කළු කුහර හා පඬියන්
පසුගිය දා අත්අඩංගුවට
ගැණුනු අසාන්ජ් ගැන මෙන් ම අද ලංකාවට ඒමට නියමිත ගෝඨාභය ගැනත් ලියන්න ඕන. අසාන්ජ් අත්අඩංගුවට ගැනීමට විරුද්ධව ලංකාවේ හෝ වෙනත් රටක
හෝ පෙළපාලි යන්නේ කවුද කියා බලා ඉන්නවා. අසාන්ජ් අත්අඩංගුවට ගැනීමෙන් පැහැදිලි
වන්නේ සුපිරි භාෂණ නිදහසක් ප්‍රජාතන්ත්‍රවාදයක් ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ
සංස්ථාපිතයේ නැති බවයි. සංස්ථාපිතය දන්නවා අවුරුදු කිහිපයක් ගත වී නමුත් දඩයම කරන
ආකාරය.
ගෝඨාභයට සිතාසි ලැබුණ ද
නැද්ද ආදිය තෘතීයික කරුණු. සිතාසි ලැබුණ නම් ගෝඨාභය තම නඩුව නීතිඥයාට භාර දී එන්න
ඇති. සිතාසි ලැබුණෙ නැත්නම් කතාකරන්නවත් දෙයක් නැහැ. ගෝඨාභය එන්නෙ ජනාධිපති අපේක්‍ෂකයා
වෙන්න. අඩු තරමෙන් ඔහු පිටුපස සිටින අයගේ බලාපොරොත්තුව ඒකයි. මා එයට විරුද්ධ නැහැ.
එහෙත් මට හැමදාමත් තිබුණ/තිබෙන සැකය තමයි ඔහුට අපේක්‍ෂකත්වය ලැබෙයි ද කියන එක.
අවුරුද්දෙන් පස්සෙ දේශපාලන
වශයෙන් වැදගත් යමක් බලාපොරොත්තු වන්න කියනවා. ඒ ගෝඨාභයගේ අපේක්‍ෂකත්වය නැති කිරීම
ද? ගෝඨාභයට විරුද්ධ අය කඳවුරේ ම සිටින බව අමතක කරන්න
එපා. ඔවුන් සමහර දෙනකු ඉන්නේ ලොකු තැන්වල. බොහෝ දෙනා නොහිතන තැන්වල.
දයාසිරි ජයසේකරගේ ජනාධිපති
කාලය පිළිබඳ තර්කය වැදගත් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (ඈ) (ii) අනුව්‍යවස්ථාව අනුව මෛත්‍රිපාල
වැඩ ආරම්භ කළ දිනය ලෙස සැලකෙන්නේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයයි. එනම් 2015 ජනවාරි 9 වැනි දායි. මට හිතෙන්නේ ඒ තර්කය මිනිසුන්ගෙ අවධානය වෙනත් අතකට යොමු
කරන්න ගෙනාපු එකක් හැටියට. අපි බලන් ඉමු අවුරුද්දට පස්සෙ මොකද වෙන්නෙ කියලා. මෛත්‍රිපාලට
ඕන නම් ජනාධිපතිවරණයකට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් විධායකය අහෝසි කරන්න කැමති
වෙන්න පුළුවන්. පහුගිය දා ඉන්දීය විදේශ ඇමති ඇවිත් ගිය එක ගැන නම් මට
තිබෙන්නෙ අවිශ්වාසයක්. විධායකය අහෝසි කරල පළාත් සභාවල බලය වැඩි කරන්න කවුරු
කවුරුත් එකඟ වුණා ද කියල දන්නෙ නැහැ.
