කඳවුර බිඳ දැමීම
අපේ කඳවුර කියන එක පැහැදිලි ව නිර්වචනය කරන්න බැහැ. එහෙත් පොදුවේ
ගත්තොත් එ ජා ප විරෝධී බවක් තියෙනවා. එසේ වුවත් එහි කිසිම ආකාරයක සජාතීය බවක්
නැහැ. කඳවුරේ සාමාන්‍ය ජනතාව අතර නම් ජාතිකවාදීන් වැඩියි. එහෙත් නායකයන් අතර
ජාතිකවාදීන් ඉතා අඩුයි. නායකයන් අතර වැඩියෙන් ඉන්නෙ ඊනියා වාම කේන්ද්‍රිකයන්.
ඔවුන් හා ස්මාට් ජාතිකවාදීන් අතර මතවාදී ව යම් සම්බන්ධයක් තියෙනවා. කඳවුර
මෙහෙයවෙන්නේ ඔවුන් අතින්. මහින්ද ඊනියා වාම කේන්ද්‍රිකයෙක්.
ඒ අතර ඉන්දීය ඔත්තුකරුවන්, චීන ඒජන්තයන්, බටහිර ඒජන්තයන්, සහෝදරත්වය නිසා දේශපාලනය කරන එ ජා පක්‍ෂ
හිතවතුන්, බලයට පැමිණි විට යම් තනතුරක්
බලාපොරොත්තුවන්නන්, කිසිම ජාතිකත්වයක් නැතියවුන්, ජාතිකත්ව විරෝධීන්, කඳවුරේ න්‍යායාචාර්යවරුන්, ජාතිකත්ව වෙස් මුහුණක් පැළඳ ගත් දෙමළ ජාතිවාදීන් ආදී වශයෙන් නා නා ප්‍රකාර
අය ඉන්නවා. එමෙන් ම යක්‍ෂ ජනතාවට විරුද්ධ වූවන්, විජයට විරුද්ධ වූවන්, කතෝලිකයන්ට
විරුද්ධ වූවන්, සිංහල බෞද්ධ විරෝධී වූවන්, සිදුහත් කුමරු ලංකාවේ උපන්නා යැයි කියන්නවුන්,
ඉන්දියන් විරෝධීන් සහ තවත් අයත් ඉන්නවා.
ඒ ඒ අයගේ මතවාද ආකල්ප වෙනස්. එ ජා ප හිතවතුන්ගේ කඳවුරෙහි ද එලෙස
වෙනස්කම් ඇති අය සිටියත් අපේ කඳවුරේ තරම් නැහැ. එ ජා පක්‍ෂය පෙරමුණු හදන්නේ දෙමළ
මුස්ලිම් පක්‍ෂ සමගයි. ඔවුන් සාමාන්‍යයෙන් වෙනත් පක්‍ෂ සමග සංධාන හදන්නෙ නැහැ.
දැන් රනිල් පුළුල් සංධානයක් ගැන කතා කරනවා. ඒ චම්පක හා අප්පච්චි මළෝලා ඉලක්ක කර
ගනිමින්. අද පාර්ලිමේන්තු මැතිවරණයකින් ආණ්ඩුවක් පිහිටුවන්න තනි පක්‍ෂයකට බැරි
තත්වයක් උදා වෙලා තියෙනවා. ඒ නිසා තමයි එ ජා පක්‍ෂය ඊනියා ජාතික ආණ්ඩු සංකල්පයක්
ගෙනැවිත් තියෙන්නෙ.
අපේ කඳවුර නම් හැමදාමත් හැදුවෙ සංධාන. ඒ අපේ කඳවුරේ තියෙන විවිධත්වය
නිසා ම. 1956 සිට ම පිහිටුවා තියෙන්නෙ සංධාන ආණ්ඩු.
මා මේ අපේ කඳවුර යැයි කිවුවට මේ කඳවුරේ බොහෝ අයට අවශ්‍ය මා කඳවුරෙන් පන්නන්න. ඒ
සිරිසේන නිසා ම නො වෙයි. මා ලියන කියන බොහෝ දේ සමග බොහෝ දෙනා එකඟ වන්නේ නැහැ.
චින්තනය කියන සංකල්පය බොහෝ දෙනාට තේරෙන්නේ නැහැ. ගුණදාස අමරසේකරට තේරෙන්නෙත් නැහැ.
