛෙමාගේ කොලුවාට මවගෙන් හරි වැඩි හිටියන්ගෙන් හරි මෙරට ඉතිහාසය දැන ගැනීමට නොලැබීම ගැන අපට කරන්න දෙයක් නැහැ. ඔහු සුදුසු එස්මන්ඩ්ගේ කොලුවාගේ අමාත්‍ය මණ්ඩලයක සේවය කිරීමටයි. 


බුදුදහමේ කොතැනකවත් ධර්මය වෙනුවෙන් ධර්මය පැතිරවීමට යුද්ධ කරන්න කියලා නැහැ. එහෙත් අප යුද්ධයට දක්‍ෂයන්. අපේ ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට බලතල දුන්නොත් ඔවුන්ට රටේ ඕනෑම ත්‍රස්තවාදයක් මැඩ පවත්වන්න පුළුවන්. රනිල්ගේ බලපෑම් මැද සීමිත බලතල යටතේ වුවත් ඔවුන් අද කරන කාර්යය අපේ ගෞරවයට පාත්‍ර විය යුතුයි. බලතල හරියට ලැබෙනවා නම් මුස්ලිම් අන්තවාදය මුලිනුපුටා දැමිය හැකියි. අපට අවුරුදු තිහක පමණ කාලයක දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට නොහැකි වූයේ ජේ ආර්ගේ සිට චන්ද්‍රිකා දක්වා ජනාධිපතිවරුන් ත්‍රිවිධ හමුදාවට හා පොලීසීයට අවශ්‍ය බලතල නොදුන් නිසයි. මහින්ද ඒ බලතල ලබා දුන්නා. ගෝඨාභය අවශ්‍ය කටයුතු සම්පාදනය කළා. සරත් ෆොන්සේකා වසන්ත කරන්නාගොඩ ආදීන් බලතල ක්‍රියාත්මක කළා. 

බුදුදහමේ යුද්ධ කිරීමට කියා නැති නිසා තමයි හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගැන්වු මහාචාර්යවරයකු වූ  දෙමළ ක්‍රිස්තියානි ස්ටැන්ලි තම්බයියා දෙමළ ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කළ සිංහල බෞද්ධයන් බුද්ධාගම පාවාදීම යනුවෙන් පොතක් ලිවුවේ. අප ඒ දවස්වල ම එයට පොත් පිංචකින් පිළිතුරු දුන්නා. අප ආක්‍රමණශීලි නැහැ. එහෙත් අපට එරෙහි ව ආක්‍රමණ එන විට අප නවගුණවැල රැගෙන වනගත වන්නේත් නැහැ. තම්බයියාවත් වෙනත් අයකුවත් යුද්ධ කිරීම සම්බන්ධයෙන් හින්දු ආගමවත් කතෝලික ආගමවත් ක්‍රිස්තියානි ආගමවත් මුස්ලිම් ආගමවත්  පාවාදීමක් ගැන පොත් ලියා නැත්තේ ඒ ආගම්වල යුද්ධය යුක්තියුක්ත කෙරෙන නිසා. හින්දුන්ගේ භගවද්ගීීතයෙහි අර්ජුන තම ඥාතීන්ට විරුද්ධ ව යුද්ධ කිරීමට අදි මදි කරන විට විෂ්ණු අවතාරයක් වූ ක්‍රිෂ්ණ පැමිණ ධර්මය වෙනුවෙන් යුද්ධ කරන්න කියනවා. සියළු ඒබ්‍රහමික ආගම්, යුදෙව්, කතෝලික, ඉස්ලාම්, ක්‍රිස්තියානි, අනෙක් ආගම්වල විශ්වාසවල දෙවිවරුන්ගේ පිළිම කඩා බිඳ දමන ලෙස කියනවා. අවශ්‍ය අයකුට පරණ තෙස්තමේන්තුව කියවා ඒ දැනගත හැකියි. 