ඒත් මට අද ලියන්න ඕනෙ අර
කළු කුහර ගැන. ඒ ගැන ලියන එකත් ප්‍රශ්නයක්. මුහුණු පොතේ හුඟ දෙනෙක් ඒ ගැන මට වඩා
දන්නව වගේ. සමහරු මට තිත්ත කුණු හරුපෙන් බැනලත් තිබුණා. මා වැනි නාකියකු කළු කුහර
ගැන දන්නෙ මොනව ද කියලත් අහල තිබුණ. තවත් අය තමන්ට නොතේරෙන "බටහිර විද්‍යාව
පට්ටපල් බොරු" ය කියන කරුණත් නැවතත් මතක් කරල තිබුණ. මගේ කළු කුහර විරෝධය
ගැනත් ලියල තිබුණ. General Theory of
Relativity කියන එක සමහරුනට මහා සාපේක්‍ෂතාවාදය වුණා. General කිව්ව ම
මහා කියල හිතෙන්න ඇති.
මා නම් ඒ පඬියන් පඬි
පෝතකයන් තරම් කිසිම දෙයක් දන්නෙ නැහැ. එත් කා හට හරි බලන්න ඕන නම් එයට අදාළ පත්‍රිකා
තුනක් මා ලියල තියෙනවා. ඒ මෙසේයි.
Retrograde
Motion in the Kerr Metric – Nature Physical Science 231, 148 (1971).
On
the Retrograde Motion in Relativity – Physics letters 54A, 193 (1975).
Induced
Rotational Effects in Relativity – General Relativity and Gravitation 7,
475 (1976).
1970 දි මා
සසෙක්ස් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ නිබන්ධනයෙත් අදාළ දේ කියල තියෙනව. මගේ
ආචාර්යවරයා මට කීවේ ක්වේසාර (Quasar) හා
ගුරුත්වජ කාච (Gravitational Lenses) ගැන හොයල
බලන්න කියලා. මේ කාච ඇහැට දාන්න පුළුවන් ඒව නො වෙයි.
ඊයෙ අර හැමෝම වගේ බලපු කළු
කුහරයෙ රූපය හදපු එකක්. ඒක බොහොම අමාරුවෙන් රේඩියෝ දුරේක්‍ෂ (ආලෝක ධාරා නොව ගුවන්
විදුලි තරංග උපයෝගි කර ගන්නා දුරේක්‍ෂ) අටක් යොදා ගෙන හදපු එකක්. අදාළ සියලු දෙනාට
අපේ ගෞරවය පිරිනමන්න ඕන. ඇතැමුන් හිතන්නෙ ඒක කළු කුහරයක ඡායාරූපයක් කියලයි.
විශ්වයේ ඇති කළු කුහර භ්‍රමණය
වන ඒවා. අඩුම තරමෙන් බහුතරය භ්‍රමණය වෙන ඒවා. විශ්වයේ ගුණයක් තමයි භ්‍රමණය. අපේ
තාරකාව, එනම් හිරු ද පොළොව ද තමන්
වටේ භ්‍රමණය වෙනවා. අපට හෙට
අනිද්ද අවුරුද්ද ලබන්නෙත් භ්‍රමණය හින්දා. මේ භ්‍රමණය හින්ද තමයි කළු කුහරය උළුඳු
වඩයක් වගේ පේන්නෙ. උළුඳු වඩය සිංහල සංස්කෘතියෙ නෙවෙයි කියලත් පඬි කතාවක් කියල
තිබුණ. ඒකට කමක් නැහැ. බොහෝ දෙනා ඩෝනට්වලට වැඩිය උළුඳු වඩ දන්නවා. අප යමක් කියන්න
ඕනෙ වැඩි දෙනකුට තේරෙන විධියට.
කළු කුහරය භ්‍රමණය වෙනවා.
මේ භ්‍රමණය වන වස්තුවක අවකාශ කාලය දක්වන්නෙ කර් අවකාශ කාලයෙන් (Kerr Metric). එය අයින්ස්ටයින්ගෙ ක්‍ෂෙත්‍ර සමීකරණවල විසඳුමක්. ඒ
විසඳුම මුලින් ම ලබා ගත්තෙ නවසීලන්තයෙ විද්‍යාඥයකු වූ රෝය කර්. ඒ 1963 දී. 1969-70 මා
ආචාර්ය උපාධිය කරන කාලෙ ඒක අලුත් විසඳුමක්. මටත් ඒකත් එක්ක සෙල්ලම් කරන්න හිතුණා.