අමරසේකර බටහිරයකුගෙන් ගත්ත ජාතික චින්තන අදහස නම් සමහරුන්ට තේරෙනවා. අපේ කඳවුරේ
අමරසේකර සමග ඉන්න අයත් මා කඳවුරෙන් පිට කරන්න හදනවා. ඔවුන් මාස තුනහතරකට පමණක් මා
ඉවසුවා. ඒ කුමකට ද කියා මා දන්නේ නැහැ. න්‍යායාචාර්යවරුන් මා කඳවුරෙන් පන්නා
දැමීමෙහි දී පෙරමුණ ගන්නවා. එහෙත් මා
යන්නේ නැහැ. ඔවුන් කියාවි මා නොයන්නේ මගේ ඊනියා කොන්තරාත්තුව ඉටු කිරීමට කියා.
සිරිසේනට ශක්තිය දෙන්න කියා මා කිසි දා කියා නැහැ. මයිලෝ
මහාචාර්යවරුන්ට වැරදුණෙ එතැනයි. මා 2015
මාර්තු මාසයේ පමණ සිට රනිල් ඉවත් කර මහින්ද අගමැති ධුරයට පත් කළ යුතු ය කියා කීවා.
ඇතැම් න්‍යායාචාර්යවරුන්ට අනුව මා එසේ කියා ඇත්තේ රනිල්ට පක්‍ෂව. රනිල්ගේ
වුවමනාවක් ඉටු කිරීමට. එහෙමත් නැත්නම් සිරිසේනගේ කොන්ත්‍රාත්තුවකට. මා කියා සිටියේ
රික්තයක, එහෙමත් නැත්නම් වියුක්ත ව සිරිසේනට
ශක්තිය ලබා දිය යුතු බව නො වෙයි. රනිල් ඉවත් කර මහින්ද අගමැති කිරීම සඳහා මහින්ද
සිරිසේනට ශක්තිය ලබා දිය යුතු බවයි මා කීවේ. ඒ රනිල්ගේ නව ව්‍යවස්ථාවත් රණවිරු
දඩයමත් පරාජය කිරීමට.
ඔක්තෝම්බර් විසිහය වැනි දා ඒ සිදු වුණා. එයින් වූ සෙත සිරිසේන
විරෝධීන්ට පෙනෙන්නේ නැහැ. අද රනිල් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ද ඊනියා දෙමුහුන් ජාත්‍යන්තර
අධිකරණ මගින් කිරීමට සිටි රණවිරු දඩයම සම්බන්ධයෙන් ද හිර වී සිටින්නේ. ඒ මෛත්‍රිපාලට
මහින්ද ලබා දුන් ශක්තිය නිසා. ඔක්තෝම්බර් විසිහය වැනි දා පිහිටුවන ලද ආණ්ඩුව රැක
ගැනීමට නිසි වැඩ පිළිවෙළක් තිබුණේ නැහැ. මහින්දට තේරෙන දේ අනෙක් බොහෝ දෙනාට එදත්
අදත් තේරෙන්නේ නැහැ.
අප තේරුම් ගත යුතු කරුණ නම් 2015 ජනවාරියේ දී මෛත්‍රිපාලට 51.3 ක ඡන්ද ප්‍රතිශතයක් හා මහින්දට 47.6ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණු බව. 2018 පෙබරවාරියේ දී පොහොට්ටුවට 40.5ක, එ ජා පෙරමුණට 29.4ක මෛත්‍රිපාලට 16ක ජ වි පෙරමුණට 5.8ක, දෙමළ ජාතික සංධානයට 2.7ක
ඡන්ද ප්‍රතිශත ලැබුණු බව. 2008
එ ජා පෙරමුණේ දෙමළ ජාතික සංධානයේ හා ජ
වි පෙරමුණේ ප්‍රතිශත එකතුව 38ක් පමණ වෙනවා. මෛත්‍රිපාල 2015 දී ගත් ඡන්ද ප්‍රතිශතයෙන් කොපමණ ප්‍රමාණයක් ශ්‍රී
ල නි පක්‍ෂ ඡන්ද ද කියා හරියට ම කියන්න බැහැ. එහෙත් මහින්දට විරුද්ධ වූ ශ්‍රී ල නි
පක්‍ෂ ඡන්ද යම් ප්‍රමාණයක් මෛත්‍රිපාලට ලැබෙන්න ඇති.