අදත් ක්‍රිස්තියානි නූතනත්වය මත පදනම් වී ඇති බටහිර විද්‍යාව කියන්නේ තමන් පමණක් සත්‍යය දන්නා බව හෝ සත්‍යයට ළඟා වෙමින් ඉන්නා බව. අනෙක් දැනුම් මිථ්‍යා ලෙසයි ඔවුන් සලකන්නේ. අද ලෝකය පුරා ම ඒ දැනුම පමණක් පිළිගන්නා තැනට ඔවුන් කටයුතු කරනවා. එයත් ත්‍රස්තවාදයක්. අවශ්‍ය නම් විද්‍යාත්මක ත්‍රස්තවාදය කියන්න. එකල කතෝලික/ක්‍රිස්තියානි ආගමිකයන් අපේ රටවල් ආක්‍රමණය කෙළේ හුදෙක් වෙළෙඳාම සඳහා පමණක් නො වෙයි. ඔවුන් තම ආගමික සංස්කෘතිය ද අප මත පැටෙව්වා. ඔවුන්ගේ නැව්වල පූජකයන් පැමිණියේ කුළුබඩු ගන්න නො වෙයි. 

එයට පෙර චෝලයන් ඔවුන්ගේ වෛදික ආගම් අප මත පටවන්න කටයුතු කළා. වත්හිමි කුමරාගේ කතාවෙන් පැහැදිලි වෙන්නේ කුරුණැගල සමයේ මුස්ලිම් වෙළෙඳුන් කටයුතු කළ ආකාරය. ඔව් සිංහල බෞද්ධයන් වත්හිමි කුමරා මැරෙව්වා. ඒ බුදුදුහම ප්‍රචාරය කරන්න නොවෙයි. සිංහල බෞද්ධ සංස්කෘතිය රැකගැනීමට. එහෙත් අප එකල සිටි මුස්ලිම් වෙළෙන්දන්ට අඩත්තේට්ටම් කෙළේ නැහැ. 

පසු කලෙක පෘතුගීසී කතෝලිකයන්ගෙන් මුස්ලුමන්ට කරදර වන විට ඔවුන් ගලවා ගෙන අද නැගෙනහිර පළතේ පදිංචි කෙරෙව්වේ සිංහල බෞද්ධ සෙනරත් රජු. අප වත්හිම කුමරු සිද්ධිය මතක් කර මුස්ලිමුන් පෘතුගීසි කතෝලිකයන්ට බිලි දුන්නේ නැහැ. අපට අන්‍යාගමිකයන්ට ගරු කරන්න ඉගැන්වූයේ මානව අයිතිවාසිකම් කරුවන් නො වෙයි. බුදුහාමදුුරුුවන්. නිඝන්ටනාථගේ සවුවකු වූ උපාලි ගෘහපතියා බුදුදහම කෙරෙහි පැහැදී නිඝන්ඨයනට දන් දීම නැවැත්වීමට තීරණය කළ විට එසේ නොකරන ලෙස බුදුහාමුදුරුවන් ඔහුට අවවාද කළා. 

වත්මන් මුස්ලිම් අන්තවාදය අවුරුදු ගණනක විකාශයක්. එහි මුල අෂ්රොෆ් ද ඉන්නවා. එයට අයිසිස් සබඳතා ඇති වී දශක දෙකක් පමණ වෙනවා. මුස්ලිම් ආක්‍රමණයක් රටේ ව්‍යාප්ත වන විට ඇතැම් සිංහල බෞද්ධයන්ගෙන් එයට විරෝධයක් ඇති වූවා. ඇතැම් සිංහල බෞද්ධයන් කිසිම හේතුවක් නැතිව මුස්ලිම් විරෝධයක් ඇති කළා නො වේ. සිංහල බෞද්ධයන් ඉතිහාසය පුරා ම කර ඇත්තේ ප්‍රතිචාර දැක්වීමක් පමණයි. ඒ මුස්ලිම් විරෝධය තම දේශපාලන වුවමනා සඳහා යොදා ගැනීමට චම්පක උත්සාහ කළා. බොහෝ ජාතිකවාදීන් ඒ ව්‍යාපාරයෙන් ඈත් ව සිටියා. අයිසිස් ව්‍යාපාරය හා මෙරට මුස්ලිම් ව්‍යාප්තවාදය මෙන් ම එකී මුස්ලිම් විරෝධය පසුපසත් බටහිරයන් සිටියා. 