මගේ ආචාර්යවරයා දුන්න ප්‍රශ්නය ගැන කල්පනා කරන අතර ම මා මේ සෙල්ලමෙත් යෙදුණ. ඒකෙන්
මා දැනගත්ත දේ තමයි භ්‍රමණය වන වස්තුවක් කැරකෙන දිශාවට විරුද්ධ අතට අංශුවක්
යැවුවත් එක්තරා දුරක් ගියාට පස්සෙ ඒ අංශුව වස්තුව භ්‍රමණය වන අතට ම යන්න පටන්
ගන්නවා කියන එක.
මට හිතෙන්නෙ ඔය කැරකෙන කළු
කුහර වටා එකතු වෙන දූවිලි (ද්‍රව්‍ය) හා විකිරණ කලින් මොන අතට කැරකුණත් අද්‍යශ්‍යමාන
කුහරයට යම් දුරක් ළඟා වුණාට පස්සෙ ඒ අද්‍යශ්‍යමාන කුහරය කැරකෙන පැත්තට ම කැරකෙන්න
පටන් ගන්නවා කියලා. මා හිතනවා කුහරයෙ කොටස් දෙකක් තියෙනව කියල. එක් කොටසක් අද්‍යශ්‍යමාන
කොටස. අනෙක ද්‍යශ්‍යමාන කොටස. මේ කොටස් දෙක වෙන්
කරන්නෙ ඔය සිද්ධි ක්‍ෂතිජය කියන (Event Horizon)
එකෙන් කියල අපට කියන්න පුළුවන්.
දැන් සූර්යයා වටා ග්‍රහ
වස්තු භ්‍රමණය වන්නෙ යම් ඝනත්වයක් ඇති තැටියක. පොළොවට සාපේක්‍ෂව ඉරත් හඳත් සිකුරත්
සෙනසුරත් අඟහරුත් ඇතුළු සියලු ග්‍රහ වස්තුන් කැරකෙන්නෙත් ඒ වගේ ඝනකමක් ඇති තැටියක.
මේ තැටියෙ තියෙන තාරකා පද්ධති තමයි බැබිලෝනියාවෙ රාශි දොළහකටත් ලංකාවෙදි නැකත්
(නකත්) විසිහතකටත් බෙදුවෙ. හෙට අනිද්ද සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යනවා.
තාමත් ඇතැම් පඬියන් හිතන්නෙ ඉර පොළොව වටේ යන්නෙ නැහැ කියලා! ඒකට කමක් නැහැ.
කළු කුහරයෙත් තැටියක තියෙන
දුවිලි ආදිය ක්‍රමයෙන් අර සිද්ධි ක්‍ෂතිජය පහු කරන් අදෘශ්‍යමාන කොටසට යනවා. ඒ යන
විට ඇතිවන ඝර්ෂණය නිසා තමයි අපට විද්‍යුත් චුම්බක තරංග ලැබෙන්නෙ. ඒ තරංග තමයි අර
රේඩියෝ දුරේක්‍ෂවලට අහුවෙලා තියෙන්නෙ. ඔය තැටිය හින්ද තමයි ඒක උළුඳු වඩයක හැඩය
ගන්නෙ. දුරේක්‍ෂ තැටියට යම් කෝණයකින් ආනත වෙන්නත් ඕන.
දැන් මා
ඊයෙ ඇහුව ප්‍රශ්නය. කළු කුහරයෙ දෘශ්‍යමාන කොටස ඉවර වෙන්නෙ කොතැනින් ද? මා මට වඩා දන්න පඬියකුගෙන් හරි පඬි පෝදතකයකුගෙන් හරි උත්තරය
බලාපොරොත්තු වෙනවා. පඬිනියක් හරි පෝතිකාවක් හරි වුණත් කමක් නැහැ. ඒක අමාරු දෙයක් නො වෙයි. මා නම් උනන්දුවක්
ගන්නෙ නැතිව ම ඊයෙ ම
විසඳුම දැන ගත්ත. ඒත් මා
පඬියකුට අවස්ථාව දෙන්න කැමතියි.