මගේ අනුමානය නම් 2015
දී මහින්ද විරෝධී ශ්‍රී ල නි ප ඡන්ද සියයට
තුන හතරක ප්‍රමාණයක් මෛත්‍රිපාලට ලැබෙන්න ඇති කියා. වෙනත් වචනවලින් කියනවා නම්
මෛත්‍රිපාල 2015 දිනුවේ හුදෙක් එ ජා පෙරමුණේ දෙමළ
ජාතික සංධානයේ ජ වි පෙරමුණේ ඡන්දවලින් පමණක් නො වෙයි. මලිත් ජයතිලකගේ සංඛ්‍යාන කෙසේ
වෙතත් මෛත්‍රිපාලට ශ්‍රී ල නි ප ඡන්ද යම්
ප්‍රමාණයක් විශේෂයෙන් ම කොළඹ දිස්ත්‍රිික්කයේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ නාගරික
සිංහල බෞද්ධ ඡන්ද යම් ප්‍රමාණයක් ලැබෙන්න ඇති. මෛත්‍රිපාල නොවන්න වෙනත් අපේක්‍ෂකයකුට
2015 දිනන්න නොහැකි වීමට තිබුණා. ඔහු ශ්‍රී
ල නි ප ලේකම් ව සිටි බවත් සිංහල බෞද්ධ ආකර්ෂණයක් තිබෙන බවත් අමතක නොකළ යුතුයි.
ඉන්දියානුවන් 2015 දී මෛත්‍රිපාල තෝරා ගැනීමේ දී මේ
කරුණු බලන්න ඇති. එමෙන් ම මෛත්‍රිපාලට සිදු වූ කෙණෙහිළිකම් ද සලකා බලන්න ඇති. 2009 ට්‍රොයිකා ගිවිසුම බිඳ දැමීම පිළිබඳ ව
ඉන්දියාව මහින්දට සමාවක් දුන්නේ නැහැ. ඇතැම් සිංහල බෞද්ධයන් ද තමන් වෙනුවෙන් ට්‍රොයිකා
ගිවිසුම කැඩූ මහින්දට තම කෘතඥතාව පළ කෙළේ නැහැ. කෙසේ වෙතත් මහින්දගේ පරාජය පිළිබඳ
ව අපේ කඳවුරේ මෛත්‍රිපාල කෙරෙහි කෝපයක් ඇති වීම සාධාරණයි. ඔහු ජනාධිපති වූ විගස මා
කෙළේ ඔහු වැන්නකු යටතේ සේවය කිරීම ලජ්ජාවක් බව පවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන
කොමිසමෙන් ඉල්ලා අස්වීමයි.
එහෙත් කිසිම කෝපයක් වෛරයක් බවට පත් කර ගත යුතු නැහැ. මට මයිලෝ
මහාචාර්යවරුන් මහා දාර්ශනිකයන් ගැන කෝපයක් තියෙනවා. ඔවුන් මා කඳවුරෙන් එළවන්න
හදනවා. එහෙත් මට ඔවුන් ගැන වෛරයක් නැහැ.
සිරිසේන විශ්වාස කටයුතු පුද්ගලයකු නොවෙයි කියන එක නම් එතරම් වැදගත් නැහැ.
දේශපාලනඥයන් කිසිවකු විශ්වාස නොකිරීම මගේ
පළමු ස්වසිද්ධියයි.
2015 සිට 2018 දක්වා කාලයේ මෛත්‍රිපාලගේ ඡන්ද වැඩි
වී තිබෙන අතර මහින්දගේ ඡන්ද අඩු වී තිබෙනවා. පළාත් පාලන මැතිවරණයෙන් පෙන්වන්නේ
එයයි. ඒ නොදැක පැස්බරුන් මෙන් ඔළුව (ඔළුවක් තිබේ යැයි උපකල්පනය කර) වැල්ලේ සඟවා
ගෙන සිටීමෙන් පලක් නැහැ. මේ ඡන්ද අඩු වැඩි වීම සිදු වී ඇත්තේ ඔක්තෝම්බර් විසිහයට
කලින් බව අමතක කරන්න එපා. මහින්ද මෛත්‍රිපාලට ශක්තිය දීම නිසා නොව කොහොමටත් මහින්දගේ ජනප්‍රියතාව අඩු වීමක්
හා මෛත්‍රිපාලගේ ජනප්‍රියතාව වැඩි වීමක් සිදු වී තිබෙනවා.
අද කළ යුත්තේ මෛත්‍රිපාලගේ සහාය ගෝඨාභයට ලබා ගන්නේ කෙසේ දැයි කල්පනා
කිරීම මිස මෛත්‍රිපාල කඳවුරෙන් එළවීම නො වෙයි. ජී එල් පීරිස් සැක සංකා මතු කරමින්
සංධාන සාකච්ඡා කඩාකප්පල් කිරීමට සැරසෙනවා. දෙපැත්තේ ම සැක සංකා ඇති. කළ යුත්තේ ඒ
සැක සංකා නැති කර ගැනීම මිස ජනමාධ්‍යයට ඒ බව ප්‍රකාශ කර කඳවුර බිඳීම නො වෙයි.