අද මුස්ලිමුන්ට සිංහලයන් ආරක්‍ෂාව සපයනවා. මංගලගේ බයිලා නැතිවාට සිංහල බෞද්ධයන්ගෙන් මුස්ලිමුනට හානියක් සිදුවන්නේ නැහැ. හමුදාවට හා පොලිසියට අද වැඩි පුර ම ඔත්තු ලැබෙන්නේ මුස්ලිමුන්ගෙන්. හමුදාව මුස්ලිමුන්ට අවශ්‍ය ආරක්‍ෂාවත් සපයනවා. මුස්ලිමුන්ට මුස්ලිම් රටකින් පිට ආරක්‍ෂාව ඇත්තේ ලංකාවේ. නවසීලන්තයේ සිදු වූ දේ අමතක නොකළ යුතුයි. ඊයේ එක්සත් රාජ්‍යයවල දහනව හැවිරිදි තරුණයෙක් යුදෙව්වන්ට පහර දීලා. එක් අයකු ඝාතනය වෙලා. මේ ඒබ්‍රහමික ආගමිකයන් එකිනෙකාට විරුද්ධ ව ක්‍රියා කරන හැටි. 

ක්‍රිස්තියානි සභාවේ ගිහි නායකයකු වූ ජෙහාන් පෙරේරා අද 'දි අයිලන්ඩ්' පත්‍රයට ලිපියක් ලියා ත්‍රස්තවාදයට විරුද්ධ ව දියුණු ආකාරයකට ක්‍රියා කළ යුතු බව කියනවා. කාදිනල්තුමා ද ත්‍රස්තවාදයට එරෙහි ව කතා කරනවා. අප එයට විරුද්ධ නැහැ. කතෝලිකයන් ලන්දේසීන්ගේ මර්දනයට ලක් වන විට පිහිටට පැමිණියේ කන්ද උඩරට සිංහල බෞද්ධ රජවරු. මාතලේ අසල වහාකෝට්ටේ ආදී ප්‍රදේශවල කතෝලිකයන් පදිංචි කෙරෙව්වේ ලන්දේසි රෙපරමාදුන්ගෙන් කතෝලිකයන් ගලවා ගැනීමට. පාස්කු ඉරිදා ඝාතන සම්බන්ධයෙන් බෞද්ධයන් තම සංවේගය පළ කළා. කතෝලිකයන්ට ඒ ඝාතනයට ලක් වීමට සිද්ධ වුණේ බෞද්ධයන් වෙනුවෙන්.  

මට කණාගාටු දෙමළ ත්‍රස්තවාදීන්ට විරුද්ධ ව හමුදාව ක්‍රියා කරන විට ජෙහාන් පෙරේරා, කාදිනල් තුමා ආදීන් ඊනියා මානව අයිතිවාසිකම් ගැන කතා කරමින් එයට විරුද්ධ වීම. ජෙහාන් පෙරේරාගේ සිංහල දැනුම ගැන මට අවබෝධයක් නැහැ. එහෙත් ඔහු දැන ගත යුතුයි ලබ්බට තැබූ අත පුහුලටත් තැබූ බව. අප ලබ්බත් පුහුලත් දෙකම ආරක්‍ෂා කරනවා. අප සියලු දෙනා ම එකතු වී බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට විරුද්ධ ව සටන් කළ යුතුයි. අයිසිස් පිටුපස ඉන්නෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය.අද බටහිරයන්ට අවශ්‍ය පාස්කු ඉරිදා ඝාතන ගැන බෞද්ධයනට වරද පටවන්න. ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ සිංහල බෞද්ධයන් උසි ගන්වා මුසිලිමුන්ට විරුද්ධව ක්‍රියා කරවීමට. එය සාර්ථක වුණේ නැහැ. එහෙත් එංගලන්තයේ ඇතැම් මුස්ලිමුන් තමන්ට ලංකාවේ ආරක්‍ෂාවක් නැහැ කියමින් උද්ඝෝෂණ කරනවා.  නූතනත්වය ඉදිරිගාමීවත් ඉස්ලාම් හින්දු බෞද්ධ කතෝලික ආගම් පසුගාමීවත් නො වෙයි. පසුගාමීත්වය කුමක් ද යන්න අද තීරණය කෙරෙන්නේ ඊනියා නූතනත්වයෙන්.